ජෙලි සහ ෆයිසලියා දකුණු මුහුද කළඹයි

1747

සතා ගෑවුණොත් කුද්දටි එනවා – හුස්ම ගන්න අමාරුයි -ශරීරය ඉදිමෙනවා

දැනටමත් විදේශිකයන් ඇතුළු බොහෝ පිරිසක් රෝහල්ගත වෙලා

මේ දිනවල දකුණු සහ නිරිත දිග මුහුදු තීරයේ විෂ සහිත මුහුදු සතුන් බහුලව දකින්නට හැකි බවත්, එම සතුන් ස්පර්ශ වීම නිසා බොහෝ පිරිසක් රෝහල්ගත වී ඇති බවත් රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය ජනක රූබන් මහතා පවසයි.

නිරිතදිග මෝසම් සුළං සමග සක්‍රීය වී ඇති වාරකන් තත්ත්වය නිසා දකුණු සහ නිරිත දිග මුහුදු තීරයට විෂ සහිත ජෙලි සහ ෆයිසලියා වර්ගයේ ජීවීන් බහුලව පැමිණ ඇත.

මුහුදේ පිහිනීමට සහ විනෝද වීමට පැමිණි පුද්ගලයන් කිහිප දෙනකුම මෙම විෂ සහිත ජීවීන් ගෑවීම නිසා රෝහල් ගතකොට ඇති අතර ගාල්ල කොටුව, උණවටුන, දෙවට, තල්පේ සහ අහංගම යන පෙදෙස්වලින් දැනටමත් අනතුරු වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ජුනි සහ ජුලි මාසවල මෙම ජීවීන් මුහුදේ දැක ගන්නට ලැබීම සාමාන්‍ය දෙයක් වුවද පසුගිය වසරවලට සාපේක්ෂව වැඩි අනතුරු ප්‍රමාණයක් මෙම ජීවීන් නිසා ඇති විය හැකි බව අනුමාන කරන බැවින් මුහුදේ විනෝදවීමට යෑම සීමා කිරීමටත්, මුහුදු වතුරේ පාවී එන එවන් ජීවීන් ගැන අවධානයෙන් සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ජලය මත පාවී එන නිල් පැහැති වායුව පිරුණු බුබුලක් සහිත ෆෛසලියා ෆෛසාලිස් යන සතුන් ගැන වැඩි අවධානයෙන් සිටිය යුතුය. මෙම සතුන් මීටර් කිහිපයක් දිගැති ගැට සහිත නූලක් වැනි අවයවයකින් යුක්තය. මෙම අවයවය කිසිවකුගේ ශරීරයේ ගෑවී ඇලුන විට එයින් නිකුත් කරන විෂ ශරීරගත වීම සිදුවේ.

ක්ෂණිකව ඇතිවන වේදනාව, කුද්දටි ඉලිප්පීම, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි තත්ත්වයන් මෙහිදී ඇතිවිය හැකි අතර දැඩි අසාත්මිකතාවක් හටගතහොත් ජීවිත අවදානමක්ද ඇතිවිය හැක. විදේශිකයන් පිරිසක්ද ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.

සාමාන්‍ය ජලය යෙදීමෙන් සහ විෂ සහිත සත්ත්ව කොටස් ඉවත් නොකර පිරිමැදීමෙන් විෂ සෛල තව තවත් පුපුරා වැඩි වැඩියෙන් විෂ ශරීරගත විය හැකි අතර සිදුවන අනතුරකදී ශරීරය මත ඇලුණු විෂ සහිත සත්ත්ව කොටස් යම්කිසි ආධාරකයකින් (කෝටුවකින්) ඉවත් කළ යුතු අතර එම සතා ගෑවුණු තැන් මුහුදු වතුරෙන්ම සෝදා හරිය යුතු බවද රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය ජනක රූබන් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, අක්මීමන – කේ. මතිලාල්

advertistmentadvertistment
advertistmentadvertistment