කප්පම් අරන් වැඩ තහනම් වූ කොස්තාපල් හෙරොයින් සමග අත්අඩංගුවට

138

බන්ධනාගාර රැඳවියන්ගේ බිරින්ඳෑවරුන් හිතවත් කරගෙන ජාවාරම ජයටම මෙහෙයවලා

රාජකාරියේ යෙදී සිටියදී රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමේ චෝදනාවට, මීට වසර දහයකට පෙර වැඩ තහනමට ලක්වූ ගාල්ල පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා (18දා) රුපියල් ලක්ෂ 3කට වැඩි හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල, අක්මීමන, අලු‍ත් කනත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකි.

මෙම හිටපු කොස්තාපල්වරයා 2002 වසරේ දී පොලිස් සේවයට එක්ව ඇති අතර, සැකකරු කාලයක් තිස්සේ උසස් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිට ඇති බවද පොලිසිය කියයි.

සැකකරු 2012 වසරේ දී ගාල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී රුපියල් පනස් දහසක කප්පම් මුදලක් ලබා ගැනීමේ වරදට සහ ඊට ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගෙන සේවය අත්හිටවූ පුද්ගලයකු බව පොලීසිය පවසයි.

සැකකරු වැඩ තහනමට ලක් වීමෙන් අනතුරුව ගාල්ල සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කර ගනිමින් ‘ඊසි කෑෂ්‘ ක්‍රමයට හෙරොයින් මත් කුඩු වෙළෙදාම සිදු කර ගෙන ගොස් ඇති බවත්, ඔහු විසින් අනුරාධපුර බන්ධනාගාරය සහ උසාවිය අසල රැඳී සිටිමින් හෙරොයින් නඩුවලට බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගේ බිරින්ඳෑවරුන් සමග සම්බන්ධතා ඇති කර ගනිමින් මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදු කර ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 4300 ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (19දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී (1) සංජීව මහානාම යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. බණ්ඩාර (48317), පො.සැ. නිශාන්(61406), පො.සැ. සමන් (71544) පො.කො. රාජරත්න (66934), පො.කො. අජිත් (70066) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment