පනාපුත්‍ර කුහුඹු පැණියා

1120

මේ එක්දහස් නවසිය හැත්තෑව දශකයේ මුල් කාර්තුවයි. පනාපුත්‍ර ඒ අවධියේ පාසල් සිසුවෙකි. මම මගේ පාසල් දිවියට ප්‍රේම කරමි. අතීතයේ එහා ඉම සොයා ගියත් මට වැලි සෙල්ලම් බත් ඉවූ මතකයක් නැත. ඇත්තේ අයියා සමග සෙල්ලමට නාට්‍ය පෙන්නපු මතකයන්ය. හැත්තෑව දශකය වන විට මම කඳානේ හපුගොඩ ශාන්ත මරියා කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්මි. නාට්‍යකරණයට ප්‍රිය මිත්‍ර පිරිසක් මට වූහ. අයිවන්, ඇලෙක්සැන්ඩර්, සුනිල් දසනායක ආදීන් මාගේ අතීත නාට්‍ය මිතුරෝය.

වින්සන් මාස්ටර්, සර්ච්චන්ද්‍ර, හෙන්රි ජයසේන ගැන ද ඇන්ටනි මාස්ටර්, ජයමාන්න නාට්‍ය ගැන ද ප්‍රේමරත්න මාස්ටර්, දයානන්ද ගුණවර්ධන ජන නාට්‍ය ගැන ද පින්තු මාස්ටර්, සුගතපාල ද සිල්වා නළු නාට්‍ය ගැන ද අපට වීර කතා කියා දුන්නෝය. හැත්තෑ තුනේදී පමණ අන්තර් පාඨශාලීය අවසාන වටයේ නාට්‍ය තරගයට තේරුණු අපි කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලට ආවෙමු.

ඒ දිනවල අපේ විද්‍යාලයේ නාට්‍ය සඳහා ගැහැනු ළමුන් සහභාගි කරවා ගත නොහැක. සිස්ටර් මේරි ඉසිඩෝර් කන්‍යා මව්තුමිය විදුහල්පතිනියයි. ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් එක්ව නාට්‍ය රඟදැක්වීම ඇගේ නීතියෙන් තහනම්ය. එහෙයින් ගැහැනු චරිත සඳහා ද යොදා ගැනුණේ පිරිමි නළුවන්මය.

මා ඒ දිනවල මඳක් සුකුමාර බවකින් පසුවන්නට ඇත. මාව තෝරා ගත්තේ ගැහැනු චරිතයන්ට පමණි. පාසල් නාට්‍ය අතර නරිබෑනා හි ගම මහගෙ ලෙස ද වරෙක ගම දුව ලෙස ද මම රඟපෑවෙමි. කළුඑතනා ද රන්මැණිකා ද වූයේ මාය. පාසල් විවිධ ප්‍රසංගයේ රන්එතනාට රඟපෑ මා වෙත දිනක් පැමිණි බීමත් වැඩිහිටියෙක් වේදිකාව පිටුපසදී මා ඇද සිප ගත්තේය. ඔහුගේ මුවින් නික්මුණු බීඩි කාරම් සහිත ඌරල් ගඳත් ඔහුගේ රැවුල් කොට ඇනීමේ හිරිකිතයත් තවම මට මතකය.

ඒ කාලයේ පාසල් සිසුන් මට ‘මැණිකේ’ කියා නමක් ද පටබැඳ තිබුණි. මාගේ මිතුරන් අතර ද බොහෝවිට කාන්තා පක්‍ෂය වැඩි විය. පාසල් නැටුම් කණ්ඩායමේ සිටි පිරිමින් වූයේ ද මා සහ ඒ දවස්වල මාගේ සෙවණැල්ල සේ සිටි අයිවනුත් පමණි. ඉතින් කාන්තා චරිත රඟපෑම මට ඒ දිනවල අරුමයක් නොවේ.

එහෙත් ලුම්බිණි රඟහලේ අවසාන වටයේදී, නගරයේ වෙනත් දියුණු පාසල් සමග සැසඳීමේදී අප අන් අයගේ සිනාවට ලක්විය.

ඉන්පසු කාන්තා චරිත සඳහා පිරිමි නළුවන් යොදා නොගන්නට අපේ ගුරුවරු තීරණය කළහ. ලුම්බිණි ගමනින් පසු පනාපුත්‍රගේ සිතැඟි වෙනස් විය. හැව්ලොක් ටවුන් නාට්‍ය ප්‍රවණතාව පිළිබඳ අපේ සිත් දුවන්නට පටන් ගති.

දිනක් වින්සන්ට් මාස්ටර් විසින් අප වෙත නාට්‍ය ප්‍රවේශ පත්‍ර තුනක් මිලදීගෙන පිරිනමන ලදි. ඒ ‘රතැසි උවදුර’ නම් නාට්‍යය සඳහා වූ ප්‍රවේශ පත්‍ර වේ. පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය මමත් ඇලෙක්සැන්ඩර් සහ අයිවනුත් දුම්රියේ නැඟී කොළඹ ගොස් පාර වැරදී බස් පහක පමණ ගාටා ලුම්බිණියට ආවෙමු.

විමල් කුමාර ද කොස්තා, ලූෂන් බුලත්සිංහල, දයා තෙන්නකෝන් ආදී ප්‍රවීණ නළුවන් එහි රඟපෑ බව සිහිනෙන් මෙන් මතකය. ලූෂන් බුලත්සිංහලගේ වේදිකා පෞරුෂය පිළිබඳ පනාපුත්‍ර පුදුමයට පත්විය. නාට්‍යය අවසන් වී මේ ප්‍රතාපවත් නළුවන් ජීවග්‍රහයෙන් දැක බලා ගැනීමේ දොලක් අප සිතේ උපන්න ද එවන් පිළිවෙතක් මේ නාට්‍ය සම්ප්‍රදායේ ඇත්දැයි නොදැන සිටි බැවින් අප පසුබට වීමු. එහෙත් නාට්‍යය නරඹා අවසන්ව ගෙදර ඒමට ලුම්බිණිය හරහා ඇවිද එද්දී නේපත්‍යාගාරයට විවර වුණු දොර කවුළුවක් අසල වෙස්ගැන්වීමෙන් යුත් නළුවෝ ප්‍රේක්‍ෂකයන් දෙස බලා සිටිනු දැක ගත්තෙමු.

කොතෙක් ප්‍රවීණ වුවත් මොවුන් ද පෘතග්ජන මිනිසුන් නොවේදැයි මට ඒ මොහොතේ සිතුණි. වෙහෙසකර රංගනයෙන් පසු පේක්‍ෂක ප්‍රතිචාර ලැබීමට වේදිකා නළුවන් ප්‍රියය. ඒ කැමැත්තට ප්‍රවීණය, ආධුනිකය කියා වෙනසක් නැත.

ඉන්පසු දිගින් දිගට කොළඹ ඒමටත් නාට්‍ය බැලීමටත් අපි පුරුදු වීමු. අපේ පාසල් නාට්‍යවල පවා පෙර තිබුණාට වඩා දියුණුවක් ඇතිවිය. ඒ දිනවල සුගතපාල ද සිල්වා විසින් නිෂ්පාදනය කෙරුණු ගුවන්විදුලි රඟමඬල බෙහෙවින් අපේ

සිත්ගත් මූලාශ්‍රයක් විය. නාට්‍යමය ගුණයකින් යුතු පිටපත් තෝරා ගුවන්විදුලි රඟමඬලට ඉදිරිපත් කිරීමට සුගතපාල ද සිල්වා වග බලා ගත්තේය. ඒ දවස්වල මෙම ගුවන්විදුලි නාට්‍ය සතියකට දෙවතාවක් ප්‍රචාරය විණි.

බදාදා රාත්‍රි 8.00 ට දෙවන සේවයේත් යළි ඊළඟ සඳුදා ඒ නාට්‍යයම සවස 4.00 ට පළවෙනි සේවයේත් ප්‍රචාරය විය. හිතට ඇල්ලූ නාට්‍යයක් දෙවන වර ද ඇසූ පසු මම එය යළි රචනා කරන්නට පුරුදු වී සිටියෙමි. එසේ ගුවන්විදුලි ආභාෂයෙන් රචනා කළ නාට්‍ය පිටපත් අප විසින් පාසල් වේදිකාවේ රඟ දක්වනු ලැබුණි. එය එකල මට යෝග අභ්‍යාසයක් විය.

නාට්‍යයක අභ්‍යන්තරය දැකබලා ගැනීමේ අභිරුචියක් මා තළ හටගෙන තිබුණි. මා මිත්‍ර ඇලෙක්සැන්ඩර් කෙසේ හෝ වෙර දරා ප්‍රවීණ නළුවකු මිත්‍ර කර ගත්තේය. ඔහු නම් එකල වේදිකාවේ ප්‍රබලයකුව සිටි සමන් බොකලවෙලයි. සමන් අයියා මගේ පළමු වේදිකා අනුග්‍රාහකයා වූයේ එසේය. අප ඔහුගේ අනුග්‍රහයෙන් වේදිකා අභ්‍යන්තරය දැකබලා ගත්තෙමු.

ඒ දවස්වල රන්ජිත් ධර්මකීර්තිගේ ‘හිරු නැති ලොව’ පුහුණුවීම් කරගෙන යයි. අප ජෝන් ද සිල්වා රංග සංකීර්ණයට ගියෙමු. ඒ දිනවල ජෝන් ද සිල්වා රඟහලට ප්‍රේක්‍ෂකාගාරයක් නැත. එය එළිමහන් රඟහලකි. දැන් කලාගාරය තිබෙන තැන අඳුරු කාමරයක නාට්‍යයේ පිටපත කියවනු ලැබේ. අප එළියට වී අසා සිටියෙමු. මා ප්‍රිය කළ ගුවන්විදුලි ශිල්පීන්ගේ හඬවල් මට ඇසෙයි. ජේ. එච්. ජයවර්ධන, කරුණාරත්න අමරසිංහ ආදී ප්‍රබල ශිල්පීන්ගේ හඬවල් මට හොඳින් හුරුය. එදා මම හා හාපුරා කියා ඔවුන් සැබෑ රූපයෙන් දැක ගත්තෙමි. පනාපුත්‍රගේ සිතේ උදම් වූ ආඩම්බරයක් ඇති විය.

ජෝන් ද සිල්වා එළිමහන් රඟහලේ ආර්. ආර්. සමරකෝන්ගේ ‘ඉඩම’ නාට්‍යය පුහුණු වෙයි. රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රබල වේදිකා පෞරුෂය මම එදා දැකගතිමි. රත්තරන් පාට ඡවි වර්ණයකින් යුත් ඔහු සුදු පැහැති උරපටි බැනියමක් හැඳ සිටියා මට මතකයි.

සමන් අයියාගේ නාට්‍ය ගණනාවක් ඔහුගේ පිනෙන් බැලීමේ වරම් අපට ලැබී තිබුණි. යන්තමින් ගමන් වියදම පමණක් සොයාගෙන මගට බසින අපට අතුරු වියදමකට මුදල් නැත. නාට්‍යයක් හෝ පුහුණුවක් හෝ බලා අප ඔහුගෙන් සමුගන්නා හැම මොහොතකම ඔහු අපෙන් මුදල් අවශ්‍යදැයි විමසූ බව පනාපුත්‍ර ස්තුති පූර්වකව මතක් කර සිටී.

ඊට වසර පහකට පමණ පසු මා උසස් පෙළ සඳහා ගණේමුල්ලේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය වෙත යන අවධියේ දිනක් මම කඳානේ ගම්පහ බස් නැවතුමේදී අමුත්තක් දුටුවෙමි. උදය පාසල් යෑම සඳහා සැරසුණු බොහෝ මානව මානවිකාවෝ නැවතුමේ සිටිති. ඔවුන් සියල්ලම එක් දිශාවක් බලා සිනාසෙනු දුටු මම ඒ වෙත අවධානය යෙදුවෙමි. ක්‍ෂණයකින් මාගේ සිත හඬාවැටුණි.

මුකුණුවැන්න මිටියක් ද අතැතිව බාසුරු සිංහයා බස් නැවතුමේ සිටියි. කොල්ලෝ ඔහුට සිනාසෙයි. මම විගසින්ම ඔහු හමුවට ගියෙමි.

‘සමන් අයියා මොකද මේ’

සමන් බොකලවෙල මා හඳුනා ගත්තේය. ඔහුගේ මුහුණේ තවමත් සිංහයාට ඇඳි වර්ණ රේඛා තිබේ.

‘ආ මල්ලී. ඊයේ මීගමුවේ සිංහබාහු තිබුණා. රෑ යාළුවකුගෙ ගෙදර නතර වෙලා මං මේ උදේ ගෙදර යන්න කියලා’

මේ සිටින්නේ සිංහල වේදිකාවේ මහේන්ද්‍ර තේජෝ බල සිංහයා යි. ඊයේ ඔහු මීගමු රඟහල දෙවනත් කර ප්‍රේක්ෂක ඔල්වරය ලබන්නට ඇත. පසුදා උදය වනවිට බස් නැවතුමක කොල්ලන්ගේ උසුළු විසුළුවලට ලක්වූ විකටයකු වී සිටි. මේ සිංහයා ඊයේ රැය ගතකළ අයුරු මට ඔහුගේ දැකුමෙන් කිව හැකිය.

කොල්ලො තවමත් සිනාසෙති. සිංහයා වෙනුවෙන් පොතේ ගුරා කියන පොතේ කවිය මට මේ කොල්ලන්ට කියා පෙන්වන්නට සිතේ. එය තවත් විහිළුවක් වනු ඇත. මම මගේ ලේන්සුව ඔහුට දුන්නෙමි. මට වේදිකාවේ ඇතුළ පෙන්වන්නට අනුග්‍රහ කළ මේ හිතෛෂී ප්‍රවීණයාට ඒ වෙලාවේ මට කළ හැකිව තිබූ වෙනත් උදව්වක් නොවුණි.

පනාපුත්‍ර කුහුඹු පැණියා

විශිෂ්ට රංගධරයකුගේ නිර්මාණාත්මක පෙළහරක තවත් අවස්ථාවක් වුණු ‘දිවයින’ ට එදා ජැක්සන් ලියූ ‘පනාපුත්‍රගේ මතක වස්තුව’ තීරු විචිත්‍රාංගයේ අවස්ථාවක් මෙලෙස අප යළි පළකරනුයේ ඔහුට සරසවි පිටුවේ ආචාරය ද පුද කරමිනි.

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment