පොලිසියට භාරවූ මැණික්හින්නේ දොස්තරට උසාවිය ඇප දෙයි

70

තෙල්දෙණිය රෝහලට මාරු කෙරේ

මැණික්හින්න රෝහලේ පසුගිය දා ඇතිවූ ගැටුමට සම්බන්ධ වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර ඇත.

මේ අතර මෙම වෛද්‍යවරයා ඊයේ පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කළ අතර එහිදී ඔහුට ඇප හිමිවිණි.

පසුගියදා ඇස්වලට පෙට්‍රල් වැටීම නිසා මැණික්හින්න රෝහලට රැගෙන එන ලද තරුණයකුට ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවේ රෝහල් වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු බීමතින් සිටින බවට රෝගියා සමග පැමිණි පිරිසක් ප්‍රශ්න කිරීම නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති විය.

මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනකු හා රෝගියා සමග පැමිණි කණ්ඩායමේ හයදෙනකු මැණික්හින්න හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන තිබිණි.

මැණික්හින්න රෝහලේ පසුගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ මැණික්හින්න පොලිසිය රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනකු හා අනෙක් පාර්ශ්වයේ තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහනුවර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සහ තෙල්දෙණිය දිසා විනිසුරුවරිය පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරිවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියත් ඒ වන විට ඔහු නිල නිවසින් පිටව ගොස් තිබූ අතර ඊයේ (02 දා) නීතිඥයකු මගින් පොලිසියට පැමිණ භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී. ජයවර්ධන මහත්මිය නියෝග කළාය. ඇප මත මුදා හරින ලද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.සී.කේ. වීරපාන මහතාට මෙම මස 08 වැනිදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද දිසා විනිසුරුවරිය නියෝග කළාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා විසින් පත්කළ කමිටුව මගින් ලබාදුන් වාර්තාව පදනම් කර ගනිමින් දිස්ත්‍රික් වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරුකර මැණික්හින්න රෝහලේ වැඩ ආවරණය කිරීමට වෙනත් වෛද්‍යවරයකු යොමුකර තිබේ.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. චන්ද්‍රපාල මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment