අස්ගිරි විහාරයෙන් බුහුමන් ලබන මහරගම නන්ද නාහිමියෝ

94

ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය, බස්නාහිර පළාත ඇතුළු ඌව පළාතේ ප්‍රධාන සංඝනායක, කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානය ඇතුළු පංච මහා විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී සරභඤ්ඤ විසාරද මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේ ඊයේ දින (09දා) ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධම්මජෝතික යන ගෞරව නාමයෙන් අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝසභාවෙන් ගෞරවෝපාහාරයට ලක් කරනු ලැබේ. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ සාම්ප්‍රදායිකව මහත් අගය කිරීමකට බඳුන්ව ඇති කීමෙහි බිමෙහි දක්ෂතාව අර්ථවත් කරමින් වත්මන් ශ්‍රී ලංකාවේ විචිත්‍ර දේශකයාණන් වහන්සේ නමක උත්තුංග හඬ පෞරුෂයක් දරමින් සම්භාවනීය සංඝ සභාවක් වූ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්යයන් වහන්සේ නමක්ව පෞරාණික විහාරාරාම රාශියක ආධිපත්‍යය දරමින් ඉමහත් ශාසනික සේවයක යෙදී සිටින පූජ්‍යතර මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට එබඳු තනතුරු ගරු නාම සම්මුතීන් ලබාදීම පිළිබඳ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සානුනායක කාරක සංඝ සභාවට අපේ ගෞරවය හා ප්‍රණාමය පළ කළ යුතුව ඇත.

මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේ සල්පිටි කෝරළයේ කොළඹ අගනගරයට ආසන්න උප නගරයක් වූ පෞරාණික මහරගම නගර සීමාවේදී 1954 පෙබරවාරි 09 වන දින ජන්මලාභය ලබා ඇත්තේ ප්‍රදේශයේ සම්භාවනීය කුල පරපුරකට අයත්වය. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් ලබන ලද්දේ මතු නොව පුරාකෘත කුසල මහිමයෙන් සසුන් මගට ඇලුම් කරන ලදුව ප්‍රදේශයේ සම්භාවනීය විහාරස්ථානයක් වූ නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේදී තත් විහාරාධිපති කර්මවාගාචාර්ය හෝකන්දර ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය හෝකන්දර විමල නාහිමිපාණන් වහන්සේ මෙන්ම කොල්ලුපිටිය වාළුකාරාමය, නිවන්තිඩිය මහේන්ද්‍රාරාමය ප්‍රධාන විහාරස්ථාන ගණයේ ආධිපත්‍යය දරන ලද පූජ්‍ය නිවන්තිඩියේ ආනන්ද යන නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යයත්වයෙන් 1968 වර්ෂයේදී ප්‍රව්‍රජ්‍යාව ලබා තිබේ.

තම ගුරුදේවයන් වහන්සේ ඇසුරින් මූලික ආරාමික අධ්‍යාපනය ලබන ලද මුන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා කීර්තිමත් විද්‍යාස්ථානයක් වූ පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්ව ධර්මවිනය, ශබ්ද ශාස්ත්‍රාදිය මෙන්ම සාම්ප්‍රදායික ආකල්පාදියෙන් මනා ශික්ෂණය ලබා නිසි වයස් සපිරීමෙන් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභායත්ත සිරි මංගල උපෝසථාගාරයේ දී ඉහත ආචාර්යයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1974 ජූනි මස 9 වන දින උපසම්පදා ශීලයට පමුණුවන ලදි. උතුම් උපසම්පදා ශීලයෙන් පරිපූර්ණත්වයට පත් මුන්වහන්සේගේ භික්ෂු ජීවිතයේ විද්‍යාමාන ශ්‍රමණ සාරුප්‍යය සහ සබැඳි ශික්ෂණය හා විචිත්‍ර දේශකයන් වහන්සේ නමක ලෙස ඉතා කෙටි කලකදී ලබන ලද කීර්තිය නිසා කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ කර්මවාගාචාර්යයන් වහන්සේ නමක වීමේ භාග්‍යය මුන්වහන්සේ 1989 වර්ෂයේ ලද බව අපේ මතකයේ පවතී.

තම ආචාර්යපාදයන් වහන්සේ නමක වන කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය දරමින් සිට අපවත් වී වදාළ නිවන්තිඩියේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක වූ මුන්වහන්සේගේ තිබූ දක්ෂතා අනුව ප්‍රථමයෙන් නිවන්තිඩිය මහේන්ද්‍රාරාමයේ විහාරාධිකාරීත්වය පවරන ලද්දේ මතු නොව අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මාදුළුවාවේ සෝභිත මාහිමි, ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි ආදී මහා යතිවරුන් වහන්සේ සමග ශාසනික කටයුතුවලදී පෙරමුණ ගත් ආකාරය අපේ මතකයේ රැඳී පවතී. නිවන්තිඩිය විහාරස්ථානය ඉතා සුළු කලෙකදී සකලාංග පරිපූර්ණත්වයට පත් කොට නවීන පහසුකම් සහිතව බෝධිප්‍රාකාර, විහාරමන්දිර, සංඝාවාස, ප්‍රාකාර බැමි, මකර තොරණ ඉදිකරවා වාර්ෂිකව ගම්මඩු ශාන්ති කර්මයක් පැවැත්වීම ද සඳහන් කළ යුතුය.

ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ අපවත් වීමෙන් පසු නිවන්තිඩියේ මහේන්ද්‍රාරාමය, කොල්ලුපිටියේ වාළුකාරාමය, ගල්තුඩේ සිද්ධත්ථාරාමය, නාවින්න ඉසිපතනාරාමය යන විහාරස්ථානවල ආධිපත්‍යයට පත්ව තමන්වහන්සේගේම නිර්මාණයක් වූ සෙල්ලකතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානය තුළින් ද සුවිශාල ශාසනික මෙහෙවරක් සිදු කරනු ලබයි. එමතු නොව උගත් සිසු පරපුරක් බිහි කිරීම ද අගය කළ යුතුය. විශේෂයෙන් අගනුවර පෞරාණික විහාරස්ථානයක් වන කොල්ලුපිටියේ වාළුකාරාම විහාරස්ථානයේ ආධිපත්‍යය හොබවමින් එහි පෙරහර පූජෝත්සවය ද මනාකොට සිදු කරන ආකාරය අතිශයෙන් ප්‍රශංසනීය වෙයි. මෙරට කීර්තිමත් විහාරස්ථානයක් වූ කොල්ලුපිටියේ වාළුකාරාමයෙහි ස්වකීය සඟ පරපුරෙහි ආදිතමයන්ගේ සහ ලක්දිව සුපතල යුගකාරක තෙරවරුන්ගේ ඡායාරූප මනාකොට සකස් කරවා ප්‍රදර්ශනය කොට කෘතවේදීත්වය පළ කිරීම මතු නොව අපවත් වී වදාළ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක බෙල්ලන ඤාණවිමල මහානායක හිමිපාණන් වහන්සේ වාළුකාරාමයේ නවත්වා ගනිමින් වසර ගණනාවක් උපස්ථාන කිරීම ද අගය කළ යුතුය.

මෙබඳු සුවිශේෂී මෙහෙවරක නිරත වන අතරතුර විනය කර්මාදියෙහිදී ද පාරිශුද්ධත්වය පිණිස අප්‍රමාණ ශාසන ගෞරවයෙන් අනලස්ව පෙරට පැමිණෙමින් දක්වන දායකත්වය ද සුවිශේෂී ලක්ෂණයකි. ධර්මදේශනා, පිරිත් දේශනා, තිස් පෑ පිරිත් දේශනා, සති පිරිත් දේශනා ආදියෙහි අද ලක්දිව වැඩ සිටින අංක එකේ විශේෂඥයා මහරගම නන්ද නාහිමියන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාව මගින් ශ්‍රී සිද්ධාර්ථ වංශාලංකාර සරභඤ්ඤ විසාරද ගෞරව නාමය සහිතව කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියත්, රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරයත්, අපේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝසභාව මගින් සද්ධර්මකීර්ති ශ්‍රී පරිත්තධජ යන ගෞරව නාමයෙනුත් බුහුමන් ලබා අස්ගිරි මහාවිහාර කාරක මහා සංඝ සභාව මගින් සද්ධම්මජෝතිකධජ යන ගෞරව නාමයෙන් බුහුමන් ලැබීම 2024 පෙබරවාරි 9 වැනි දින සවස 2.30ට අස්ගිරි මහා විහාරයේ දී සිදු කිරීමට නියමිතව ඇත. මෙසේ අපේ උභය මහා විහාරය ම මුන්වහන්සේට ගෞරව දක්වනුයේ එම සංඝසභා සහ මුන්වහන්සේගේ අව්‍යාජත්වය ඇති කරගෙන ඇති ගෞරවය හා හිතවත්භාවය ද සිහිපත් කළ යුතුව ඇත. කෘතවේදී ගුණයෙන් මහත් ශාසනික සේවයක නිරත වන මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ඉහත ශාසනික පදවි සක්‍රිය කිරීම සඳහා නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරමු.

දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක,
ශාස්ත්‍රපත අතපත්තුකන්දේ
ආනන්ද නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment