ජනාධිපතිතුමා පැනික් නොවුණේ ඇයි?

541

ලෝක ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ත්‍රස්තවාදී ක්‍රියාව ලෙස සැලකෙන්නේ 2001 සැප්තැම්බර් මස 11 දින ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ අල්-කයිඩා ප්‍රහාරය යි. මෙම ප්‍රහාරය සිදුවී පසුගිය සතියට වසර විසි දෙකක් සපිරුණු අතර එයින් මියගිය පිරිස් සිහිකරමින් සැමරුම් උත්සව රාශියක් ලොව පුරා සංවිධානය වී තිබුණි. ලෝක දේශපාලනයේ දිශානතිය බොහෝ සෙයින් වෙනස් කළ මෙම සිදුවීම පිළිබඳව පසුගිය දශක දෙක පුරා අප ඕනෑ තරම් කතාබහ කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් නොව සමස්ත ලෝකයටම ත්‍රස්තවාදය පිළිබඳව අලුතින් සිතන්නට සිදුවූයේ මෙම ප්‍රහාරය හේතුවෙන් බව අමුතුවෙන් නොකිව මනාය. එතෙක් විමුක්ති සංවිධාන ලෙස බටහිර සම්භාවනාවට පාත්‍ර වී තිබූ එල්ටීටීඊ වැනි සංවිධානත් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට මේ සිදුවීම බලපෑවේය.

2001 සැප්තැම්බර් මස 11 වැනිදා උදෑසන ලෝකයේ අග නගරය ලෙස සැලකෙන නිව්යෝක් හි දැවැන්ත ගොඩනැගිලිවලට ඉහළින් පැහැදිලිව හිරු පායා තිබුණි. නගරය කාර්යබහුල වෙමින් තිබුණේ කඩිගුලක් මෙනි. ලොව බලවත්ම රාජ්‍යය වූ ඇමෙරිකා එක්සත් ජනපදයට එදිනත් සුපුරුදු රාජකාරී දවසක් විය. ඇමෙරිකානු ආර්ථික ප්‍රබෝධයේ සංකේතයක් වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ දහස් ගණනක් ඒ වන විටත් දවසේ රාජකාරි අරඹා තිබුණි. ඒ අතරම වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල තුළ එක්සත් ජනපද කොන්ග්‍රසයේ සැසිවාරයක් ආරම්භ වී තිබුණි. ඊට මඳක් ඈතින් පෙනිසිල්වේනියා මාවතේ අනෙක් කෙළවරේ තවත් පිරිසක් ධවල මන්දිරය නැරඹීමට පෙළ ගැසෙමින් සිටියහ.

මේ මොහොතේ එවකට එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සිටියේ වොෂින්ටන් අගනුවරින් සැතපුම් දහස් ගණනක් ඈතිනි. ඔහු එදින ෆ්ලොරිඩා ජනපදයේ සරසෝටාහි පාසලක උත්සවයක් සඳහා සහභාගි වීමට නියමිතව තිබුණි. ඊට පෙර දින ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ වොෂින්ටන් සම්ප්‍රාප්තිය හේතුවෙන් බුෂ් මහතාට ෆ්ලොරීඩා වෙත පැමිණීමට සිදුවූයේ බොහෝ රෑ බෝ වූ පසුවය.

ජනාධිපතිවරයා එදින උදෑසන සරසෝටා පාසලේ පළමු වසරේ දරුවන් ඉදිරියේ සැහැල්ලුවෙන් වාඩි වී සිටියේය. පංතිභාර ගුරුතුමිය ජනාධිපතිවරයාට තම දරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබුණේ “එළු පැටියා” නම් වූ පාඩමකි. දරුවන්ගේ දඟකාරකම් දැක සිනාසෙමින් සිටි ජනාධිපතිවරයාට කිසිවෙකු බාධා කිරීමට ගියේ නැත. නමුත් ලෝක ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් ඒ මොහොතේ ඊට සැතපුම් දහස් ගණනක් ඈතින් සිදුවෙමින් තිබුණි.

ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයක් වූ කැලිෆෝනියා ජනපදයේ සිට ගමන් අරඹා තිබූ American Airlines සහ United Airlines යන සමාගම්වලට අයත් මඟී ගුවන් යානා දෙකක් වෙන් වෙන්ව නිව්යෝක් වෙත ළඟා වෙමින් තිබුණි. ඒ පිළිබඳව කිසිවෙකුගේ අවධානයක් යොමුවී තිබුණේ නැත. නමුත් කිහිපදෙනකු පමණක් දැනුවත්ව සිටි යම් භයානක සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. මෙම ගුවන්යානා දෙකෙහිම පාලන බලය එතෙක් ලොව වැඩි ප්‍රසිද්ධියක් නොලැබූ අල්-කයිඩා නම් ත්‍රස්තවාදී ජාලයේ ගුවන් නියමුවන් විසින් අත්පත් කරගෙන තිබුණි. ඉන් මොහොතකට පසුව මෙකී ගුවන්යානා දෙක නිව්යෝර්ක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය නම් වූ දැවැන්ත කුලුනු ද්විත්වයේ ගැටෙන්නට සලස්වා තිබුණි. ඒ එම ගුවන් යානාවල සිටි මඟීන් ද සමඟය.

ජනාධිපතිතුමා පැනික් නොවුණේ ඇයි?

ජනාධිපතිවරයා සමඟ සරසෝටා වෙත පැමිණි කුඩා කණ්ඩායමට එවකට ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩෲ කාර්ඩ් මහතා ද ඇතුළත්ව සිටියේය. ඉතිහාසයේ ඇමෙරිකානු ජනාධිපතිවරකුට අසන්නට සිදුවූ අභියෝගාත්මකම පුවත බුෂ් මහතාට දැනුම් දීමට සිදුවූයේ ඔහුටයි. මෙම ලිපිය සමඟ පළවන ඡායාරූපයේ දැක්වෙන්නේ එවකට මෙම ග්‍රහලෝකය මත සිටි බලවත්ම පුද්ගලයා තිගැස්සී ගිය ඒ මොහොතයි.

World Trade Center නම් වූ මෙම මහල් 110කින් සමන්විත ගොඩනැගිලි ද්විත්වය පිහිටියේ නිව්යෝක් නගරයේ හදවත බඳු පහළ මෑන්හැටන් ප්‍රදේශයේය. සුපිරි බලවතාගේ අභිමානය සමග අහස උසට නැඟී සිටි මෙම කුලුනු ද්විත්වය බිමටම සමතලා කිරීමට ඔසාමා බින් ලාඩන්ගේ ත්‍රස්ත ජාලයට හෝරාවක් වැනි කාලයක් ප්‍රමාණවත් විය.

මෙම මහා ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 3000ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත. තවත් 25000ක් පමණ තුවාල ලදහ. මෙම ගුවන් යානා දෙකට අමතරව අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් එදින තවත් ගුවන්යානා දෙකක් පැහැරගෙන තිබුණි. ඉන් එකක් පියාසර කළේ ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට දෙසටයි. පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් 184 දෙනෙක් මියගියහ. අවසාන ගුවන්යානයේ සිටි මඟීන්ට කෙසේ හෝ අනෙකුත් පැහැර ගත් ගුවන්යානයන්ට අත්වූ ඉරණම සැළ වී තිබුණි. ඔවුහු ත්‍රස්තවාදීන් සමඟ සටන් කළහ. අවසානයේ එහි ගමන් කරමින් සිටි මඟීන් 44 දෙනකු සමඟ යානය පෙනිසිල්වේනියාවේ ගොවිපළකට කඩාගෙන වැටුණි. එහි ඉලක්කය වී තිබුණේ කැපිටල් ගොඩනැගිල්ල හෝ ධවල මන්දිරය බව පැවසේ. ඒ අනුව ඇමෙරිකානු ආර්ථික, දේශපාලන හා ආරක්ෂක මර්මස්ථාන තුනම එක මොහොතකින් විනාශ කිරීමට අල්කයිඩා ජාලයට වුවමනා වී තිබුණ බව පැහැදිලිය.

මෙය ලෝක ව්‍යාප්ත ත්‍රස්තවාදයේ කූඨප්‍රාප්තිය සටහන් වූ අවස්ථාවයි. ඇමරිකා එක්සත් ජනපදය නමැති යුද දේශපාලනික දැවැන්තයාගේ හදවතටම එල්ල කළ මෙම ප්‍රහාරයෙන් සමස්ත ලෝකයම සලිත වී ගියේය.

ඇන්ඩෲ කාර්ඩ් මහතා විශ්‍රාම ගිය පසුව ඒ මොහොත පිළිබඳව ඔහුගේ මතකය අවධි කළේ මෙසේය.

අපි සරටෝසාහි රිසෝට් හෝටලයට එන විට බොහෝ රෑ බෝවෙලා තිබුණා. ඒ අවට අමුතු දුර්ගන්ධයක් පැතිරී තිබුණා. දියවැල්වලට අහුවෙලා මියගිය මාළුන් වෙරළට ගොඩගසා තිබීම නිසා මේ අප්‍රසන්න තත්ත්වය ඇති වූ බවයි අහන්න ලැබුණේ.

පසු දා උදෑසන අවදි වුණාමත් මේ අප්‍රසන්න දුර්ගන්ධය පැවතුණා. ඒ ගැන මා බොහෝ සෙයින් සැලකිලිමත් වුණා. ජනාධිපතිතුමා කොහේ ගියත් උදේ පාන්දරින් දුවන්න යනවා. අපිරිසිදු වාතය නිසා එතුමා අසනීප වෙයිද කියා මට සැකයක් ඇතිවුණා. ජනාධිපතිතුමාගේ වෛද්‍යවරයාගෙන් මම මේ ගැන විමසුවා.

“නෑ නෑ එතුමා හොඳින්”

වෛද්‍යවරයා පැවසුවා. පසුව මට ව්‍යායාම් සඳහා යන ජනාධිපතිතුමා මුණ ගැසුණා.

“පුදුම ගන්ධස්කාරයක් එළියෙ තියෙන්නේ ජනාධිපතිතුමනි. නමුත් වෛද්‍යවරයා කිව්වා ඔබතුමා හොඳින් ඉන්නවා කියලා. ඔබ නැවත පැමිණි වහාම අපි බුද්ධි තොරතුරු හමුව සූදානම් කරන්නම්. අද ඔබට විවේකී දවසක් වේවි.”

ජනාධිපතිතුමා ව්‍යායාම් කර ආපසු පැමිණි පසුව අපේ බුද්ධි හමුව පැවැත්වුණා. ඉන් පසුව අපි ලිමොසින් වාහනයේ නැඟී පාසලට ගියා. එතැන සිටි අය අතර යම් කසුකුසුවක් ඇති වී තිබුණ බවක් පෙනී ගියා.

“කාට හරි ආරංචිද නිව්යෝක්වල ගුවන් අනතුරක් ගැන?”

සමහරු කතාවෙනවා. ඒත් වැඩි තොරතුරක් වාර්තා වී තිබුණේ නැහැ. ශාලාවේ දොර අසල ජනාධිපතිතුමයි, මමයි, විදුහල්පතිතුමයි සිටගෙන හිටියා. එතැනට ජාතික ආරක්ෂක මණ්ඩලයේ නිලධාරියෙක් පැමිණියා.

“සර්, නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනක ඇන්ජින් දෙකේ පොඩි ප්ලේන් එකක් හැප්පිලා.” ඔහු පැවසුවා.

“අපොයි! ඒක භයානක අනතුරක්. ගුවන් නියමුවාට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්නැති.”

මට එහෙම කියවුණා. ජනාධිපතිතුමාටත් එය ඇසුණා. ඒත් එක්කම පංති කාමරයේ දොර විවෘත වුණා. විදුහල්පතිවරයා විසින් ජනාධිපතිතුමාව කැඳවාගෙන ගියා. ශාලාවේ දොර වැසීගියා. ඒ අතර ආරක්ෂක නිලධාරියා නැවතත් මා වෙතට ආවා.

“සර්.ඒක එන්ජින් දෙකේ පුංචි ප්ලේන් එකක් නෙවෙයි. කොමර්ෂල් ජෙට් එකක්.”

“මොනවා” මගේ හිත තිගැස්සුණා. මට එක් වරම මතක් වුණේ එහි ගමන් ගත් මඟීන්ව. ඔවුන්ට දැනුණු බය වැනිම හැඟීමක් මටත් දැණුනා.

“අනේ ඒ අසරණයන් හිතන්න ඇති ප්ලේන් එක උඩට යනවා කියලා. ඒක භයංකර අත්දැකීමක්.” මට ඉබේටම කියවුණා. ඒ වෙනකොටත් මම හිතුවේ ඒක කාර්මික දෝෂයක් නිසා සිදුවූ අනතුරක් කියලයි. ක්ෂණයකින් ආරක්ෂක නිලධාරියා නැවතත් පැමිණියා.

“දෙවියනේ.” ඔහුට කියවුණා. යම් බරපතළ දෙයක් සිදුවී ඇති බව මට ඉවෙන් මෙන් දැණුනා.

තවත් ගුවන් යානයක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ අනෙක් කුලුනේ හැපී ඇති බව ඔහු කළබලෙන් පැවසුවා. එසේනම් එය හදිසි අනතුරක් හෝ අහඹු දෙයක් නොවන බව මම තේරුම් ගත්තා.

මට ඒ මොහොතේ අල් කයිඩා ජාලය මතක් වුණා. මක්නිසාද යත් ඔවුන් ඊට කලින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට යම් පහරදීමක් කර ඇති බැවින්. අල්කයිඩා හෝ ඔසාමා බින් ලාඩන් පිළිබඳව එදා මගේ සිතේ ඇති වූ අනුමානය මටම පුදුමයක්. මේ සිදුවීම ජනාධිපතිතුමාට වහාම වාර්තා කළ යුතු බව මට පෙනී ගියා.

ඒ මොහොතේ මම විශාල ගැටලුවකට මුහුණ පෑවා. තීරණය ලෙහෙසියි තමයි. මෙය ජනාධිපතිවරයා දැනගත යුතුයි. නමුත් කුමක්ද ඔහුට කියන්නේ? කොහොමද ඒක කියන්නේ? එතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස අමාරුම කාර්යයක් කිරීමට මට සිදු වී තිබුණා.

මම තීරණයක් ගත්තා. මේ පිළිබඳව ජනාධිපතිතුමාට කෙටි දැනුම් දීමක් කර ඔහුට නැවත ප්‍රශ්නයක් ඇසීමට ඉඩ නොතබා වහාම එතැනින් ඉවත් වීමට සිතා ගත්තා.

පංති කාමරයේ දොර ඇරගෙන එහි පසුපස සිටි පිරිස අතරින් තෙරපෙමින් මම ඉදිරියට ගියා. ජනාධිපතිතුමාගේ දකුණු කන වෙත නැවෙන විට ඔහු ඊට අවධානය යොමු කළා.

“සර්, දෙවෙනි ගුවන් යානයක්….” මම ඉතාම සරලව මගේ වචන තෝරා ගත්තා.

“දෙවෙනි ගුවන් යානය දෙවෙනි කුලුනේ හැප්පිලා. ඇමෙරිකාවට ප්‍රහාර එල්ල වෙනවා ජනාධිපතිතුමනි.” (“Sir Second plane hit the second tower’ America is under attack…! “)

ජනාධිපතිතුමා කිසිවක් අසන්නට කලින් මම වහාම නැවත ශාලාවේ දොර අසලට ආවා. මගේ අමාරුම රාජකාරිය එසේ නිමා වුණා.

ඇන්ඩෲ කාර්ඩ් මහතා අමෙරිකානු හදවත ගිනිගත් සංවේදී මොහොත සිහිකරන්නේ එලෙසිනි.

ලෝක ත්‍රස්තවාදයට එරෙහිව ඇමෙරිකානු ක්‍රියාන්විතය ආරම්භ කිරීමට මුල් වූ සැප්තැම්බර් 11 ප්‍රහාරය නිසා ලෝකයේ භූ දේශපාලන සිතියම බොහෝ සෙයින් වෙනස් විය. ඒ නිසාම මෙම ඡායාරූපය විසි එක් වන සියවසේ වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූපයක් ලෙස සැලකේ. එකම මොහොතක එල්ල වූ ප්‍රහාර මාලාව නිසා ජනාධිපතිවරයා ආරක්ෂිත ස්ථානයකට ගෙන යෑමටත් ආරක්ෂක නිලධාරීන්ට සිදුවිය.

මීට වසර දෙකකට පෙර ප්‍රහාරයට වසර විස්සක් සපිරෙන මොහොතේ ලොව පුරා මාධ්‍ය ඒ පිළිබඳව වැඩසටහන් විකාශය කළේය. බොහෝ වාර්තාකරුවෝ එදා සරසෝටා පාසලේ හිටපු පළමු වසර පංති භාර ගුරුතුමිය හා දරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කළහ. එම දරුවන් දැන් ලොකු මහත් වූ තරුණ තරුණියන්ය. ඔවුන්ට මතක ජනාධිපතිතුමා පාඩම නිම වී සතුටින් ගිය බව පමණි.

ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක මෙන් දිගහැරුණු ප්‍රහාරයේ රූපරාමු මිස එදා සරසෝටා පාසලේ රූපරාමු ගැන කිසිවෙකු දැනගෙන සිටියේ නැත. පසු කාලයක මේ ඡායාරූප මාධ්‍යට නිකුත් විය. ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ දරුණුම ප්‍රහාරය හමුවේ බුෂ් මහතා දැක්වූ සැහැල්ලු ප්‍රතිචාරය ගැන බොහෝ අය එතුමාව දැඩිව විවේචනය කළහ. ඔවුන් කීවේ ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ වහාම එතැනින් නැගිට ඉවත්ව යෑම බවයි. ප්‍රහාරය ඇමෙරිකානු ජනාධිපතිවරයා හා බුද්ධි අංශ දැනුවත්ව සිදු වූ බවට ප්‍රලාප නිර්මාණය වීමටත් ඒ මොහොතේ ජනාධිපතිවරයා දැක්වූ සන්සුන් ප්‍රතිචාරය බොහෝ සෙයින් බලපා තිබුණි.

පසු කාලයක මාධ්‍යවේදියක් බුෂ් මහතාගෙන් මේ පිළිබඳව විමසා සිටියේය. ඔහු කියා සිටියේ තම රටට මෙවැනි දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් බලවත් පුද්ගලයා කවුදැයි යන්න පිළිබඳව තිගැස්මක් ඇතිවුවත් දරුවන් ඉදිරියේ වෙනසක් පෙන්වීමට තමන්ට අවශ්‍ය නොවූ බවයි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment