කැලණි ටයර් හන්දියේ කඩ කාමර ඉවත් කිරීමට එරෙහිව වාරණයක්

60

ප්‍රදේශයේ පදිංචි ආබාධිත හා අන්ත අසරණ පිරිසක් විසින් වසර 40කට ආසන්න කාලයක් තිස්සේ බුලත්විට, තැඹිලි, බඩඉරිඟු හා තේ අලෙවි කරමින් දරු පවුල් නඩත්තු කළ කැලණිය දළුගම ටයර් සංස්ථා හන්දියේ තාවකාලික කඩකාමර කඩා ඉවත් කිරීම වළකාලමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (14 දා) කැලණිය ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම ස්ථානයේ තාවකාලික කඩ කාමර පවත්වාගෙන යන දිනුෂා අල්විස්, දොන් ප්‍රේමාවති ඇතුළු හත්දෙනකු විසින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ කැලණිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඊ. එල්. සුබසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 27 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

කැලණිය ප්‍රාදේශීය සභාවේ බලධාරීන් එලෙස සිය සේවාදායකයන් ඉවත් කිරීමට උත්සාහ දරනුයේ එක්තරා ප්‍රභල දේශපාලනඥයකුගේ අවශ්‍යතාවය මත බවත් එම අසරණ පුද්ගලයන්ගේ තාවකාලික කඩකාමර ඉවත් කර පෙර කී දේශපාලඥයාට ස්ථිර වෙළෙඳ සැල් ඉදිකිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදීම එහි අරමුණ බවත් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා අධිකරණයට පැවසීය.

කොළඹ දිසා අධිකරණයෙන් ලබාදුන් තීන්දුවක් අනුව එකී කඩ කාමර ඉවත් කරන බවත් දින හතක් ඇතුළත ඉවත් නොකළහොත් ප්‍රාදේශීය සභා සේවකයන් යොදා ඉවත් කිරීමට පියවර ගන්නා බව සභා ලේකම් විසින් පසුගිය 6 වැනිදා ලිපියක් මගින් දැනුම් දී ඇතැයි ද අධිකරණයට පැවසු නීතිඥවරයා අධිකරණය කඩිනමින් වාරණ නියෝගයක් නිකුත් නොකළහොත් සිය ගණනකට කුසගින්දරේ සිටීමට සිදුවනු ඇතැයි ද අධිකරණයට පැවසීය. එම මාර්ගය ඉතා පුළුල් මාර්ගයක් වන බැවින් පැමිණිලිකරුවන්ගේ එකී වෙළෙඳාම් කටයුතු නිසා මාර්ගය අවහිර වීමක් හෝ මගීන්ට හා වාහනවලට කිසිදු බාධාවක් නොවන්නේ යැයි ද අධිකරණයට පැවසූ නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා 2014 වසරේ දී කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු විසින් එම කඩ කාමර පවත්වාගෙන යෑමට ලිඛිතවම ඔවුනට අවසර ලබාදී තිබූ බවද පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment