බිලක බර ජනතාවට පටවන රට අඳුරේ තියන විදුලි මාෆියාවේ පැටිකිරිය මෙන්න

911

● පුනර්ජනනීය බලශක්ති ගැන කතාවක්වත් නෑ

● ජනන බලපත්‍ර නැති අයට රුපියල් බිලියන 18.91ක් ගෙවලා

● විගණන වාර්තා තිබුණාට ඒ ගැන සැලකිල්ලක් දක්වා නෑ.

විදුලිබිල සියයට සියයකින් ඉහළ දැමිය යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණද ඒ සඳහා අවසර හිමිනොවීය. එහෙත් කොයි මොහොතක හෝ විදුලිබිල වැඩිවිය හැකි බවට රට්ටුන් තුළ නම් සැකයක් පවතී. මක්නිසාද යත් මේ වනවිට ගෑස්, ඉන්ධන ඇතුළු සෑම භාණ්ඩයක හා සේවාවකම මිල හත්අට ගුණයකින් වැඩිවී තිබේ. මේ වනවිට රට්ටුන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිති විදුලි බිල ද වැඩි කළහොත් එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ දෙයකි.

විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර 2020 වර්ෂය අවසන් වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 62.5ක ශුද්ධ අලාභයක් වාර්තාකොට තිබුණි. ඒ කොයිහැටි වුවද 2020 වර්ෂයේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවට අනුව එම වර්ෂයේ දී සේවකයන්ගේ නිවාඩු දින දීමනා ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 1.2ක් වැයකොට තිබුණි. මෙම ගෙවීම සිදුකොට ඇත්තේ අමාත්‍යාංශයේ විගණන කමිටුවේ තීරණයට පටහැනිවය. එමෙන්ම ජාතික සම්ප්‍රේෂණ ජාලය උදෙසා පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කරගැනීමේ ව්‍යාපෘතිය විදේශීය ණය ගිවිසුම් අනුව ක්‍රියාත්මක වේ. එකි ව්‍යාපෘතියේ කාර්යමණ්ඩලය සඳහා 2020 වර්ෂයේ දී ප්‍රතිපාදනවලට පටහැනිව නිවාඩු දින දීමනා හා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් 24,813,513ක මුදලක් ගෙවා තිබුණි.

විදුලි මාෆියාවක් හා ඒකාධිකාරියක් ගැන කථාබහට ලක්වෙන පසුබිමක් තුළ මේ වනවිට රට තුළ විදුලිබල අර්බුදයක් නිර්මාණය වී ඇත. විදුලි පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට අනුව විදුලිය සැපයීමට නොහැකිවීම නිසා විදුලිය කැපීමට සිදුවී ඇත. මේ නිසා රටේ ආර්ථිකයට වන බලපෑමද සුළුපටු නොවේ. මෙරට මුළු බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් විදුලිබලය මත රැඳෙන අතර මුළු විදුලිබල ජනනයෙන් සියයට 63ක් ඉන්ධන ගල් අඟුරු හා තාප බලාගාර මත යැපීමට සිදුවී ඇත. මෙකී බලාගාර සඳහා පොසිල ඉන්ධන ආනයනය කිරීමේ දී ඇමෙරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් විදේශීය රටවලට ඇදී යති. මෙකී විදුලි අර්බුදයෙන් මිදීම සඳහා ගල්අඟුරු ඉන්ධන බලාගාර මතම යැපෙනවාට වඩා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට යොමුවිය යුතුය.

කෙසේ වුවද 2020 වර්ෂයේ දී අප රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය මුළු බලශක්ති සැපයුමෙන් සියයට 37 කි. නව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය මුළු බලශක්ති සැපයුමෙන් සියයට 12කි. රජයේ ප්‍රතිපත්තියට අනුව 2030 වර්ෂය වනවිට මුළු පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 70 දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂිතය. අනාගතයේ දී ගල් අඟුරු බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට ද තීන්දු කොට ඇත. මෙරට විදුලිබල කර්මාන්තයට අදාළ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ මත පදනම්ව අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්මක් (2022 – 2041) සකස්කරණ ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට නියමකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් උපදෙස් ලබාදී තිබුණි. ඒ 2021 වර්ෂයේ සැප්තැම්බර් මස 13 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය. අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබූ අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්මට අදාළ කෙටුම්පත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වුවද විදුලිබල මණ්ඩලය විසින් එම කෙටුම්පත වර්තමාන රජයේ ප්‍රතිපත්තියට අනුකූල නොවන අයුරින් සකස්කොට තිබුණි. රජයේ නව ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි නව දිගුකාලීන විදුලි ජනන සැලැස්ම නැවත සකස්කොට ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම් සභාව විසින් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට දැනුම් දී තිබුණි. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් රජයේ නව ප්‍රතිපත්තියට අනුකූල නොවන පරිදි 2021 වර්ෂයේ ඔක්තෝබර් මස මෙකී අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්ම (2022 2041) සකස්කොට එළිදක්වන ලදී. එම සැලැස්මට අනුව 2041 වසර දක්වාම පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිබල උත්පාදනය සියයට 50කි. ගල් අඟුරුබලාගාර 02ක් ද ඇතුළත් කර තිබුණි. 2021 වර්ෂයේ පැවති එක්සත් ජාතීන්ගේ බලශක්ති සමුළුවට ජනාධිපතිවරයා විසින් මෙකී නව ඉලක්ක දැනුම් දී තිබුණි. ලක්විජය ගල්අඟුරු බලාගාරයෙන් පමණක් වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් 5000ක් පමණ වායුගෝලයට මුදාහැරෙන අතර ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නොතිබුණි.

බිලක බර ජනතාවට පටවන රට අඳුරේ තියන විදුලි මාෆියාවේ පැටිකිරිය මෙන්න

එමෙන්ම 2018 -2037 දිගුකාලීන ව්‍යපෘති උත්පාදන සැලැස්මෙහි 2018,2019,2020, යන වර්ෂයන්වල පිළිවෙළින් මෙ.වො. 500, මෙ. වො. 657, මෙ. වො. 430ක් ලෙස එකතුව මෙ.වො. 1587ක නව ජනනයන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි. එහෙත් මෙ.වො. 275.8ක ධාරිතාවයකින් යුතු බලාගාර පමණක් ආරම්භකර තිබුණි. මේ හේතුවෙන් නව උත්පාදන බලාගාර ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සැලකිය යුතු අයුරින් අඩුවී තිබුණි. මේ නිසා අවම පිරිවැයට විදුලිය සැපයීම හා නිෂ්පාදනය කිරීමට නොහැකි විය. මේ නිසා 2020 වර්ෂයේදී පමණක් රුපියල් බිලියන 22.2ක වටිනාකමක් සහිත ගිගා වොට් පැය 811ක හදිසි විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට සිදුවී තිබුණි. ඒ විතරක් නොව විදුලිබල මණ්ඩලය විසින් අධික මිලකට හදිසි විදුලිය මිලදීගෙන තිබූ බව විගණන කාර්යාලය මගින් කිකුත්කොට ඇති 2020 වර්ෂයේ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවම මිලක් යටතේ වර්ෂයකට කිලෝ වොට් පැය 697,674,432ක විදුලිය මිලදී ගැනීම සඳහා ඒසීඊ පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම සමග ගිවිසුම්ගතව තිබුණි. 2020 වර්ෂය තුළ විදුලි කිලෝවොට් පැය ඒකකයක් රුපියල් 24.42 බැගින් කිලෝ වෝට් 475,831,835 මිලදීගෙන තිබුණි. ලබානොගත් විදුලිය කිලෝ වොට් පැය 221,842,597ක් සඳහා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම කර තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඒ විතරක් නොව ලංකා විදුලිබල පනතේ විධිවිධාන හා වගන්තිවලට පටහැනිව ජනන බලපත්‍ර ලබාගෙන නොතිබූ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් තිදෙනකුගෙන් ගිගා වොට් පැය 732,192 විදුලිය මිලදීගෙන ඒ සඳහා රුපියල් බිලියන 18.91 මුදලක් විදුලිබල මණ්ඩලය විසින් ගෙවා තිබුණි.

කෙසේ වුවද මේ වනවිට මහාපරිමාන විදුලි බලාගාර ජනන ධාරිතාවය උපරිම වශයෙන් ළඟාකරගෙන ඇත. එවැනි පසුබිමක් තුළ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාව ඇත්තේ නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පමණි. කෙසේ වුවද නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට වසර 02ක සිට 05ක් අතර කාලයක් ගතවේ. අදාළ ආයෝජකයන් උත්පාදන බලපත්‍රය ලබාගැනීමේ දී රාජ්‍ය ආයතන 10කින් පමණ අනුමැතිය ලබාගත යුතුය. මෙකී බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය සරල නොවීම නිසා ආයෝජකයන් ගැටලු රැසකට ලක්ව තිබේ. නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බලශක්ති බලපත්‍ර නිකුත්කොට ඇති ව්‍යාපෘති 58ක් විවිධ හේතූන් මත නතර වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී ව්‍යාපෘති නතරවීම නිසා මෙගාවොට් 129.75ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නොහැකිවී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් නොකිරීම නිසා මෙගාවොට් 80ක ධාරිතාවයක් සහිත ව්‍යාපෘති 25ක් ඒ අතර වේ.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් බලපත්‍ර හා තාවකාලික අනුමැතිය ලබාදී ඇති සහ ජාල එකඟතාවය ඉදිරිපත්කොට ඇති මෙගාවොට් 4014.84 ව්‍යපෘති 1374ක ක්‍රියකාරීත්වය නතරවී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2017 වර්ෂයේ සිට තරගකාරී මිල කැඳවුම් ක්‍රමයට අවතිරණය වීම හේතුවෙන් සම්මත අයක්‍රමය මත පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීම අත්හිටුවීම මෙම තත්ත්වයට හේතුවී තිබේ. මේ දක්වා කුඩාජල විදුලිබලාගාර සඳහා කිසිදු ආකාරයේ මිල ගණන් කැඳවීමක් සිදුකර නොතිබූ අතර එම නිසා කුඩා පරිමාන ජලවිදුලි බලාගාර ඉදිකිරීමේ බලාපොරොත්තුවෙන් සිටි සැපයුම්කරුවන් කර්මාන්තයට පිවිසීම වැළකී තිබුණි. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අඩු මිලකට විදුලිය මිලදී ගැනීමට ඇති හැකියාවද අහිමිවී ඇත. මෙම තත්ත්වය නිසා පුද්ගලික ඩීසල් බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී තිබේ. 2017 වර්ෂය සාපේක්ෂව 2020 වර්ෂයේ දී සමස්ත හදිසි විදුලිය මිලදී ගැනීමේ වැඩිවීමේ ප්‍රතිශතය සියයට 14 කි. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය 2017 වර්ෂය දක්වා සම්මත ගාස්තු මිල ක්‍රමය මත පදනම්ව ක්‍රියාත්මක විය. දේශීය ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා සම්මත මිල ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. කුඩා පරිමාන ජලවිදුලි බලාගාර ක්ෂේත්‍රය මේ යටතේ ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගෙන තිබුණි. කෙසේ වුවද 2017 වර්ෂයේ සිට තරගකාරී මිල ක්‍රමය මත පදනම්ව කොන්ත්‍රාත් පිරිනැමීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් තීන්දු කරනු ලැබීය. එම අවස්ථාව වනවිට කුඩාජල විදුලි බලාගාර සූර්යබලාගාර සුළං බලාගාර ආදී නව පුනර්ජනනීය ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් නව ආයෝජකයන් 144ක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය ලියාපදිංචිවී පොරොත්තු ලේඛනය රැඳීසිටි අතර ආයෝජකයන් 1374 දෙනකු බලාගාර ඉදිකිරීමේ ක්‍රියාවලියේ විවිධ අදියරයන්හි අනුකූලතා සපුරාලමින් සිටියහ.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2017 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ සූර්යබල, කුඩාජල විදුලි බලාගාර, ඇතුළු බලාගාර 144ක් ඉදිකිරීම සඳහා ආයෝජකයන්ගෙන් මුදල් හා අයැදුම්පත් ලබාගෙන ලංකා විදුලිබල මණ්ඩලය වෙත අනුමැතිය සඳහා යෙමුකොට තිබුණි. එහෙත් එම ව්‍යාපෘති සම්බන්ධව මෙතෙක් කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොතිබුණි. ඒ අනුව ප්‍රභවයන් 07ක් යටතේ ව්‍යාපෘති 144ක් වෙනුවෙන් ඉදිරිපත්වූ අයැදුම්පත්වලට අනුව ධාරිතාවය මෙගාවොට් 699.96කි. මෙකී ව්‍යාපෘති සඳහා අයැදුම් කිරීමේදී අයැදුම්පත් ගාස්තු වශයෙන් රුපියල් 42,233,000ක මුදලක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අයකරගනු ලැබීය. එමෙන්ම ඉදිරිපත්වන අයැදුම්පත් සඳහා අනුමැතිය ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වී පැවතුණ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. අදාළ ආයතන දෙක අතර සම්බන්ධීකරණයේ පැවති දුර්වලතාවයන් මෙකී ප්‍රමාදවීම්වලට මූලික හේතුව බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේ වුවද විදුලිබල මණ්ඩලය විසින් 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ තරගකාරී මිල ක්‍රමය යටතේ ජාතික විදුලිබල පද්ධතියට එකතුකර ඇත්තේ මෙගා වොට් 01 බැගින් වූ සූර්යබල ව්‍යාපෘති 13ක් පමණි. එමෙන්ම සුළං විදුලිබලාගාර සම්බන්ධයෙන් 2022 වර්ෂයේ අපේක්ෂිත ඉලක්කය මෙගාවොට් 268කි. එහෙත් මේ සඳහා දැනට අයැදුම්පත් කැඳවා ඇත්තේ මෙගාවොට් 60ක ධාරිතාවයක් සඳහා පමණි. සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ මෙගාවොට් 269ක ධාරිතාවයක් පමණක් විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබුණි. මෙකී ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂය වනවිට මෙගාවොට් 1000ක විදුලි ධාරිතාවයක් ජනනය කිරීමට සැලසුම්කොට ඇත. කෙසේ වුවද වාර්ෂිකව ළඟාකරගත යුතු ඉලක්කයන් හඳුනා ගැනීමක් සිදුකර නොතිබුණි.

මෙරට විදුලිය සැපයුම් සහිත ජනගහනයේ ප්‍රමාණය සියයට 99.9කි. එහෙත් සමස්ත විදුලි සැපයුමේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 37කි. මින් නව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 12කි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් වසර 20ක් සඳහා දිගුකාලීන ජනන සැලැස්මක් පිළියෙල කරන අතර එය වසර 02කට වරක් යාවත්කාලීන කෙරේ. නියඟයකදී, විදුලිබලාගාර ක්‍රියාවිරහිතවීමකදී විදුලි කප්පාදුවකදී පිළියම් යෙදීම දිගුකාලීන විදුලි ජනන සැලැස්මේ අරමුණයි. එමෙන්ම මෙකී අවම පිරිවැය සැලැස්මට පරිබාහිරව හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා අවකාශ නොලැබෙන පරදි කටයුතු කළයුතු වේ. එහෙත් විදුලි බල මණ්ඩලය විසින් අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්මක් සකස්කොට එය ප්‍රකාශයට පත්කොට තිබුණද විදුලි කප්පාදුවට නම් විසඳුමක් ලැබී නොතිබුණි.

● ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment