ගෝඨා රටින් යයි – බිරිඳ හා ආරක්‍ෂකයෝ දෙදෙනෙක් ද යති – මාලදිවයිනට පැමිණියාට විරෝධතා

365

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකු ඊයේ (13 දා) අලුයම ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද මෙම ගුවන් යානයෙන් ගොස් ඇත. පෙරේදා (12 දා) රාත්‍රි 11.00 ට පමණ මොවුන් ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ලියකියවිලි පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් රැගෙනවිත් අනුමත කරගෙන ගොස් ඇත.

ගෝඨා රටින් යයි - බිරිඳ හා ආරක්‍ෂකයෝ දෙදෙනෙක් ද යති - මාලදිවයිනට පැමිණියාට විරෝධතා
ඊයේ මාලදිවයිනේදී

ඉන්පසු ඊයේ (13 දා) අලුයම 1.45 ට පමණ ඇන්ටොනොව් – 32 (ඒ. එන්. 32) වර්ගයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා පිටත්ව යෑම සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ විසින් නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති ආගමන, විගමන රේගු සහ අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා සහ එම මහත්මිය සමග ආරක්‍ෂකයන් දෙදෙනකුට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට මාලදිවයින බලා පිටත්ව යෑමට ගුවන් හමුදාවේ ගුවන් යානයක් ඊයේ (13 දා) අලුයම ලබාදුන් බවය. ජනාධිපතිවරයා ඇතුළු පිරිස මාලදිවයින බලා රැගෙන ගිය ගුවන් යානය ඊයේ (13 දා) පෙරවරු 7.00 පමණ වනවිට කටුනායකට පැමිණි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගුවන් හමුදා යානයකින් මෙරටින් පිටව ගොස් ඇති බව බී බී සී වෙබ් අඩවිය ද සටහන් කර ඇතත් ඔවුන් කුමන රටකට ගියා ද යන්න සඳහන් කර නැත. ජනාධිපතිවරයා සමග ඔහුගේ සොයුරු බැසිල් රාජපක්‍ෂ මහතා ද පිටව ගොස් ඇති අතර ඔහුගේ ගමනාන්තය වන්නේ ඇමරිකාව බව එහි සඳහන් කර තිබිණි.

ජනාධිපතිවරයා මෙරටින් පිටත්ව යෑම ගුවන්තොටුපළේ ආගමන විගමන නීති රීති අනුව සිදුව ඇති බව ආගමන විගමන නිලධාරී සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු වීසා ඉල්ලා ඇතත් එය ප්‍රතික්‍ෂේප වී ඇති බව ද ඉන්දියාවේ ද හින්දු බෙව් අඩවිය ද වාර්තා කර තිබේ. කොළඹ සිටින නිලධාරියකු උපුටා දක්වමින් ද හින්දු වෙබ් අඩවිය මෙය වාර්තා කර තිබේ. ඒ පිළිබඳ ඇමරිකානු කාර්යාලයෙන් කරුණු විමසීමක් කිරීමට උත්සාහ කළත් ඔවුන් කරුණු දැක්වීමක් නොකළ බවද එහි සඳහන් වෙයි.

2019 වසරේදී ජනාධිපතිවරණයට ද්විත්ව පුරවැසිභාවය හේතුවක් වී තිබූ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගෙන තිබුණි. මේ අතර හමුදා ගුවන් යානයකින් මාලදිවයිනට ළඟාවී ඇති බව ඒ එෆ් පී ජාත්‍යන්තර පුවත් සේවය ද ඊයේ (13 දා) වාර්තා කර තිබිණි.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, ටී. කේ. ජී. කපිල – කටුනායක 

advertistmentadvertistment
advertistmentadvertistment