රට රැකියා සල්ලි 55%කින් පහත වැටේ – ඩොලරයට නිසි මිලක් නැහැ… විදෙස් ශ‍්‍රමිකයෝ කියති

389

විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ලැබීම් (විදේශ විනිමය පේ‍්‍රෂණ) ඉකුත් නොවැම්බර් මාසයේදී තවදුරටත් සියයට 55.6කින් පහත වැටී තිබේ.

ගිය වසරේ (2020) නොවැම්බර් මාසයේදී මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 611.7ක් වූ විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය මේ වසරේ (2021) නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 271.4ක් දක්වා ඇමරිකානු ඩොලර් මිලයන 340.3කින් සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේම පසුගිය ඔක්තෝබර් මස විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම්ද ගිය වසරේ (2020) ඔක්තෝබර් මසට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලර් මිලියන 313.3කින් අඩුවිය. ඒ අනුව ගිය වසරේ (2020) ඔක්තෝබර් මස මෙරටට ලැබුණු විනිමය පේ‍්‍රෂණ ආදායම ඇමරිකානු ඩොලර් මිලයන 630.7 සිට මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 317.4ක් දක්වා අඩුවී ඇත. එය සියයට 17.9ක අඩුවීමකි.

මේ අතර ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව මේ වසරේ (2021) පළමු මාස 11 දී මෙරටට ලැබුණු විදේශ විනිමය පේ‍්‍රෂණ ආදායමද ඇමරිකානු ඩොලර් මිලියන 5166.3ක් දක්වා සියයට 17.9කින් අඩුවී තිබේ. ගිය වසරේ (2020) මුල් මාස 11 දී මෙරටට ලැබුණු විදේශ විනිමය පේ‍්‍රෂණ ඇමරිකානු ඩොලර් මිලයන 6291.2ක් විය.

මෙසේ විදේශ විනිමය පේ‍්‍රෂණ අඩුවීම හමුවේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් විදෙස්ගත ශ‍්‍රමිකයන් මෙරටට මුදල් එවීමේදී නිල මාර්ග පමණක් භාවිතා කරන ලෙස ඉල්ලීමක් කර ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් විදෙස්ගත ශ‍්‍රමිකයන් පවසන්නේ නිල විනිමය අනුපාතයේ පවතින ප‍්‍රශ්නය නිසා නිල මාර්ගවලින් ශී‍්‍ර ලංකාවට විදෙස් මුදල් එවීමේදී තමන්ට විශාල අවාසියක් සිදුවන බවත් ඇමරිකානු ඩොලරයකට මේ මාසයේදී (දෙසැම්බර්) අතිරේකව ලබාදෙන රු. 10/=ක මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවත්ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment