රනිල් ජනතාව අමතයි – හමුදාවන්ට බලය දුන්නා – අරගලකරුවන්ගේ ජනපතිකෙනෙක් පත්කර ගන්න ඒ අය හදනවා

455

ව්‍යවස්ථාවෙන් පිට අපි වැඩ කරන්නේ නෑ
තර්ජනයෙන් රටේ සම්පත් අල්ලන් ඉන්න බෑ


තර්ජනාත්මකව රටේ සම්පත් අල්ලාගෙන සිටිය නොහැකි බවත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි නීතිය හා ඇඳිරිනීතිය පනවා ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගෙන් යුත් සම්පූර්ණ බලතල සහිත කමිටුවක් පත් කළ බවත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) පැවසීය.

ඒ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ද පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන තත්ත්වය සාකච්ඡා කරන්න සඳුදා දහවල් පක්‍ෂ නායකයන් මුණගැහුණා. ඒ අවස්ථාවේදී ලබන සතියේ නිලවරණය පවත්වන්නත් මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව දෙන්නත් අපි තීරණයක් ගත්තා. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ඇති කරන්න යන අවස්ථාවේදී අගමැතිකමෙන් ඉවත් වන බවටත් මම ප්‍රතිඥාවක් දුන්නා.

ඒ අනුව නැවත සිකුරාදා

රැස්වෙන්න කියලා අපි විසිරිලා ගියා. ඉන් පසුව කාලයේදී මේ අපේක්‍ෂකත්වය කැමති සමහර අය ආරම්භ කළා අනිත් මන්ත්‍රීවරුන් එක්ක සාකච්ඡා කරල ඒ අයගේ සහයෝගය ලබාගන්න. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තමයි රටේ තිබුණේ. ඊයේ (13 දා) ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් පිටවෙලා ගියා. කථානායකතුමාට ඉල්ලා අස්වීමේ ලිපිය දෙනව කියලා එතුමා පිටවී යන බවට මටත් දැනුම් දුන්නා.

එතුමා පිටව යනවිට අපි පුදුම වුණේ බුද්ධි අංශයට ලැබිල තිබුණ සමහර තොරතුරු ගැන. ජනාධිපතිවරයෙක් තෝරන්න පියවර ගත්තත් අරගලයේ සිටින සමහර කණ්ඩායම් සංවිධානය කරල තිබුණා අගමැති කාර්යාලය අල්ලන්න. ඒ වගේම ජනාධිපතිතුමාට මාලදිවයිනට යන්න ගුවන් යානයක් දුන්න නිසා ගුවන් හමුදාපතිතුමාගේ, නාවික හමුදාපතිතුමාගේත් ගෙවල් වටකරන්න කියලා තීරණය කරලා තිබුණා. ඒ බැලුවේ මේ රටේ බලය එතනින් ලබාගන්න. ඒ එක්කම පාර්ලිමේන්තුව වටකරන වැඩසටහනකුත් ඒ අය සංවිධානය කරලා තිබුණා.

හොඳ වෙලාවට පෙරේදා (12 දා) කථානායකතුමා මාණ්ඩලික ප්‍රධානීන් සමග සාකච්ඡා කරාම පාර්ලිමේන්තුව ආරක්‍ෂා කරන්න ඒ අය එකඟ වුණා. ඒ නිසා ඊයේ පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මේ ආව කණ්ඩායම් කැරලි ගහනව, කෝළාහල කරනවා අගමැති කාර්යාලය වටේ. ඒ අයට ඕනවෙලා තියෙන්නෙ නීත්‍යානුකූලව වැඩ බලන ජනාධිපති වෙලා මම කථානායක සමග එකතුවෙලා මේ රටේ අලුත් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත් කරන එක නවත්වලා ඒ අයගේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්කර ගන්නයි.

සමහරු කියලා තියෙනවා මේ රටේ ව්‍යවස්ථාව වැඩක් නැහැ. පාර්ලිමේන්තුව වැඩක් නැහැ. අපි කියන අය තෝරන්න කියලා. මේ රටේ ව්‍යවස්ථාවෙන් ජනතාවට සර්වජන බලයත්, පරමාධිපත්‍යත් ක්‍රියාත්මක කරන්නෙ පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාවෙන් පිට අපිට වැඩ කරන්න බැහැ. මේ රටේ පැසිස්ට්වාදී දේශපාලනය පතුරවන්න සමහර දේශපාලන පක්‍ෂ එකතුවෙලා ඉන්නවා. මේ නිසා ඇතිවූ තත්ත්වය පාලනය කරන්න හදිසි නීතිය, ඇඳිරිනීතිය පනවන්න කියලා ආරක්‍ෂක අංශ මට උපදෙස් දුන්නා. ඒ අනුව එය පනවලා මේ පැසිස්ට්වාදී තර්ජනය අපි නැති කරන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් ආරක්‍ෂා කරන්න ඕන. එහෙම තර්ජනකාරීව රටේ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලගෙන ඒවායේ තිබූ වටිනා ලිපිගොනු නැති කරන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා හදිසි නීතිය, ඇඳිරිනීතිය පනවලා රට සාමාන්‍ය තත්ත්වයට ගන්න අවශ්‍ය පියවර ගන්න කියලා මම ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටියා. ඒ සඳහා ආරක්‍ෂක අංශ ප්‍රධානියා, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරලා සම්පූර්ණ බලතල දීලා තියෙනවා. ඒකට දේශපාලන ඇඟිලි ගැසීමක් නැහැ. වැඩකටයුතු අවසන් කළාම ඒ ගැන මට දැනුම් දෙන්න කියලා තියෙනවා.

මම සියලු දෙනාගෙන්ම අහන්නේ මේ ඔබගේ අනාගතය, නීතිය සාමය ආරක්‍ෂා කරගෙන යන්න ඕන කාලයක්. ඒ සඳහා සියලු දෙනාගේම සහාය ආරක්‍ෂක අංශවලට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment