රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර ජුනි 19 දින සිට…

345

දුටුගැමුණු රජතුමා වසර 44 කට පසුව විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගැනීමේ උදාර මෙහෙවරේ සංකේතයක් ලෙස ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය සඳහන් කළ යුතුය.

සිය පියාගේ ඇවෑමෙන් රාජ්‍යයත්වයට පත් දුටුගැමුණු රජුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ විදේශීය ආක්‍රමණයෙන් රට බේරා ගැනීමයි. ඒ අනුව වසර 44 ක් විදේශීය ආක්‍රමණයට යටත්ව සිට මේ රටේ බහුතර ජනතාව මුදා ගැනීමේ අතිබිහිසුණු සටන සඳහා කටයුතු කළ ආකාරය මහා වංශය ආදී වංශ කතාවල පැහැදිළිව සඳහන් කර ඇත. විහාරමහා දේවි මාතාවගේ උපදෙස් මත කටයුතු සංවිධානය කළ අතර තිස්ස මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා 500 ක් යුද පෙරමුණේ ගමන් කරමින් එතුමාට ආශිර්වාද කළ බවත් සඳහන් වේ. ජනවහරේ සඳහන් වන අන්දමට යුද්ධයට යෑමට පෙර කතරගම අෂ්ඨපල බෝධීන් වහන්සේ අසලට පැමිණ කිසියම් භාරයක් වී ඇත. ඒ තමා මේ යුද්ධය සිදුකරන්නේ රටත් ජනතාවත් එක්සේසත් කිරීමටත් විදේශීය පාලකයන් පලවා හැරීමටත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත් බවයි. යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් කතරගම දෙවිඳුන්ට රන්කොත් සහිත දේව මාළිගාවක් සාදා පූජා කරන බවට පොරොන්දුවී ඇත. ඒ අනුව එළාර සමඟ යුද්ධ කර යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට මෙතුමා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික රුහණු කතරගම මහා දේවාලය ඉදිවූ බව සඳහන් වේ. දේවාලයේ රාජකාරී කටයුතු සඳහා මහා බෙත්මේ හා කුඩා බෙත්මේ වශයෙන් තනතුරු දෙකක් ඇති කර එම අයගේ සහයට 550 කට ආසන්න විවිධ රාජකාරීවලට අයත් පිරිස් පත්කර ඇත. එපමණක් නොව ඉර හඳ පවතින තාක් කල් දේවාලයේ පුද පූජාවන් සහ එම කාර්ය මණ්ඩලය ජීවත්වීම සඳහා අක්කර 50000 ට ආසන්න ප්‍රමාණයක් පූජා කර ඇත.

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික උත්සව තුනක් දැකිය හැකිය. එනම් තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහා අප්‍රේල් මස 14 වැනි දින කිරි උතුරුවා රාත්‍රියේ දෙවියන් වල්ලිඅම්මා දේවාලයට වැඩමවා ලෝවැසියන්හට ආශිර්වාද කිරීමයි. ඉන්පසු ආරම්භ වන්නේ අඛණ්ඩව දින 15 ක් තිස්සේ පවත්වනු ලබන ඇසළ මහා උත්සවයයි. මුළු පූජා භූමියම විදුළි බුබුළු වලින් සරසා විශාල අලි ඇතුන් ප්‍රමාණයක් සම්බන්ධ කර ගනිමින් උඩරට පහතරට සබරගමු යන ප්‍රදේශවලින් පමණක් නොව දමිල ජනතාව නියෝජනය කරමින් ද නර්තනාංග ඒකරාශී කර ගනිමින් ඉතා කලාත්මක පෙරහැර 15 ක් මෙම දින පුරාවටම පැවැත්වේ. ඇසළ මහා පෙරහැරේ සුවිශේෂ දිනයක් වන්නේ පෙරහැර ගමන් කරන 06 වන දිනයයි. එහිදී බස්නායක නිල නිවාසයේ ගොම මැටි ගාන ලද පෞරාණික වටිනාකමකින් යුත් පූජනීය කුටිය තුළට සදාතුක කරඬුව සහිත මහා සඟරුවන වැඩමවා රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ප්‍රමුඛ කොට ගත් කාර්ය මණ්ඩලය දානය පිළිගන්වා දෙවියන්ට පිං අනුමෝදන් කර දුටුගැමුණු මහ රජතුමාටත්, රට බේරා ගැනීමට මහා දායකත්වයක් දක්වන ලද සියලු රණවිරුවන්ටත්, කඩොල් හස්තිරාජයා ප්‍රධාන සියලු දෙනාටත් පින් අනුමෝදන් කිරීමයි. මෙදින සිදුවන ඓතිහාසික සිදුවීම් කිහිපයකි. අනුරාධපුර විජිතපුර මහා සංග්‍රාමයේදී විදේශික ආක්‍රමණිකයන් පළවා හැරීමට අසීමිත මෙහෙවරක් කළ කඩොල් හස්ති රාජයාගේ දළ යුගළය දුටුගැමුණු මහ රජතුමා විසින් දේවාලයට පූජා කර ඇත. එය තැන්පත්කර ඇත්තේ දේවාලයේ ඇතුල් මාළිගය තුළය. මෙදින එම අතිවිශාල දළ යුගලය

මාලිගාවෙන් පිටතට ගෙනැවිත් දේවාලයේ තිරය දෙපස සඳුන් මණ්ඩපය ආසන්නයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබනු ලබයි. පෙරහැර අවසන් වූ පසු එම දළ යුගලය නැවත ඇතුල් මාළිගය තුළ තැන්පත් කිරීම පෞරාණික චාරිත්‍රයකි. එසේම දේවාලය ඉදිරිපිට අතුපන්දලම කොටස වසරකට වරක් අතු දමා සකස් කරන්නේද මෙදිනටය. එය ඊළඟ වර්ෂයේ මෙම දිනය තෙක්ම පවත්වාගෙන යා යුතුය. එසේම මෙදින සිදුවන අතිවිශේෂ කාර්යක් වන්නේ මෙම පෙරහැරවල්හි හා දේවාලයේ රජයේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන බස්නායක නිලමේතුමා පළමු වරට පළමු වරට බස්නායක නිලමේ ඇඳුමෙන් සැරසී

ගමන් කිරීමයි. වත්මන් බස්නායක නිලමේ තැම්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මැතිතුමා මෙහි නීත්‍යානුකූල වගකීම් දරණ තැනැත්තකු ලෙස දැනට කටයුතු කරයි. පෙරහැර අවසන් වීමට දින 03 කට පෙර ගිනි පැගීමේ කාර්යය සිංහල සහ හින්දු බැතිමතුන් ඒකරාශීව දේවාල වීදියෙහි සිදුකරනු ලබයි. එතැන් සිට වෙනත් දිනවලට වඩා විශේෂත්වයක් වන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසු තවත් පෙරහැරක් වල්ලිඅම්මා දේවාලය කරා ගමන් කිරීමයි. අවසාන මහා පෙරහැරේ තවත් සුවිශේෂ අංගයක් වන්නේ එතෙක් දෙවියන් පමණක් වැඩම වූ පෙරහැරට ඇතෙකු මත තබා සදාතුක කරඬුව වැඩමවීමටත් කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත එකී පෙරහැර ගමන් කිරීමත්ය. නැවතත් කිරිවෙහෙර වීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට යන පෙරහැර ගෙවදීමෙන් අනතුරුව නිමවීමට නියමිතය. අවසන් මහා පෙරහැර යෙදෙන පොහෝ දිනට පසු දින මැණික් ගඟේ නම් කර ඇති දිය කපන තොටුපළ වෙත හතරවටින් ආවරණය වූ කූනාල නමැති කුඩා පූජනීය කුටිය තුළ හිඳුවා කපු මහතුන් විසින් එය ඔසවාගෙන ගඟදිගේ ගමන් කිරීම දැකිය හැකිය. දිය කපන තොටුපළේදී දිය කපන කපුරාල එම කුටියෙන් බැස රන් අසිපතිකින් ජලය දෙබෑකිරීම පෞරාණික සිරිතකි. මින් බලාපොරොත්තුවී වන්නේ රටට උදාවී ඇති අපල උපද්‍රව දුරුවීමත්, බස්නායක නිලමේතුමා ප්‍රධාන සියලු දෙනාට ආශිර්වාද වේවා යන ආශිර්වාදයත් රට සශ්‍රීක වේවා යන බලාපොරොත්තුවත්ය.

ජුනි මස 19 වන දින ආරම්භවී ජූලි මස 03 වන දින අවසන් වීමට නියමිත ඇසළ පෙරහැර මංගල්‍යය ශක්තිමත්ව කරගෙන යෑම සඳහා මොණරාගල මහා දිසාපති පසන් රත්නායක මැතිතුමා දක්වන ලද සහයෝගය කෘතවේදීව සිහිපත් කළ යුතුය. ඉහත සඳහන් සියලු කටයුතු සාර්ථකවේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.

මෙයට කාරුණික

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති
පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment