නාපෝලි රණවිරු චිත්‍ර ප්‍රදර්ශනයේ එකතු වෙච්ච රුපියල් ලක්‍ෂ දහයක් ආබාධිත රණවිරුවන්ට බෙදයි…

තුෂාරගේ කකුල් දෙකම නෑ අතකුත් නෑ එකම පුතාටත් පිළිකාවක්…

කකුල් දෙකම නැති රංජිත් ලක්‍ෂ විස්සක් වියදම් කරලා බුදුපිළිමයක් නෙළනවා…

ශ්‍රී ලංකා ආබාධිත ක්‍රිකට් කණ්ඩායමේ උප නායක සුමිත් ලෝකයම ජයගත් ක්‍රීඩකයෙක්…

දෙපා නැති වුණත් සාගර ත්‍රිරෝදයක් පදවමින් කොසුල් ව්‍යාපාරයක් කරනවා…

අපේ වීරයන් මුණගැසිණි. ඒ මාරවිල, හාල්පන්විල ශ්‍රී ඥානෝදය විහාරස්ථානයේ පැවැති රණවිරු ගුණ සමරු උත්සවයකදීය. එම උත්සවය සංවිධානය කර තිබුණේ ඉතාලියේ නාපෝලි නගරයේ වීථියක චිත්‍ර අඳින මෙරට සිනමා සිතුවම් ඇඳි සෙනෙවිරත්න දසනායකය.

පසුගිය මැයි මස 21 වැනිදා මෙරට විවිධ ප්‍රදේශවල රණවිරු සැමරුම් පැවැත්වූ පසුබිමක නාපෝලි නගරයේ පියස්ස මස්සීනි සාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේදී ඒකපුද්ගල රණවිරු චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ සෙනෙවිරත්න දසනායක එයට ලැබුණු සියලුම මුදල් ත්‍රස්තවාදී අරගලයේදී සටන් වැද සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබිණි. එම තීරණය මල්ඵල ගන්වමින් පසුගිය සෙනසුරාදා (16 වැනිදා) හාල්පන්විල ශ්‍රී ඥානෝදය විහාරස්ථානයේදී චාම් උත්සවයක් පවත්වමින් ආබාධිත රණවිරුවන් දසදෙනෙකුට රුපියල් ලක්‍ෂය බැගින් පරිත්‍යාග කෙරිණි. රුපියල් මිලියනයක් පරිත්‍යාග කළ චාම් උත්සව සභාව ඇමතූ සිනමා කටවුට් ඇඳි සෙනෙවි නාපෝලි චිත්‍ර සිතුවම් දැක්ම ගැන කෙටියෙන් පැහැදිලි කළේය.

‘අට පාස් ආමිකාරයො කියලා කැම්පස් ළමයෙක් රණවිරුවන්ට නරක විදිහට කතා කරන වීඩියෝවක් ඉතාලි රූපවාහිනීයෙන් මම දැක්කා. ඒ වචන ටික කිව්වේ රැල්ලට දුවන නූගත් තරුණයෙක් නෙමෙයි, විශ්වවිද්‍යාල තරුණයෙක්. යුද්දෙ කාලෙ ලංකාවේ මිනිස්සු විඳපු දුක දන්න කෙනෙක් නම් එහෙම කතා කරන්නෙ නෑ. ඒත් තරුණ පරම්පරාවට කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේචAPත්වය ගැන හරි හැටි දැනුමක් නෑ. තරුණ වයසෙ රණවිරුවො බංකර්වල හිරවෙලා කරපු ජීවිත කැප කිරීමට දැන් ගෞරවයක් නෑ. යුදබිමේ ඉන්න රණවිරුවො සපත්තු ගලවනකොට හම ගැලවෙනවා කියලා ඉතාලියේ සිංහල සංවිධානය හරහා අපි බෙහෙත් යවලා තියෙනවා. ලංකාවේ මිනිස්සු බේරිලා ඉන්නෙ අට පාස් ආමිකාරයො නිසා කියලා හැදෙන පරපුරට කියා දෙන්න ක්‍රමවේදයක් නෑ. ඒ නිසා අපිට පුළුවන් විදිහට අමතක වන බිහිසුණු මතකය අවදි කරමින් අපේ තරුණ පරම්පරාවට දැකබලා ගන්න සලස්වන්න ඕන කියලා මට හිතුණා. මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන සූදානම් වුණේ 2022 අවුරුද්දෙ මැයි 21 වැනිදා. ඒත් එවකට ලංකාවේ පැවැති අරගලකාරී පසුබිම තුළ ඉතාලියේ රණවිරු සැමරුම් පවත්වලා ඵලක් නැති බව අපට තේරුණා. මෙවර සාමකාමී පසුබිමක චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්න ලැබුණු නිසා රණවිරුවන්ටත් ගෞරවයක් ලැබුණා. ශ්‍රී ලාංකීකයන් වගේම ඉතාලි ජාතිකයන් විශාල පිරිසක් චිත්‍ර ප්‍රදර්ශනය නැරඹුවා. ඒ වගේම රණවිරු චිත්‍ර ප්‍රදර්ශනයට හොඳ ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ නිසා අපි මේ චිත්‍ර ප්‍රදර්ශනය මෙතනින් නතර කරන්නෙ නෑ. ලෝකය පුරා අපට පුළුවන් දුරකට අරගෙන යනවා. ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. උනන්දුව, කැපවීම, ජාතික හැඟීම තියෙනවා නම් මේවා ලොකු දේවලුත් නෙමෙයි…” සෙනෙවිරත්න දසනායකගේ අවසාන වචන කිහිපය අගනේය. උනන්දුව, නොපසුබට වීර්ය ඇති නම් කළ නොහැක්කක් නැත. එහෙත් දිරියෙන් සවිමත් සෙනෙවි ද දැන් ආබාධිතයෙකි. නොසිතූ විරූ ලෙස හටගෙන ඇති අංශභාග රෝගී තත්ත්වයෙන් පසු ඔහුගේ වමතෙන් වැඩ කිරීමට අපහසුය. එහෙත් වෙව්ළන වමතට දකුණතින් වාරු දීගෙන රණවිරු චිත්‍ර සීයක් නිර්මාණය කළ අයුරු වචන කරන විට ඔහු කෙරෙහි ඇති වූයේ අසීමිත ගෞරවයකි.

රටට අමතකව ගියත් ලෝකයට අමතක නැති අපේ රණවිරුවන්ට ඇගයුමක් !
රටට අමතකව ගියත් ලෝකයට අමතක නැති අපේ රණවිරුවන්ට ඇගයුමක් !
රටට අමතකව ගියත් ලෝකයට අමතක නැති අපේ රණවිරුවන්ට ඇගයුමක් !
රටට අමතකව ගියත් ලෝකයට අමතක නැති අපේ රණවිරුවන්ට ඇගයුමක් !

මාරවිල, කොස්වාඩිය ප්‍රදේශයේ ජීවත් වූ සෙනෙවි පාසල් වියේ සිටම චිත්‍ර ඇඳීමට අති දක්‍ෂයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු සරසවිය පුවත්පතට නළු, නිළියන්ගේ පින්තූර ඇඳීම විනෝදාශ්වාදය කරගෙන සිටි හේ පසුව සිනමා සමාගමකට සම්බන්ධ වූයේ ය. ‘වැලිකතර’ චිත්‍රපටයේ ‘කටවුට්’ අඳිමින් සිනමා බෝඩ් ඇඳීම ආරම්භ කළ සෙනෙවිරත්න දසනායක වසර හයක පමණ කාලයක් සිනමා බෝඩ් ඇඳීම වෘත්තීය කරගෙන සිටියේය. සිංහල, දෙමළ, හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපට රාශියක බෝඩ් ඇඳපූ සෙනෙවිට ඒ සම්බන්ධයෙන් ඇත්තේ නොමැකෙන මතකයකි. මේ දිනවල ලංකාවට පැමිණ සිටින සෙනෙවි නාපෝලි ‘රණවිරු චිත්‍ර ප්‍රදර්ශනයෙන්’ ඔබ්බට ගොස් ඔහුගේ ජීවිතයේ නොමැකෙන මතක එකිනෙක අපට විස්තර කළේය. ඔහුගේ සුරතින් ඇඳපු රණවිරු චිත්‍ර ගැන විමසා බැලීමට අමතක වන තරමට සෙනෙවිගෙ අතීත මතක දෙසවනට මිහිරි විය. මේ වන විට වයස අවුරුදු හැත්තෑ එක් වෙනි වියෙහි පසුවන ඔහු ඉතාලියට ගිය කාලයේ සිට අදට ද නාපෝලි නගරයේ විදේශීය සංචාරකයන් රොද බැඳ සිටින වීථියක චිත්‍ර අඳින්නේය. ඉතාලියේ පැරැණි සිනමා නළු, නිළියන්ගේ කළු, සුදු චිත්‍ර අඳින සෙනෙවිරත්නව නොදන්නා කෙනෙක් නාපෝලියේ ද නැති තරම්ය. සත්ව හම්වල අඳින එක චිත්‍රයකට ලංකා මුදලින් රුපියල් විසිදහසකට නොවැඩි මුදලක් අය කරන බව ද හේ අපට පැවසීය. නාපෝලි බෞද්ධ විහාරස්ථානයේ මෙන්ම විවිධ ආයතනවලට විවිධ පුද්ගලයන්ට චිත්‍ර ඇඳපු බව ද ඔහු පැවසුවේය. එහෙත් වෙව්ළන තෙලි තුඩින් සිත්තම් වූ ‘රණවිරු සිතුවම්’ ඔහුගේ ජීවිතයට අමරණීය සිත්තමක් බව සතුටු කඳුළු පිසලමින් හේ අපට කීවේය. එමෙන්ම ගුණ සමරු උත්සවයට පැමිණ සිටි ආරාධිතයින් විසින් ආබාධිත රණවිරුවන්ට මුදල් පරිත්‍යාග කරන දෙස බලා සිටි සෙනෙවිගේ දෑස් තෙත් වන අයුරු අපි දුටිමු. එහෙත් කෘත්‍රිම දෙපා යුගලක් හෝ සවි කිරීමට නොහැකි තරමට කකුල් දෙකම නැතිව අබ්බගාත තත්ත්වයට පත් වී සිටින රංජිත් පැවසූ කතාව ඇසෙන විට මගේ සිත ජවයෙන් පිරිණි.

රටට අමතකව ගියත් ලෝකයට අමතක නැති අපේ රණවිරුවන්ට ඇගයුමක් !
චිත්‍ර ශිල්පී සෙනෙවි දසනායක

“ඉතාලිය වගේ දුර රටක රණවිරු චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වලා ඒ මුදල් අපිට පරිත්‍යාග කළාට අපේ රටේ සමහර සංවිධාන, විවිධ පුද්ගලයන් විවිධාකාර අයුරින් රණවිරුවන් විකුණලා එකතු කරන කෝටි ප්‍රකෝටි ගණන් මුදල්වලින් තඹ සතයක් රණවිරුවන්ට දීලා නෑ. ඒවා ගෝත්‍රික සමාජයකදීවත් නොවන වැඩ. එහෙම හිඟා කෑම්වලින් උපයන තඹ දොයිතුවක්වත් අපිට ඕනත් නෑ. දෙපා නෑ කියලා අපි ජීවිතේ පැරදිලා නෑ. වැටිලත් නෑ. වට්ටන්නත් බෑ. අත්, පා තියෙන අයට වඩා දෙපා නැති අපි අදටත් රටේ ආර්ථිකයට දායකත්වයක් සපයනවා. මම ගල් කැටයම් කරනවා. ලී කැටයම්, ගොක්කොළ කැටයම් කරනවා. එම කර්මාන්තවලින් සාමාන්‍ය ආදායමක් ලබනවා. ඒ ලැබෙන මුදලෙන් සමාජයටත් යමක් කරනවා. මගේ මුදල්වලින්, දෑතේ ශක්තියෙන් අපේ ගමේ බුදුපිළිමයක් නෙළනවා. රුපියල් ලක්‍ෂ විස්සක් විතර වැය වෙනවා. දැන් ගොඩක්ම වැඩ ඉවරයි. තව රුපියල් ලක්‍ෂ පහක විතර වැඩ තියෙන්නෙ. මේ ලැබුණු රුපියල් ලක්‍ෂයත් මම වියදම් කරන්නෙ බුදුපිළිමෙ වැඩවලට. මට තියෙන අඩුව දෙපා නැතිකම විතරයි. දෙවි, හාමුදුරුවන්ගෙ පිහිටෙන් වෙන ලෙඩක්වත් නෑ. රට, ජාතියට සමාජයට සේවයක් කරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් ලෙඩ රෝගත් නෑ. අධික තණ්හාවෙන් පිච්චෙමින් මිනිස්සුන්ට කුහකකම් කරමින්, සමාජයේ හැම කටයුත්තක්ම වැරැදි විදිහට දකිමින් මන්ද බුද්ධික විදිහට හිතන මිනිස්සු හිතින්, කයෙන්, මනසෙන් තුන් තැනින්ම දැවෙනවා. රණවිරුවො එහෙම නෙමෙයි. සෑම මොහොතකම ඉන්නෙ සතුටින්…” කල්ලමඩු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී කොටි ත්‍රස්තවාදීන් විසින් වළ දමා තිබූ බිම් බෝම්බයකට ගොදුරු වී රංජිත් අනතුරට පත් වී ඇත්තේ 2007 වර්ෂයේදීය. වසර ගානක් රෝහල් ප්‍රතිකාර ලබාගත් රංජිත් නිවසට පැමිණ වියවුල් මනස සුවපත් කිරීමට ගිනි අවියට හුරු වී තිබුණු දෑත ගල් කැටයම් කලාවට හුරු කිරීමට පටන්ගෙන ඇත්තේ 2016 වර්ෂයේදීය. සුන්දර විවාහ ජීවිතයක් ගත කරන 49 හැවිරිදි රංජිත්ට දරුවන් දෙදෙනෙකි. පුතාට වයස අවුරුදු 13 කි. දුවට වයස 10 කි. ඔහුගේ එකම ප්‍රාර්ථනාව දරුවන් දෙදෙනා සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කිරීමය. එමෙන්ම කෘත්‍රීම දෙපා යුගලක් සවි කිරීමට නොහැකි තරමට දෙපා අහිමි වී එක් අතක් ද අහිමි වී රෝද පුටුවකට ජීවිතය සින්න කර තිබෙන තුෂාර කුමාර ද ගැහැනු දරුවන් දෙදෙනෙකුගේ සහ පිරිමි දරුවකුගේ පියෙකි. ආවාසනාවට ඔහුගේ එකම පුතා ද ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින්නෙකි. තරුණ බිරිඳත් සමඟ නොනිමි ජීවන අරගලයක නිරත වී සිටින තුෂාර කුමාර ඇල්පිටිය ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවස ආසන්නයේ පර්චස් 40 ක තේ වත්තක තනියෙන් වැඩ කරන බව පැවසූ විට මගේ දෑස නළලෙ නතර විය.

“පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නෑ. හිත හයිය නම් ඕවා මහ ලොකු දේවල් නෙමෙයි. තේ වත්තෙ කානුවල පස් ගොඩ දාන්නෙ ලෑල්ලක් තියලා ලෑල්ලෙන්, ලෑල්ලට පනිමින්. දෙයක් කාලයක් කරනකොට ඒක හුරු වෙනවා. මැරෙනකම් කාටවත් අතනොපා ජීවත් වෙන්න ඕන නිසා කොහොමහරි වත්තෙ පිටියේ වැඩ කරන්න හුරු වුණා. මගෙ වැඩ ටිකත් සේරම කර ගන්නවා. දරුවො තුන්දෙනයි, නෝනයි එක්ක සතුටින් ජීවත් වෙනවා. පුතාගේ අසනීප තත්ත්වයත් 70%, 80% සුව තත්ත්වයට හැරිලා කියලා මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරු කියනවා. මගෙ කොල්ල හොඳටම සනීප වෙනවා නම් ඒ ඇති. වෙන ලොකු බලාපොරොත්තු නෑ. අදටත් රටට, සමාජයට බරක් නොවී ජීවත් වෙනවා. මැරෙනකම් එහෙම ජීවත් වෙන්න ලැබීම තමයි මගේ ඒකායන ප්‍රාර්ථනාව…” මුලතිව් මහ වන මැද ඇල්ප වන් කොටි කඳවුර සුනුවිසුණු කර ආපසු පැමිණෙමින් සිටින විට තවත් කොටි බංකරයකට පහරදීමට යෑමේදී කොටි මර උගුලකට ගොදුරු වී තුෂාර කුමාර තුවාල ලබා තවත් රණවිරුවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබිණි. වයස අවුරුදු 29 දී අනතුරට ලක් වූ තුෂාරට මේ වන විට වයස 44 කි. දෛවයේ සරදමකින් තරුණ වියේදීම ආබාධිත තත්ත්වයට පත් වුවද තුෂාර කුමාර දිරියෙන් සහ ආත්ම ශක්තියෙන් දිවි මඟ යනෙන අපූරුව අත්, පා සහිතව කාලකණ්ණි ජීවිත ගත කරන අපතයන්ට ආදර්ශයකි.

එමෙන්ම සුමිත් කරුණාරත්නට ද දෛවය නපුරක් කෙරිණි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය විනාශ කිරීමේ මානුෂීය මෙහෙයුමේදී මුලතිව් ප්‍රදේශයේදී ත්‍රස්තවාදී මර උගුලකට ගොදුරු වී හේ තුවාල ලබා ඇත්තේ 2008 වර්ෂයේදීය. එම අනතුරෙන් සුමිත්ට දෙපා අහිමි විය. ඒ වන විට ඔහුට වයස අවුරුදු 24 කි. ආබාධ ජීවිතයේ අවසානය කර නොගත් සුමිත් ද දෛවයට අභියෝග කරමින් දක්‍ෂ ක්‍රීඩකයෙක් විය. මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද නම තැබූ අති දක්‍ෂ ක්‍රීඩකයෙක් විය. සුමිත් කරුණාරත්න ජාත්‍යන්තර තරඟ පිටිවල දස්කම් පා මෙරටට කීර්තියක් ලබා දුන්නා පමණක් නොව සමාජයට ආදර්ශමත් චරිතයක් විය. රෝගාබාධ දඩමිම්මාගෙන සමාජයේ කාලකණ්ණි ලෙස ජීවත් වන ‘නිකමුන්ට’ රෝද පුටුවේ සිට දස්කම් පාන සුමිත්ගේ ජීවිතය දකින විට බඩ කපාගෙන වැළලෙන්න හිතුණොත් පුදුම නැත. රණවිරු සුමිත් එතරම්ම දක්‍ෂයෙකි. දිරිය මිනිසෙකි. මේ වනවිට වයස අවුරුදු 39 වැනි විය පසු කරගෙන යන සුමිත් කරුණාරත්න ශ්‍රී ලංකා ආබාධිත ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ද වන්නේය. පසුගිය දිනවල නේපාලයේ පැවැති ආසියානු ආබාධිත ක්‍රිකට් තරගාවලියට ප්‍රථම වරට ඉදිරිපත් වූ මෙරට ආබාධිත ක්‍රිකට් කණ්ඩායම අනුශූරයින් බවට පත් වී තිබේ. කණ්ඩායම් පහක් සමඟ තරග වැදුණු අපේ රණවිරුවන් තරගාවලියේ උපරිම දක්‍ෂතා පෙන්නූ බවත්, එම කණ්ඩායම නියෝජනය කරන සිව්දෙනෙකු එදින රණවිරු උපහාර උළෙලට සහභාගි වී සිටින බව ද හේ අප සමඟ පැවසීය.

රටට අමතකව ගියත් ලෝකයට අමතක නැති අපේ රණවිරුවන්ට ඇගයුමක් !
සෙනෙවිරත්න දසනායකගේ නැගණියක් මුදල් පරිත්‍යාග කරමින්

“අපේ පවුලෙ කොල්ලොම පස් දෙනෙක්. මම පවුලේ දෙවැනියා. අපි පස්දෙනාම හමුදාවේ. මම යුද්ධයේදී අනතුරට පත් වුණා. කකුල් දෙකත් නෑ. එක අතක ඇඟිලි තුනකුත් නෑ. ඒ කිසිම ආබාධයක් දැන් නම් ගැටලු නෙමෙයි. ජීවිතය ජයගත හැකි මාවත හඳුනාගෙන ඒ ඔස්සෙ ගමන් කරනවා. මීටර් 100, 200, 400, 800, 500 තරග ඉසව්වල අදටත් ලංකාවේ රෙකෝඩ් තියෙන්නෙ මගේ. මේ වෙනකොට ක්‍රීඩා තරග සඳහා රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවකට ගිහින් තියෙනවා. සමහර රටවල්වලට තුන් හතර පාර ගිහින් තියෙනවා. රන්, රිදී පදක්කම් දිනාගෙන තියෙනවා. එක වතාවක රටවල් හැත්තෑතුනක් සහභාගි වෙච්ච තරගාවලියකට ඉදිරිපත් වුණා. ඒ තරගාවලියේදී පදක්කම් වැඩි අපිට. ආබාධිත තරගාවලිවලදී ලෝකයේ අනෙක් රටවල තරගකරුවන්ට වඩා අපේ කොල්ලො ඉදිරියෙන් ඉන්නවා. ඒත් අපේ රටෙන් තරගාවලිවලට ඉදිරිපත් කරන්නෙ සීමිත ප්‍රමාණයක්…” සුමිත් උපන් ගම නුවර කඩුගන්නාව වුවද විවාහයෙන් පසු ඔහු ජීවත්වනුයේ බිරිඳගේ ගමේය. ඒ මිනුවන්ගොඩ, දිවුලපිටියේය. සුමිත්ට දෙපා නැති වී ඇත්තේ දණහිස ළඟිනි. එහෙයින් සුමිත් කෘත්‍රීම පාදවල පිහිටෙන් ඇවිඳින්නේය. සුමිත්ගේ ජීවිතයට තිළිණයක් වූ තිළිණි සහ දරුවන් සමඟ සුන්දර ජීවිතයක් ගත කරන බව ද හේ සතුටින් අප සමඟ පැවසීය. සම්පූර්ණයෙන්ම දෙපා අහිමි සාගර සිල්වා ද ආදර්ශමත් කතාවක් කීවේය. හේ පදිංචිව සිටිනුයේ කළුතර, වස්කඩුව ප්‍රදේශයේය. 2008 වර්ෂයේදී අඩප්පන් ප්‍රදේශයේදී කොටි ත්‍රස්තයන්ගේ බිම් බෝම්බයකට ගොදුරු වී අනතුරට පත් වූ සාගරට දැන් වයස අවුරුදු 43 කි. ඉඳල්, කොසු ව්‍යාපාරයක් කරගෙන යන හේ දෑතේ වාරුවෙන් ත්‍රිරෝද රථයක් ද පදවාගෙන යන්නේය. කිසිවකුගේ උපකාරයක් නොමැතිව වෙළෙඳසල්වලට ඉඳල්, කොසු ද දාන්නේය.

පෙළගැසෙන සටහනට අපි එකතු කළේ රණවිරුවන් සිව්දෙනෙකුගේ අදහස් පමණි. එවැනිම පූර්ණ ආබාධිත තවත් විරුවන් හයදෙනක් අපට අදහස් ඉදිරිපත් කළහ. ඔවුන්ගේ රණ හඬ ඇසෙනවිට මගෙ සිත ඔවුන් කෙරෙහි ආඩම්බරයෙන් පිරිණි.

එවැනි වීර්යවන්ත, ජාතිමාමක මිනිසුන්ට දැයේ මුර දේවතාවන් යැයි කට පුරා කිව හැකි බව සැබෑය. එමෙන්ම එවැනි එඩිබල විරුවන් සමරන උත්සවයක් ගැන සටහන් තැබීමට ලැබීම ද ගෞරවයකි. මුල අමතක කරන මෙරට සමාජයෙන් මැකී යන තිස් අවුරුදු සාපලත් කොටි ත්‍රස්තවාදී යුද්ධය ඉතාලියේ ජීවත්වන සිංහල මිනිසුන්ගේ හෝ මතකයේ රැඳීම වාසනාවකි. වසර විසි, තිස් ගාණක සිට ඉතාලි රටේ ජීවත්වන ඔවුන්ට තිබෙන ‘ජාතික කැක්කුම’ මෙරට බහුතරයකට නොමැතිවීම නම් රටේ කරුමයකි.

සිතුවම් අඳින වෙව්ළන වමතට දකුණතින් වාරු දීගෙන රණවිරු චිත්‍ර සීයක් නිර්මාණය කළ නාපෝලියේ විථියක සිතුවම් අඳින සෙනෙවි මහතාට, ඔහුගේ ආදරණීය බිරිඳ නිශාන්ති ප්‍රනාන්දු, නාපෝලි චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කළ ඉතාලි සිංහල සංවිධානයේ සභාපති ධම්මාරාම නායක හිමි, ලාල් ගමගේ, සුනිල් ශාන්ත, කෙනඩි සහ ඉතාලි රණවිරු සිතුවම් දැක්ම සහ මෙරට රණවිරු ගුණ සමරු උත්සවය සංවිධානය කළ නිශාන්ත සෙනරත් සහ නාමල් පතිනායක මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය. එමෙන්ම ඒ සියලුදෙනාගේ පැතුම රණවිරු සිතුවම් දැක්ම ලොව පුරා ප්‍රදර්ශනය කරමින් මෙරට ආබාධිත රණවිරුවන්ට තව, තවත් ජීවය ලබාදීමය. එම ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වී තවත් මෙවැනි රණවිරු ගුණ සැමරුම් උත්සවයකදී හමුවීමේ බලාපොරොත්තුවෙන් ඒ සොඳුරු මිනිසුන්ගෙන් අපි සමුගත්තෙමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment