මිඡවුන් කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ 9ක් මරුට

182

තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි ඇතුළු නගර කිහිපයක් ජලාශ බවට පත් කිරීමට මුල් වූ ‘මිඡවුන්’ සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (05) වන විට තමිල්නාඩු හා අන්ද්‍රා ප්‍රදේශ් යන ප්‍රාන්තවල 09 දෙනකු මිය ගොස් තවත් දස දහස් ගණනක් අවතැන් වී සිටි බව වාර්තා වී තිබේ. මෙම සුළි කුණාටුව හේතුවෙන් හටගත් ධාරානිපාත වර්ෂාව, තද සුළං හා ජලගැලීම් හේතුවෙන් මියගිය පිරිස අතර සිවු හැවිරිදි වියෙහි පසුවන කුඩා ළමයකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මිඡවුන් සුළි කුණාටුව ඊයේ (05දා) දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට කඩා වැටීමත් සමගම එම ප්‍රාන්තයේ ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර ජලය පිරි ඇති මාර්ගවල නවතා තිබූ මෝටර් රථ ජලයට ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වී තිබේ. ජල ගැලීම් හේතුවෙන් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ වැසියන් 9500ක් පමණ දෙනා ඊයේ දිනයේ සිය නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත කඳවුරු 211ක් වෙත යොමු කර තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තමිල්නාඩු හා අන්ද්‍රා ප්‍රදේශ් යන ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් රතු නිවේදන නිකුත් කර තිබූ අතර හටගත් ජලගැලීම් හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල පාසල් හා රැකියා ස්ථාන ඊයේ දිනයේ ද වසා දමා තිබුණු බව වාර්තා වේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment