අට හැවිරිදි දරුවකු අපයෝජනය කළ 70 සීයා වසර 15ක් හිරේ

513

වයස අවුරුදු අටක පිරිමි දරුවකු ඔහුගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ලිංගික අපයෝජනයට ලබාගැනීම සඳහා ඔහුව යොදා ගැනීම යන චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ 70 හැවිරිදි වයෝවෘද්ධ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (26) බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා ඔහු වරදකරු කරනු ලැබූ චෝදනා දෙකට වෙන් වෙන්ව නියම කළ එම සිරදඬුවම එකවර එනම් වසර 10 කින් ගෙවී යන ලෙස ලබාදීමට ද නියෝග කළේය.

අගතියට පත් දරුවාට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා ඔහුට රුපියල් 30,000 ක දඩයක් ද නියම කළේය.

වන්දිය හා දඩය නොගෙවන්නේ නම් පෙර සිරදඬුවමට අමතරව තවත් මාස 18ක ලිහිල් සිරදඬුවමක් ද නියම කළ විනිසුරුවරයා පෙර කී වසර 10ක සිරදඬුවම ගෙවුණු පසු එම මාස 18ක සිරදඬුවම ක්‍රියාත්මක විය යුතු බවට ද නියෝග කළාය.

අධිකරණය විසින් නියම කළ දඬුවම් මහාධිකරණ භාෂණ පරිවර්තක මොහොම්මදු සුලෙයිමාන් යාසීර් මහතා කියවා දුන් අතර රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවිය. මෙයට වසර 12කට පමණ පෙර එම අපරාධය සිදුකරන විට විත්තිකරු වයස අවුරුදු 58ක පුද්ගලයකු බවත් දරුවා වයස අවුරුදු 8ක අයකු බවත් රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා අධිකරණයට පැවසීය. එම විත්තිකරු ඔහුට එරෙහිව තිබූ තුන්වන හා හතර වන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment