මාස අටකට පසුව එළවළු තොග මිල යළිත් පහළට

160

උත්සව සමයේදීත් මිල අඩුවන හැඩ

මාස අටකට පසුව එළවළු තොග මිල ඊයේ (20) යළිත් පහළ ගියේය. එළවළු වර්ග ගණනාවක කිලෝවක තොග මිල රුපියල් දෙසියයක උපරිම මිලකට අලවි වූ බව තොග වෙළෙන්දෝ පැවසූහ. රු.2800.00 ක් දක්වා ඉහළ ගිය කැරට් කිලෝවක තොග මිල රු. 200.00 ක් දක්වාද, රු. 2200.00 ක් දක්වා ඉහළ ගිය අමු මිරිස් කිලෝවක තොග මිල රු. 200.00 ක් දක්වා පහළ ගිය බව තොග වෙළෙන්දෝ පැවසූහ.

ඊයේ එළවළු කිලෝ දශ ලක්ෂයක පමණ තොග දඹුල්ල තොග වෙළඳ පළට ලැබුණු බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ අනුශාසක යූ.බී.ඒකනායක මහතා පැවසීය. උත්සව සමයේදී එළවළු මිල තවදුරටත් පහළ යනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඉහළම තොග මිලට අනුව මාළු මිරිස් කිලෝවක් රු.400.00 ත් රු.450.00 ත්, ගෝවා කිලෝවක් රු. 350.00 ත් රු.400.00ත් අතර අලවි විය. කැරට්, ලීක්ස්, කට් බීට්, මුරුංගා සහ මල් ගෝවා කිලෝවක තොග මිල රු. 200.00 ත් රු. 350.00 ත් අතර අලෙවි විය. බෝංචි, තක්කාලි, වැටකොළු, පතෝල, කරවිල සහ මැලේෂියන් වට්ටක්කා, ඇතුළු එළවළු වර්ග 14 ක තොග මිල රු. 100.00 ත් රු. 200.00 ත් අතර ද, නෝකෝල්, පිපිඤ්ඤා, කැකිරි සහ බණ්ඩක්කා ඇතුළු එළවළු වර්ග 08 ක තොග මිල රු. 100.00 උපරිම තොග මිලක පැවැතිණි. මාස 08 පසුව එළවළු තොග මිල ශීඝ්‍රයෙන් කඩා වැටීම දින දෙකක පමණ සිට ආරම්භ වූ බවත් උත්සව සමයේදී තවදුරටත් එළවළු තොග මිල පහළ යනු ඇතැයිද ඊට පෙර එළවළු ගොවීන්ගේ අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් රජය මැදිහත්ව ලබාදිය යුතු බව ඔවූහු පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment