බෙල්ලන්විල සැදැහැවතුන්ට හිරිහැරයක් වූ සිඟන්නන්ට හා ගැටකපන්නන්ට වැඩ වරදී

60

බෙල්ලන්විල විහාරස්ථානය තුළ හා ඒ අවට සිටින යාචකයන් හා විවිධ සමාජ විරෝධී ක්‍රියා සිදුකරන පුද්ගලයන් ඉවත් කර විහාරස්ථානය අවට පරිසරය පිරිසිදු කර යථාතත්ත්වයට පත් කිරීමට බොරලැස්ගමුව පොලිසිය හා බෙල්ලන්විල විහාරස්ථ පොලිස් මුරපොළ නිලධාරීහු පියවර ගත්හ.

විහාරස්ථානය අවට සැරිසමින් එම ස්ථානයට පුද පූජා පැවැත්වීම සඳහා එන දේශීය හා විදේශීය බැතිමතුන් සහ මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට හිරිහැර කරන යාචකයන්, ගැට කපන්නන්, රන් මාල කොල්ල කන්නන්, අනවසර වෙළෙඳුන්, විවිධ දුක් ගැනවිලි කියමින් අත්පත්‍රිකා බෙදමින් මුදල් යදින්නන් මෙලෙස පොලිසිය විසින් ඉවත් කර තිබේ. විහාරස්ථානය තුළට පැමිණෙන සමහරක් බැතිමතුන්හට විවිධ කරදර හා හිරිහැර කිරීම් ද වාර්තා වී තිබේ.

සමහර පුද්ගලයන් පැමිණ යාචකයන්හට ආහාර පාර්සල් බෙදා දෙන අවස්ථාවලදී එම ආහාරපාන බෙදා දීමට ප්‍රමාණවත් නොවූ අවස්ථාවලදී එම බැතිමතුන්හට බැනවැදී පැමිණි රථවාහනවලට පවා අලාභහානි සිදුකර තිබේ.

මෙවැනි යාචකයන් හා අනවශ්‍ය පුද්ගලයන් හේතුවෙන් බෙල්ලන්විල පුදබිම අවට පරිසරය බෙහෙවින් අපිරිසිදු වී ඇතැයි ද ගංගොඩවිල ප්‍රදේශවාසීහු පැවැසූහ.

සමහර යාචකයන් ශරීර කෘත්‍යයන් ද සිදු කරන්නේ ද විහාරස්ථානය අවට බැවින් මේ හේතුවෙන් බෙල්ලන්විල ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවා හමන බවද ඔවුහු කියති. එසේම විහාරස්ථානය අවට CCTV කැමරා යොදා ගනිමින් නිරතුරුව නිරීක්‍ෂණ කටයුතු කරන බවත් අනවසරයෙන් පුදබිම අවට ස්ථානයට පැමිණ බැතිමතුන්හට බාධා වන ලෙස හැසිරෙන පුද්ගලයන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ උපදෙස් මත බෙල්ලන්විල විහාරස්ථ පොලිස් මුරපොළ භාර පොලිස් සැරයන් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂක සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment