මාන්කුලම් පනිච්චිකුලමේ වෑන් – ලොරි ගැටුමෙන් 3කට දිවි අහිමි වෙයි

229

8කට තුවාල

ඊයේ (15 දා) අලුයම ඒ 9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් පනිච්චිකුලම ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ රිය අනතුරකින් තිදෙනකු මරුමුවට පත්වී තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාන්කුලම් පොලිසිය පවසයි.

කොළඹ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථය නවතා තිබූ ලොරි රථයේ පිටුපස ගැටී ඇති බවත්, පසුව ඉදිරියෙන් තිබූ තවත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය කියයි.

වෑන් රථය ගැටුණු ලොරියේ රියැදුරු, එහි සිටි තවත් පුද්ගලයකු හා වෑන් රථයේ ඉදිරිපස ගමන් කරමින් සිටි පුද්ගලයකු මරුමුවට පත්වී තිබේ.

ලොරි රථයේ රියැදුරු අනතුර සිදුවන අවස්ථාවේ වාහනයෙන් බැස ලොරියේ ඉදිරිපස රැඳී සිට ඇති අතර, අනතුර සිදුවීමත් සමග ඔහු ලොරි රථ දෙකක් අතර සිරවී මරුමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර එකී ලොරි රථයේ සිරවී සිටි පුද්ගලයන් 5 දෙනකු හා වෑන් රථයේ ගමන්ගත් ගත් තිදෙනකු වන බව පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ රියැදුරු යාපනය පදිංචිව සිටි මරදවනන් තලෙයිවානම් (46) වෑන් රථයේ ගමන් කළ වැල්ලම්පිටිය, හල්මුල්ල පදිංචිව සිටි කුරුවිටගේ සරත් කුමාර වීරසිංහ (58) සහ මුල්ලේරියාව, පන්සල පාරේ පදිංචිව සිටි රත්තානයක මුදියන්සේලාගේ සුරංග මධුසංඛ (37) යන තිදෙනායි.

අනතුරින් වෑන් රථයේ ඉදිරිපස ප්‍රදේශය පොඩි පට්ටම් වී දැඩි අලාභහානි සිදුවී තිබිණි.

වෑන් රථ රියැදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි. අනතුර සම්බන්යෙන් වෑන් රථ රියැදුරු අත්අඩංගවට ගෙන තිබේ.

මේ පිළිබඳව මාන්කුලම් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කිරින්දේ මහතා වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment