ව්‍යාජ පන්දහසේ නෝට්ටු 18ක් සමගින් කතක් හා තරුණයෙක් කටුනායකදී අත්අඩංගුවට

80

ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 18 සමගින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (15) දින උදෑසන කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් එක් අයෙකු 38 හැවිරිදි කොළඹ, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා කටුනායක කෝවින්න ප්‍රදේශයේ ජංගම දුරකථන අලු‍ත්වැඩියා කිරීමේ වෙළෙඳ සැළක් පවත්වා ගෙන යන අතර මොවුන් දෙදෙනා එම ප්‍රදේශයේම තාවකාලිකව නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටිති. කාන්තාව ඊයේ දින උදෑසන කටුනායක 18 කණුව ප්‍රදේශයේ ආපන ශාලාවකින් ආහාරපාන ලබා ගෙන මෙම ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් ලබාදී ඇති අතර එම ආපනශාලා හිමිකරුවන් මේ පිළිබඳව කටුනායක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඇයගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම ජංගම දුරකථන අලු‍ත්වැඩියාකරුද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.

එහිදී ජංගම දුරකථන අ‍ලුත්වැඩියාකරු සන්තකයේ තිබී තවත් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5,000 නෝට්ටු 17 ක්, නෝට්ටු මුද්‍රණය සඳහා භාවිතා කළ වර්ණ ස්කෑන්යන්ත්‍රයක් ඇතුළු තවත් පරිගණක උපාංග රාශියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment