සචිත්‍රට ඇප – තරග පාවාදීමට කළ යෝජනා ඇතුළත් හඩ පටයක් අයිසීසීයෙන් ලංකාවට

386

සැකකරු රඳවා තිබුණේ ප්‍රභූ මැදිරියක ඩුබායි යන්න  වීසාත් අරන්: එහි ඉඩමකුත් අරන්
නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයන් දෙදෙනකු පෙළඹවීමට තැත් කළේ යැයි චොද්නා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

පසුගිය 6 වැනිදා සිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින එම සැකකරු විමර්ශනවලට අයුතු ලෙස මැදිහත්වී ඇති බවට හෝ පැමිණිල්ලේ සාක්‍ෂිවලට අයුතු ලෙස මැදිහත්වී ඇති බවට තොරතුරු අනාවරණය වී නොමැති බැවින් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් හේතුවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහුට පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ තහනම තවදුරටත් දීර්ඝ කරමින් එම ඇප නියෝගය නිකුත් කළේය.

අධිකරණයෙන් ලබාගත් නියෝගය අනුව පසුගිය 19 වැනිදා විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් බන්ධනාගාරය තුළදී සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඔහු මින් පෙර ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර එකී ප්‍රකාශවල සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එවැනි ප්‍රකාශ කළේ දැයි නිශ්චිතව මතක නැති බවට හා සමහරවිට තමාගේ හිතේ තිබුණු අදහස් පෙරකී ප්‍රකාශවලදී කියන්නට ඇති බවට ඔහු එදින ප්‍රකාශ ලබාදී ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය. එකී කරුණු අනුව පෙනී යනුයේ ඔහුට අධිකරණය ලබාදුන් නියෝගවලට පවා අනුකූල නොවී හිතාමතාම විමර්ශන නොමඟ යැවීමේ ප්‍රයත්නයක නිරත වන බවක් යැයිද අධිකරණයට පැවසූ දිලීප පීරිස් මහතා ධම්මික ප්‍රසාද් ඇතුළු පැමිණිල්ලේ සඳහන් ක්‍රීඩකයන් දෙදෙනාට තරග පාවාදීම සඳහා යෝජනා කළ ඉන්දියනු ජාතිකයා තරග පාවාදීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ට කළ යෝජනා ඇතුළත් හඬ පටයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විමර්ශන අංශය විසින් ඉදිරි සතිය ඇතුළත ශ්‍රී ලංකාවට එන්නට නියමිතව ඇතැයිද අධිකරණයට පැවසීය. එම හඬ පටය ලැබුණු පසු එහි සඳහන් කරුණු සහ මෙම විමර්ශනවලින් ඉදිරිපත්වී ඇති කරුණු සසඳා විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කරන තෙක් සැකකරුව තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සැකකරු බන්ධනාගාර තුළ රඳවා ඇත්තේ තවත් 7 දෙනකු සමග විශේෂ ප්‍රභූ මැදිරියක බවත් එකී ස්ථානය සිරමැදිරියක් නොව නිලධාරීන්ගේ කාර්යාල පිහිටි උඩුමහලේ කොටසක් බවත් අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සැමට නීතිය සමාන විය යුතු වුවත් එලෙස බන්ධනාගාරය තුළදී ඔහු ඇතුළු පිරිසකට සුවිශේෂ වරප්‍රසාද ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පවත්නා තත්ත්වය අනුව යම් සැකකරුවකුට හෝ  රැඳවියකුට සුවිශේෂී ආකාරයෙන් සැලකීමේ අයිතිය බන්ධනාගාර පාලනාධිකාරියට ඇතැයි එහිදී පැවසූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා නීතිපතිවරයාට අවශ්‍ය නම් ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා තොරතුරු ලබා ගැනීමට හැකි බවද පැවසීය.

සැකකාර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඩුබායි රාජ්‍යයේ වීසා ලබාගෙන කුලී පදනම හෝ බදු පදනම මත ඉඩමක් ද ලබාගෙන ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය. පැමිණිල්ල එවැනි කරුණු ඉදිරිපත් කරනුයේ සිය සේවාදායකයා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් බව පවසූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අවම වශයෙන් එකී ඉඩම පිහිටි ලිපිනය හෝ ඉදිරිපත් නොකර පැමිණිල්ල එවැනි කරුණු දක්වනුයේ එවැනි අභූත චෝදනා සමාජගත කිරීමේ අරමුණින් බවට පැවසීය.

නීතිඥ වසීම්වුල් අක්‍රම්, නලීන් ජයමාන්න, ලලිත් පියුමි පෙරේරා සහ නීතිඥ අසංක රන්දෙනිය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment