මෝල්ලුන්ටම ගිය ලංකාවේ සහල් කෙරුවාව…

‘වවන්නෝ දිනන්නෝ’ යැයි කීවත් වවන හැමදෙනාම දිනන්නේ නැත. මේ කතාව අප කියන්නේ ඉහත කී කතාවේ විරුද්ධ පැත්ත දැන් වී ගොවීන්ට සිදුවී ඇති හෙයිනි. එනම් රටට ණය වී දුක්මහන්සියෙන් වගා කොට ලැබෙන අස්වැන්න මෝල් හිමියන්ගේ තුට්ටු දෙකේ ලන්සුවට යටවී විකිණීමට අද ඔවුන්ට සිදුවී ඇත.

කතාවේ පරිසමාර්ථයෙන්ම අද රටේ ගොවි රජවරුන් අනාථය, නන්නත්තාරය. මෙයට සාක්‍ෂි බොහෝමයකි. එනම් මහ කන්නයේ වී අස්වනු මේ වනවිට නෙළමින් පැවතුනද ඒ සම්බන්ධව රජරට ගොවීන්ගේ මුවඟින් නැගෙන කතන්දරය නම් එතරම් සුන්දර නැත. තම ජීවනෝපාය වූ වී ගොවිතැනින් ඔවුන් අද නන්නත්තාර වී ඇති වග ඔවුන්ගේ දුක් අඳෝනාවෙන් දෙන්නේද ප්‍රබල සාක්‍ෂියකි. මෙරට වී ගොවීන් බීජ වැපුරුව දා සිට අස්වැන්න නෙළන තෙක්ම බලාසිටියද ඔවුන්ට අද වැපිරූ බීජයේ අස්වැන්න ලබන්නේ කීයෙන් කීදෙනාටද යන්නද ප්‍රශ්න සහගතය. මෙයට හේතු බොහෝමයක් පවතී. මෙරට වී නිෂ්පාදනයේ සිට වී අලෙවිය දක්වාද එතැනින්ද නොනැවතී වෙළෙඳපළ වෙත එන සහල් මිටිය දක්වාම ලංකාවේ පවතින්නා වූ වෙළෙද මාෆියාව රජ කරවන මෙරට ධනවත් ව්‍යාපාරිකයන්ද ලංකාවේ සහල් ප්‍රශ්නයට වගකිව යුතුය. තවද මෙරට සහල් ඒකාධිකාරිය පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ ‘මෝල්හිමියන්’ ද මෙම ප්‍රශ්නයේ ප්‍රධාන කොටස්කරුවන්ය.

අඩුම මිලට ලංසු තබන මෝල් හිමියෝ

කාලා හමාරයි… මෝල්ලු මාරයි…ගිනි ගාණට හාල් කන්න වෙන හැඩක්…

මෙරට මහා පරිමාණ හා කුඩා පරිමාණ මෝල් හිමියන් මේ වන විට වී මිලදී පටන්ගෙන ඇතත් ගොවියාගේ අස්වැන්නට කිසිසේත් සාධාරණ නොමැති ලංසු තබන බව මහවැලි කලාපවල ගොවීහු චෝදනා එල්ල කරති. මේ වන විට කීරි සම්බා සහල් සඳහා රුපියල් 109 ක් වැනි මුදලකුත්, සම්බා සහල් සඳහා රුපියල් 100 කුත් නාඩු සහල් සඳහා රුපියල් 90 වැනි ඉතා අඩු මුදලක් යටතේ මිලදී ගන්නා බව මහවැලි බී කලාපයේ ගොවීහු පවසති. මෝල් හිමියන් නියම කරන මිලට වී අලෙවි කිරීමෙන් අක්කරයකට රුපියල් 28000 ක් පාඩු වන බව මෙම ගොවීහු චෝදනා කරති. මෙවර මහ කන්නයේ වී කිලෝවක් නිෂ්පාදනය සඳහා දළ වශයෙන් රුපියල් 120 ක පමණ මුදලක් වැයවී ඇති බව පෙන්වා දෙන මහවැලි කලාපයේ ගොවීන් තමන් ලාභයක් ලැබීමට නම් රජය මගින් වී කිලෝවක් රුපියල් 150 ක් වැනි මිලකට ගතයුතු බවද ඔවුන් පෙන්වා දේ. පෞද්ගලික වී මෝල් හිමියන් මේ වනවිට ඉතා අඩු මුදලක් යටතේ වී මිලදී ගැනීමෙන් අක්කරයකින් රුපියල් 28,000 ක් පාඩුවන බවද මහවැලි ගොවීහු කියා සිටිති.

මහවැලි බී කලාපයේ වී අස්වැන්න මේ දිනවල නෙළමින් පවතී. පවතින ගැටලු පිළිබඳව එම කලාපයේ ගොවි මහතකු වන කස්තුරි මහතා අප හා පැවසුයේ මෙවැන්නකි.

කාලා හමාරයි… මෝල්ලු මාරයි…ගිනි ගාණට හාල් කන්න වෙන හැඩක්…

“මේ දිනවල මහවැලි බී කලාපයේ ගොවීන්ට වියදමේ වටිනාකමට වී ටික අලෙවි කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඉස්සර මිනිස්සු කුඹුර රකින්න යන්නේ උපරිම මාසයක් විතර. දැන් වපුරපු දවසේ ඉඳලම රකින්න යන්න ඕන. මොකද එච්චරටම ගොවිතැනට අලින්ගෙන් කරදර වෙනවා. අපේ ගොවියා දින 90 ක් නිදිමරල තමයි කුඹුරු ආරක්‍ෂා කරන්නේ. මෙවර අස්වැන්නත් ගොඩක් අඩුයි. කොළ සුදුවෙන රෝගයක් හැදුණා. මේ රෝගයට අපට කරන්න ප්‍රතිකාරයක් තිබුණේ නැහැ. මෙයින් කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශ වුණා. වෙනදා ලබන අස්වැන්නට වඩා මෙවර අස්වැන්නත් අඩුයි. අපේ අස්වැන්නටත් ලොකු මිලක් නෑ. අපේ රටේ වී අලෙවි මණ්ඩලය තාමත් වී ගන්නේ නෑ. ඒක තමයි අපට තියෙන ලොකුම ප්‍රශ්නය. තවමත් රජය මැදිහත් වෙලා ගොවියාට වී ටික විකිණීමට මිලක් හදලා නෑ. තවම රජයේ කිසිම ආයතනයක් ඇරලා නැහැ වී ගන්න. මේ වන විට අපේ අස්වැන්නෙන් වැඩිහරියක් මෝල් හිමියන් අඩුවට අරගෙන තියෙන්නෙ. රජය වී මිල රුපියල් 100ට ගන්න කොට මෝල්කරුවන් රුපියල් 102ට ඉල්ලනවා. රජයට වඩා රුපියල් 2 ක් හරි වැඩිකරලා පෞද්ගලික වී මෝල් හිමියන් වී ගන්නවා. අපේ ගොවියෝ රුපියල් දෙකේ වාසිය හරි බලනවා. දැන් නහය ළඟට එරිල ඉන්න ගොවීන්ට වැඩිපුර රුපියල් 2ක් දුන්නත් ඇති. එතකොට අපේ වී අරන් යන්නේ පෞද්ගලික වී මෝල් හිමියන්. ඉස්සර 140 ට තිබුණ කීරි සම්බා දැන් ගන්නේ 106 ට. නාඩු 90 යි. සම්බා සහල් නම් ගන්නෙත් නැති තරම්.” පවතින තත්ත්වය පිළිබඳ එම ගොවි මහතා හෙළිකළේ එසේය. එම කලාපයේ ගොවීන් වැටී ඇති ආර්ථික තත්ත්වයද අප හා පැවැසීමට ඔහු අමතක නොකළේය.

“මහවැලි කලාපයේ ගොවීන් සේරම මේ වනවිට ණය වෙලා ඉවරයි. ගොවියා තමන්ගේ වී ටික විකුණන්නේ මේ ණය ගෙවන්න. ඒත් ණය වලින් බේරෙන්න බෑ. මෙවර අස්වැන්න නෙළන්නම 40,000 – 45,000 ක් විතර ගියා. තෙල්, පොහොර ඉස්සර කුඹුරකින් ගන්න ආදායම දැන් කුඹුර කරන්න වියදම් කරන්න වෙනවා. ගොවියා කුඹුරු කරන්න රත්‍රං බඩු ටික උකස් කරනවා. සල්ලි ණයට ගන්නවා. වී අස්වැන්න කපපු දවසෙම ණයට සල්ලි දීපු මිනිස්සු ගෙදරට එනවා. මේ නිසා ගොවියාට තමන්ගේ වී ටික අඩු ගාණට දෙන්න වෙනවා. මෙවර අලින්ගෙන් අපේ ගොවීන්ට උපරිම කරදර සිදුවුණා. අපේ හැම කුඹුරක්ම අලි විනාශ කරල තියෙන්නේ. විනාස කරපු නැති කුඹුරක් නැති තරම්. ගොයම පැළවුණ දවසේ ඉඳල අස්වනු නෙළන දවස දක්වාම අලි විනාශ කරනවා. මේ අලි කරදරයෙන් හැම ගොවියෙක්ම අනාථයි. මේ නිසා වී අස්වැන්න විනාශ වෙලා තියෙන්නේ. අපේ වී ගොවියා ඉල්ලන්නේ වී වගාව සඳහා නිෂ්පාදන වියදම අඩුකරලා දෙන්න කියලා. බිත්තර වී ගණන්, පොහොර, යොදන තෙල්, ඩීසල් ගණන්. මේ නිසා තමයි අපේ ගොවියා පාඩු ලබන්නේ. මේ වියදම් ටික අඩු කරල දුන්නොත් අපේ ගොවියාට රුපියල් අසූවට අනූවට වී ටික විකුණන්න පුළුවන්. එතකොට රටේ හාල් මිලත් අඩුවෙනවා. මහවැලි කලාපයේ පවතින තත්ත්වය හා මෙරට මෝල් හිමියන්ගේ තරම කස්තුරි මහතා දිගහැරියේ එලෙසිනි. ඔහු කියන විදිහට මහවැලි ගොවියා සිටින්නේ උභතෝකෝටික ප්‍රශ්න වැලක් මැදය. ඔහු කියූ පරිදිම මෙරට වී ගොවියා කුඹුරට බහින්නේ තමන්ගේ සන්තකයේ තිබූ කණ කර, ඉඩකඩම් ද උකස් කොට ගෙනය. ඒ පසුව ලැබෙන අස්වැන්න ඉහළ මිලකට විකුණා උකසට තැබූ තම වත්කම් බේරාගැනීමටය. එහෙත් රටේ පවතින තත්ත්වය කෘෂිකර්මාන්තයට නම් එතරම් හොඳ නැති වග අපට පෙනේ. බිත්තර වී වල සිට රසායනික පොහොර හා කෘමි නාශක සඳහා මෙරට ගොවියාට දැරීමට සිදුවන වියදම හේතුවෙන් අපේ රටේ වී ගොවියාට ඔළුව ඉස්සීමට නම් නොහැකිය. අද වන විට මෙරට ගොවියාගේ බැංකුවලට සින්න වී ඇති දේපළ ප්‍රමාණය ගැන පුවත් පසුගිය කාලය තුළ හෙළිවිය.

කාලා හමාරයි… මෝල්ලු මාරයි…ගිනි ගාණට හාල් කන්න වෙන හැඩක්…

මේ අතර ලංකාවේ සෙසු පළාත් වලද වී ගොවීන් වැටී ඇත්තේ අනතුරකය. ඔවුන්ට වගාවට අවශ්‍ය වතුර ටික නැත. පොහොර ටික නැත. දිවයිනේ ඇතැම් පළාත් වල මහකන්නයේ ලැබෙන්න නියමිතව තිබූ ‘පොහොර සල්ලි’ ද තවමත් ලැබී නැති බව අපට සැල විය. ඇතැම් ගොවීන් පවසන පරිදි බැංකු ගිණුම් විස්තර පවා ලබාගෙන ඇතත් පොහොර සල්ලි ගිණුම් ගතකර නැත. ඔවුන් පවසන්නේ මහ කන්නයේ අස්වැන්න නෙළා ගෙට ගත්තද පොහොර සල්ලි නොලැබූ බවය. රජයේ පවතින අකාර්යක්‍ෂම භාවය පෙන්වන්නේ මෙවැනි සිදුවීම් තුළින්ය. එසේ නම් අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය නිසි පරිදි තමන්ගේ කාර්යභාර්ය සිදුකරද නැත.

මෝල්ලු කියන ගාණට කන්න වෙන හාල්

මේ වන විට වෙළෙඳ පළ තුළ සහල් මිල ඉතා ඉහළ අගයක් ගනී. කොටින්ම කිවහොත් කීරි සම්බා නම් සාමාන්‍ය ජනතාවට කෑමට නොහැකිය. අද එහි වෙළෙඳපොළ තුළ මිල රුපියල් 360-390 දක්වා පවතී. තවද කීරි සම්බා වෙළෙඳ පොළ තුළ සෙවීම ‘කළුනික සෙවීමටත්’ වඩා අමාරු දෙයක් යැයි අප කවුරුත් දනිති. අපේ රටේ හැංගිමුත්තන් සෙල්ලම් කරන එකම හාල් කීරි සම්බාය. මිල අඩුවන විට ගබඩා තුළ හෝ වෙළෙඳසල් තුළ හැංගෙන්නත්, මිල අඩුවන විට එළියට බසින්නටත් සමත් එකම හාල කීරි සම්බාය. මේ සෙල්ලමේ මහමොළකරුවා වන්නේ හාල් මෝල්කරුවාය. අනෙකා තොග වෙළෙඳුන්ය. කීරි සම්බා මිල කෙසේ වෙතත් අනෙක් හාල් ගැනත් කීමට ඇත්තේ ‘හාල් ගිනිගණන්’ යන කතාවමය. පාලන මිල කැලේට ගිය මේ කාලය තුළ වෙළෙඳපළ තුළ නාඩු සහල් කිලෝව 230 කි. එසේ 230ට ඇත්තේ නම ගිය, තත්ත්වයෙන් උසස් හාල්ද නොවේ. ඒවා 250 ත් පනී. සුදුකැකුළු සහල් මිල 200 පැන ඇත. රතු කැකුළු සහල් මිල 160 ක පවතී. එහෙත් එම සහල් 180-190 අතර ගණන්වලට විකුණන මුදලාලිලාද අද රටේ නැතුවාමද නොවේ. සම්බා සහල් මිලද රු. 230 කි. එහෙත් රටේ කීරි සම්බා සහල් හා සම්බා සහල් කන උදවියට වඩා මිලෙන් අඩු සහල් පරිභෝජනය කරන අය වැඩිය. ඒ නිසා වෙළෙඳපොළ තුළ සහල් මිල ඉහළ යෑම නිසා මෙරට පාරිභෝගික ජනතාවට වන්නේ ජීවන වියදමෙන් බැට කෑමටය.

වී අලෙවි මණ්ඩලය නිදි..මෝල් හිමියන්ගේ කල්ලමරේ!

කාලා හමාරයි… මෝල්ලු මාරයි…ගිනි ගාණට හාල් කන්න වෙන හැඩක්…

තවමත් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ ක්‍රියාව ආරම්භ කර නැත. පසුගිය අවුරුදු කිහිපයේම අපේ රටේ වී අලෙවි මණ්ඩලය සීමාවූයේ බෝඩ් ලෑල්ලකට පමණි. අනික් කාරණාව වන්නේ අලෙවි මණ්ඩලය නිර්දේශිත මුදලට මෙරට වී ගොවියාට වී විකිණීමට නොහැක. ගොවියාගේ වියදමට සරිලන ආදායමක් මේ කියන වී අලෙවි මණ්ඩලයේ ගණනට විකුණා නම් ගොවියා ලබාගත නොහැක. මෙරට පවතින බංකොලොත්භාවයට වැටී ඇති රාජ්‍ය ආයතන අතරින් වී අලෙවි මණ්ඩලයට හිමිවන්නේද ප්‍රමුඛ ස්ථානයකි. පසුගිය වකවානුව තුළ සලකා බැලීමේදී අපේ රටේ වී ගොවියාගේ වී අස්වැන්න මිලදී ගැනීමට මෙම වී අලෙවි මණ්ඩලයට නොහැකිවිය. මෙරට ගොවියාගේ වී මිලදී ගැනීම, සහල් මිලදී ගැනීම, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීමේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම වී අලෙවි මණ්ඩලයේ අරමුණු වුවත් මේ දක්වාම මෙම වී අලෙවි මණ්ඩලයෙන් ජනතාවට සියයට සියයකම සේවයක් සිදුවුණාද යන්න ප්‍රශ්නයකි. තවද මෙම මණ්ඩලය සතු කාර්යයක් වූ සාධාරණ මිලකට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සහල් ඇතුළු ධාන්‍ය සැපයීම සඳහා කටයුතු කිරීමද මෙම වී අලෙවි මණ්ඩලයෙන් මෙරට ජනතාවට ඉටුවී නොමැති බවද ගොවීහු නගන චෝදනා වලින් පැහැදිලිය. මෙම වී අලෙවි මණ්ඩලයට සිදුවූයේ කුමක්ද යන්න රජයක් මගින් සොයා බැලිය යුතුය. එදා සිට මේ දක්වා මෙම මණ්ඩලය පාඩු ලබන්නේ කෙසේද යන්න සොයාබැලීමට තවමත් රටේ සිටින කෘෂි ආර්ථික ඔස්තාර්ලාටද වුවමනාවක් නැත. 1971 ආරම්භ කර ඇති මෙම වී අලෙවි මණ්ඩලයෙන් මේ දක්වාම ඉටුවී ඇති සේවාව නතර වී ඇත්තේ වංචා හා දූෂණ වලින් සපිරි ආයතනයක් බවට වී අලෙවි මණ්ඩලය පත්ව ඇති බවට විගණන වාර්තා වලින් හෙළිවීමත් සමඟය.

මේ වනවිට මහකන්නයේ අස්වනුද කැපෙමින් පැවතුණත් එහෙත් තවමත් රජය මගින් මහ කන්නය සඳහා වී මිලදී ගැනීමට මුදල් වෙන්කර ඇති බවක්ද අපට පෙනෙන්නටද නැත. තවද සහල් සඳහා රජය මගින් පාලන මිලක් ක්‍රියාත්මක වෙන අන්දමක්ද රටෙහි දක්නට නැත. වෙන වර්ෂවල මෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන අපේ රටේ කෘෂිකර්ම ඇමැතිතුමාගේ සංදර්ශනද රටේ ගොවීන්ට හා පාරිභෝගික ජනතාවට දැන් එපා වී ඇත. ඔහු කියන්නේද කීරි සම්බා සහල් වැඩියෙන් වගාකිරීමෙන් වෙළෙඳපොළ තුළ කීරිසම්බා මිල බැස්සවිය හැකිය යන්නය. එහෙත් අප අසන්නේ ගොවියාගේ වී ගන්නේ කවුදැයි යන්නය. ආණ්ඩුව කොතරම් කතා පාරම්බෑවත් ගොවියාගේ වී ටික ගන්නේ අන්තිමේදී ආණ්ඩුව නොව මෙරට වී මෝල්කරුවන්ය. ඒ නිසා හාල්වල මිල තීරණයද ඔවුන් අතේමය. ඉන්පසු ආණ්ඩුව හැමදාම කරන සහල් හිඟයද මවා පා එහි පිටුපස සහල් ආනයනය සිදුකරයි. හැම ප්‍රශ්නයටම රටින් ගෙන්වා උත්තර බඳින්න අපේ රටේ ඇමැතිවරුද ඉතා දක්‍ෂය. ඉන්පසු සිදුවන්නේද රටේ සහල් තියාගෙන පිටරටට සල්ලි ගැරීමටය. පසුගිය වර්ෂයේද කන්න දෙකක වී තබාගෙන අපේ රටේ බලධාරීන් පිටරටින් මෙරටට සහල් ආනයනය කළේය. මේ හැම කතාන්දරයකින්ම තැලෙන්නේ රටේ ජනතාවය. තුට්ටු දෙකට වී ගන්නා ලංකාවේ වී මෝල්කරුවන් සහන සාධාරණ මිලකට සහල් අලෙවි කිරීමටද කිසිසේත්ම සූදානම්ද නැත. මේ දිනවල රුපියල් 109 ගන්නා කීරි සම්බා වී කිලෝව මෝල්කරුවා වෙළෙඳපොළට නිකුත් කරන්නේ රුපියල් 350 ත් ඉක්මවාය. තොග මිල 350 වූවත් අනෙකුත් අතරමැදියන්ද මෙම සහල් විකිණීමට එක්වූ කල කීරිසම්බා කිලෝවද 380ත් පැන හමරාය. මේ කතාව අනෙක් සහල් වලටද වලංගුය. මේ වනවිට වෙළෙඳපොළ තුළ කීරි සම්බාද සොයාගැනීමට නොහැක. කෙසේ හෝ සොයාගතහොත් එම සහල් කිලෝවකට රුපියල් 390 ක් වැනි මුදලක් වැයකිරීමට මෙරට පාරිභෝගික ජනතාවට සිදුවේ. සහල් කිලෝවක් නිෂ්පාදනයට වී කිලෝ එකහමාරක් වැය වුවද වී මිලදී ගත් මිල මෙන් තුන්ගුණයකටත් වඩා අධික මිලකට සහල් වෙළෙඳපොළට නිකුත් කරන අපේ රටේ මෝල්කරුවන් සූරාකන්නේ රටේ ජනතාවගේ ඉහමොළය.

කාලා හමාරයි… මෝල්ලු මාරයි…ගිනි ගාණට හාල් කන්න වෙන හැඩක්…

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment