ගුවන් තැපෑලෙන් ලැබුණු කෝටි 4ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

184

ජර්මනිය සහ එංගලන්තයේ සිට ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ, අයිතිකරුවන් නොමැති පාර්සල් 25 ක් තුළ තිබූ රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (05දා) සවස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම ගුවන් තැපැල් පාර්සල් මෙම රටවල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර, මොරටුව සහ මහනුවර යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි.

ඒවායේ අයිතිකරුවන් පිළිබඳව සොයා බැලීමේ දී එවැනි ලිපිනයන් ව්‍යාජ ඒවා බවට සනාථ වූ නිසා එම පාර්සල් ඊයේ දින විවෘත කර පරීක්ෂා කර බැලීම සිදු කර තිබුණි.

එහිදී ඒවා තුළ එක්ස්ටැසී (මෙතැම්පටමයින්)(Methempatamine) මත් පෙති 2,193 ක්, කුෂ් (Kush) නමැති ගංජා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 740 ක් සහ ඇම්පටමයින් (Amphetamine) ග්‍රෑම් 29 ක් තිබී සොයා ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment