දකුණු පළාතට ගුරුවරුන් 3000 ක් අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 60ක් විදුහල්පතිවරු 400ක් හිඟයි

72

ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ

දකුණු පළාත තුළ මේ වනවිට ගුරුවරුන් 3000 කගේ පමණ උග්‍ර ගුරු හිඟයක් පවතින බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි. මින් ප්‍රාථමික ගුරුවරුන්ගේ හිඟය බරපතළ ලෙස දකුණු පළාතේ පාසල් පද්ධතියට බලපා ඇති බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි. ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේද කීවේය.

ගුරුවරුන්ගේ හිඟය පමණක් නෙවෙයි. අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 60 දෙනකුගේ සහ විදුහල්පතිවරු 400 දෙනකුගේ පමණ පුරප්පාඩු තියෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ එකවර විශාල පිරිසක් විශ්‍රාම යෑම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා. දැනට රාජ්‍ය ආයතනවල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු වෘත්තියට බඳවා ගැනීමට සැලසුම් කළත් තවත් උපාධිධාරීන් පිරිසක් අධිකරණයට යෑම නිසා ගුරුවරුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරලා තියෙනවා. විද්‍යා පීඨවලින් ද ගුරුවරු 800ක් පමණ ලැබෙනවා.

දකුණු පළාත් සභාව මගින් පාලනය වන පාසල් 1007ක් තියෙනවා. මධ්‍යම රජය මගින් පාසල් 64ක් පාලනය කරනවා. පළාත් සභාව සතුව පැවති පාසල් 96ක් ජාතික පාසල් බවට පත්කිරීමට කටයුතු කළද ආර්ථික ආර්බුදය නිසා එම පාසල් ද සංවර්ධනය කිරීමට නොහැකි වෙලා තියෙනවා. එම නිසා ඒ පාසල් ද නඩත්තු කිරීමට පළාත් සභාවට සිදුවෙලා තියෙනවා. කෙතරම් අභියෝග බාධක තිබුණද අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵලවලින් දකුණු පළාත පිට පිටම අටවන වතාවටත් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරගෙන තියෙනවා. ජනප්‍රිය පාසල්වල පවතින තදබදය නතර කිරීම සඳහා දකුණු පළාතේ සෞභාග්‍යා පාසල් 25ක් සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment