සර් අයිවර් ජෙනිංග්ගේ ශ්‍රී ලංකා භූමිකාව

1308

සර් අයිවර් ජෙනිංග්ගේ 119 වන ජන්ම සංවත්සරය නිමිත්තෙනි.

1921 දී පිහිටවූ ලංකා විශ්වවිද්‍යාල විද්‍යාතනය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම සඳහා 1942 වන තෙක් තවත් විසිඑක් වසරක් ප්‍රමාද වූයේ ඇයි? ස්වදේශීක ඉල්ලීම් හැකිතාක් දුරට ප්‍රමාද කිරීමේ යටත් විජිතවාදී පාලන ක්‍රමෝපායට හැම කරුණක්ම ඇද දැමිය නොහැක. විමසිලිමත්ව බලන විට යථෝක්ත ප්‍රමාදය සඳහා යටත් විජිත පාලකයන්ට මෙවර උත්තේජනය සපයන ලද්දේ පෙර කී ලංකා විශ්වවිද්‍යාල සංගමය බවට සැක කිරීමට කරුණු තිබේ. තම සංගමය ආරම්භ කර වසර පහලොවකට පසු විශ්වවිද්‍යාල විද්‍යායතනය යන ගාම්භීර නාමය යටතේ එංගලන්ත විශ්වවිද්‍යාලයක බාහිර උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයින් සූදානම් කිරීම පිණිස පිහිටවූ රජයේ ආයතනය කිසි විවේචනයකින් තොරව ඔවුහු පිළිගත්හ. ඊළඟ විසි එක් වසර තුළ ඔවුන්ට වැදගත් වූයේ අපේක්ෂිත විශ්වවිද්‍යාලය යටත් විජිත පාලනයෙන් හැකි ඉක්මනින් ලබා ගැනීමට උද්ඝෝෂණය කිරීම නොව එකී විශ්වවිද්‍යාලය පිහිට විය යුත්තේ කොළඹ ද මහනුවර ද යන්න පිළිබඳ දෙපිලකට බෙදී වාද විවාද කිරීම ය.

විශ්වවිද්‍යාල විද්‍යායතනය බිහි වී වසර පහක් ඇතුළත එම විද්‍යායතනයේ පාලක සභාව විසින් පත්කරන ලද ශාස්ත්‍රීය මණ්ඩලයක් විසින් යෝජිත ජාතික විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී ඊට අයත් විය යුතු පීඨ, අධ්‍යයන දෙපාර්තමේන්තු, උපාධි පාඨමාලා, විෂය නිර්දේශ, පරිපාලන ව්‍යුහය, ස්ථාන ගත කළ යුතු භූමි භාගය, ගොඩනැගිලි සැලසුම් හා වැය ඇස්තමේන්තු ආදිය අන්තර්ගත විස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් එවකට සිටි මැනිං ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන ලදි. විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා බුලර්ස් පාරේ දකුණු පස පිහිටි අක්කර 95 ක භූමි භාගයක් ද එම ව්‍යාපෘති වාර්තාවේ හඳුනාගෙන තිබුණි. මෙම යෝජනාවලිය ආණ්ඩුකාරවරයා විසින් ද, ව්‍යවස්ථාදායක සභාව ද වගකිව යුතු වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් පමණක් නොව විශ්වවිද්‍යාල විද්‍යාතනය පාලක සභාවේ සියලු සාමාජිකයින් ද ඒකමතිකව අනුමත කර තිබුනෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා 1925 වර්ෂය සඳහා රුපියල් 3,000,000 ක් ද 1926 වර්ෂය සඳහා තවත් රුපියල් 1,500,000 අතිරේක ප්‍රතිපාදනයක් ද සළසා තිබුනි. ඉතිරිව තිබුණේ විශ්වවිද්‍යාලය පිහිටුවීමට අවශ්‍ය ආඥා පනත් කෙටුම්පත සම්මත කිරීම පමණි.

1926 දී ලංකාවේ ආණ්ඩුකාර තනතුරට හියූ ක්ලිෆර්ඩ් පත්ව ආවේය. උසස් අධ්‍යාපන හා පර්යේෂණ වැනි බුද්ධිමය ක්‍රියාකාරකම් සිදුකරන විශ්වවිද්‍යාලයත් පිහිටුවිය යුත්තේ ඊට උචිත සුවදායක පරිසරයක බවත් උෂ්ණාධික දේශගුණයක් ඇති කොළඹ වැනි නගරයක විශ්වවිද්‍යාලයක් පිහිටුවීම යෝග්‍ය නොවන බවත් ඒ අනුව යෝජිත විශ්වවිද්‍යාලය පිහිට විය යුත්තේ ඊට සුදුසු දේශගුණයක් ඇති මහනුවර හෝ තදාසන්න ප්‍රදේශයක බවත් බූලර්ස් පාරේ භූමි භාගය ආණ්ඩුකාරවරයාට මන්දිරයක් ඉදි කිරීමට යොදා ගත හැකි බවත් සඳහන් කරමින් ලේක්හවුස් පුවත්පත් අයිතිකාර ඩී. ආර්ග විජයවර්ධන සහ වෛද්‍ය එස්.සී. පෝල් යන දෙදෙනා විසින් 1926 පෙබරවාරියේ දී ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයාට සන්දේශයක් ඉදිරිපත් කරන ලදි. මේවා පිළිගත් ආණ්ඩුකාරවරයා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට සුදුසු භූමිකාවන් සොයා වාර්තා කිරීමට විනිසුරු අක්බාර්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුවේ නිර්දේශය වූයේ මහනුවර දුම්බර මිටියාවතේ භූමි භාගයක විශ්වවිද්‍යාලය ඉදිකිරීම ඉතා යෝග්‍ය බවය.

යෝජිත විශ්වවිද්‍යාලය කොළඹ පිහිටිය යුතු බවට රජයට අවධාරණය කරමින් සර් ජේම්ස් පීරිස් ඇතුළු ප්‍රමුඛ පිරිසක් හා ඩී. ආර්ග විජයවර්ධන ඇතුළු ප්‍රමුඛ පිරිසක් අතර වසර 12 ක් තිස්සේ ගෙන ගිය මත වාදය සමකාලීන වාර්තාවල මෙම දීර්ඝකාලීන මතවාදය සඳහන් වන්නේ භූමි භාග සටන (battle of the site) යනුවෙනි. විශ්වවිද්‍යාලයක් පිහිටුවිය යුත්තේ සුවදායක දේශගුණික කලාපයකය යන ඩී.ආර්. විජයවර්ධනගේ තර්කය අතිශයින් බොළඳ එකක් බව මෙරට විශ්වවිද්‍යාලවලින්ම සනාථ වී ඇත. මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ ද මීට පෙර විශ්වවිද්‍යාල විද්‍යාතනය පිහිටි ස්ථානයේමය. එසේම කැළණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ ද කොළඹට තදාසන්න ප්‍රදේශවලය. එම විශ්වවිද්‍යාලවලට උෂ්ණ දේශගුණය බලපෑවේ නැත. එසේ නම් භූමි භාගය පිළිබඳ නිශ්චිත එකඟතාවයකට පැමිණ සැලසුම් සකස් කර අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කොට 1926 දී විශ්වවිද්‍යාල ඉදිකිරීමට ආරම්භ කිරීමට නියමිතව තිබිය දී ඩී.ආර්. විජයවර්ධන එම වැඩ පිළිවෙළ වෙනස් කිරීම සඳහා ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයාට සංදේශයක් ඉදිරිපත් කරන ලද්දේ ඇයි? එම යෝජනා මෙය ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට ද? නැතහොත් පුවත්පත් හිමියෙකු වූ ඔහුට ජනමතය වෙනස් කළ හැකි බව පෙන්වීමට ද?

පසුකාලීන සිද්ධීන් දෙස බලන විට පෙනී යන්නේ මේ චේතනා දෙකම ඔහු තුළ තිබූ බවය. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ අධ්‍යයනය කොට විස්තීර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා එවකට ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ හාර්ට්ෆීල්ඩ් විද්‍යායතනයේ ප්‍රධානිය වූ සර් වෝල්ටර් බුචනන් – රිඩෙල්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කර රටෙන් මාරු වී ගියේය. ඊළඟට පැමිණි හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැයවන අධික පිරිවැය සලකා යෝජනා ක්‍රමය ඩෙනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන තෙක් කල් තැබීම. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ 1931 දී පිහිට වූ පළමුවන රා්‍ය මන්ත්‍රණ සභාවේ කාලය 1935 අවසානයේ දී අහෝසි වූ අතර දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව 1936 මාර්තු මාසයේ දී ආරම්භ විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විවිධ හැල හැප්පිලි මධ්‍යයේ කලින් තෝරාගත් දුම්බර මිටියාවතේ අරුප්පොළ භූමිභාගය වෙනුවට පේරාදෙණියේ බි්‍රතාන්‍ය වැවිලි සමාගමක් සතු අක්කර 364 ක භූමි භාගයක් 1938 දී මිලයට ගන්නා ලදී. සියල්ලෝම මෙම මනරම් භූමියට තනිපයින් එකඟ වූහ. දීර්ඝ කාලයක් තිස්සේ පැවති භූමි සටනත් එය දඩමීමා කරගෙන යටත් විජිත පාලකයන් විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය ප්‍රමාදකිරීම එතැන් සිට නැවතිණ. එහෙත් අභාග්‍යයකට මෙන් දෙවන ලෝක යුද්ධය ඇරඹීම ඊළඟට වූ බාධකය වේ.

දෙවන ලෝක යුද්ධය ඇරැඹී සමයෙහි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පත්වීම ලද ආචාර්ය අයිවර් ජෙනිංග්ස් තම වගකීම් ඉටු කිරීමෙහිලා ආදර්ශමත්ව යුහුසුළුව කටයුතු ආරම්භ කළේය.

ඔහුගේ ප්‍රථම කාර්යය වූයේ හැකි ඉක්මනින් විශ්වවිද්‍යාලීය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමයි. මෙම විෂයට අදාළ සියලු ලිපි ගොනු අධ්‍යනය කළ ඔහුගේ සැළසුම වූයේ හැකි ඉක්මනින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන කාරක සභාවේ සභාපති සී. ඩබ්. ඩබ්ග කන්නන්ගර මහතා හමු වීමයි. එම සාකච්ඡාව අතිශයින් ප්‍රියමනාප එකක් වූ අතර ජෙනිංග්ස් ඉදිරිපත් කළ යෝජනා සියල්ල එලෙසම ක්‍රියාත්මක කිරීමට තම පූර්ණ සහයෝගය දෙන බව කන්නන්ගර මහතා පොරොන්දු විය. එංගලන්ත විශ්වවිද්‍යාල සම්ප්‍රදාය අනුව යමින් මෙරට පිහිටවිය යුතු විශ්වවිද්‍යාලය පිළිබඳ සවිස්තරාත්මක යෝජනා රිඩෙල් කොමිසන් සභා වාර්තාවේ අන්තර්ගත වී තිබීමත් විශ්වවිද්‍යාලය පිහිටුවීම නීතිගත කිරීමේ දී ව්‍යවස්ථාදායක සභා විසින් අනුමත කළ යුතු ආඥා පනතේ කෙටුම්පතක් ද එම වාර්තාවට අමුණා තිබීමත් එකී කෙටුම්පත් ව්‍යවස්ථාදායක සභා විසින් 1930 ඔක්තෝම්බර් මාසයේ ආඥා පනතක් ලෙස ඉදිරිපත් කර තිබීමත් ජෙනිංග්ස්ගේ පහසුවට හේතු විය. පළපුරුදු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන්ද, ව්‍යවස්ථාදායක නීති විශාරදයකු වශයෙන්ද ජෙනිංග්ස් කරන ලද්දේ එම පනතෙහි තිබූ ඇතැම් වගන්ති සංශෝධනය කොට නැවත නව පනතක් ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීමය.

පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි වර කියවීමේ දී සංශෝධන රාශියක් ඇති කෙරිණි. එහෙත් ඒ කිසිවක් ජෙනිංග්ස් ඉදිරිපත් කර තිබූ මූලික ප්‍රතිපත්ති වලට පටහැනි නොවන නොවැදගත් ඒවා බවත් පෙනී ගිය බැවින් ව්‍යවස්ථාදායකයින්ගේ සිතැඟි අනුව එම සංශෝධන වලට ඉඩ හරින ලදි. 1942 අප්‍රේල් 02 වැනි දින ආඥා පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ දී දීර්ඝ විවාදයක් ඇති විය. ජෙනිංග්ස්ගේ ලොකුම භීතිය වූයේ ලංකාවට එල්ල වෙමින් පැවති ජපන් ගුවන් ආක්‍රමණ අභිමුඛයේ හැකි ඉක්මනින් කෙටුම්පත් පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් අනුමත කරගත හැකිවේ ද යන්න පිළිබඳ ව ය. කෙසේ වෙතත් පනත සම්මත කිරීම ප්‍රමාද කිරීමේ අභිලාෂයක් එයට නොතිබිණි. එදින සවස් භාගයේ පනත තෙවැනි වර කියවා කිසිදු විරෝධතාවයකින් තොරව සම්මත විය. 1942 මැයි 05 දින ආණ්ඩුකාර ඇන්ඩෲ කැල්ඩිකොට් මෙම කෙටුම්පත අනුමත වූ බවට අත්සන් තැබීය. ඊලග ජූනි 4 වන දින පනතේ ප්‍රතිපාදන අනුව ජෙනිංග්ස් නව විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති ලෙස පත් කරන ලදිග විශ්වවිද්‍යාලය පිහිටුවීමේ නිල නිවේදනය 1942 ජුනි 12 වන දින ප්‍රකාශයට පත්කරන ලදි. ආණ්ඩුකාරවරයා විසින් පනත සම්මත වූ බවට අත්සන් කළ දින සිට සති තුනක් ජෙනිංග්ස්ට වෙහෙස නොබලා දිවා රෑ වැඩ කිරීමට සිදු වූයේ විශ්වවිද්‍යාලයට අදාළ නීතිරීති කෙටුම්පත් කිරීමට ය. විශ්වවිද්‍යාල විද්‍යායතනය පිහිටි රෙජිනා වලව්ව පරිශ්‍රමයේ දීම 1942 ජුලි 1 වෙනි දින තාවකාලික විශ්වවිද්‍යාල ධජය එසවීමෙන් ආරම්භක උපකුලපතිවරයා වූ ජෙනිංග්ස් විසින්ම සංකේතාත්මකව අභිනව විශ්වවිද්‍යාලය විවෘත කරන ලදි. එසේ වුවත් ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනය අවසන් වන්නේ ඊට බදවා ගෙන තිබූ අන්තිම ශිෂ්‍ය කණ්ඩායමේ අධ්‍යයන කටයුතු නිම වීමත් සමඟය. එය සිදුවන්නේ 1945 දී ය.

ලංකාවට පැමිණ සේවයට වාර්තා කළ විගස එළැඹි රජයේ පළමු නිවාඩු දින යොමු දිනය වූ 1941 අප්‍රේල් මහා සිකුරාදා කිසිවෙකුට නොදන්වා තනියම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිත පේරාදෙණිය භූමිභාගය පරීක්ෂා කිරීමට ගියේය. අක්කර 363 කින් යුත් යෝජිත විශ්වවිද්‍යාල භූමිය පිහිටා ඇත්තේ පේරාදෙණිය මල් වත්ත ඉදිරියෙන් වැටී ඇති නුවර ගලහ පාරේ දිගේය. එය දිවෙන්නේ වම් පසින් හන්තාන කඳු බෑවුම් ද දකුණු පසින් මහවැලි ගඟ ද මැදි කරගෙනය. ගම්පොල පාරේ මහවැලි ගඟ අද්දර දැව කොටයක් මත සුවසේ ඉඳගෙන යෝජිත භූමිභාගය නැරඹීමෙන් වශීකෘත වූ ඔහුට පසක් වූයේ ලොව කිසිම සරසවියකට මේ අන්දමේ ස්ථානගත වීමක් නොලැබෙනු ඇති බවය. මෙතැන උපාධි ප්‍රදානෝත්සවයට ශාලාවය, මෙතැන ශාස්ත්‍ර පීඨ ගොඩනැගිලි හා පුස්තකාලය යල මේ තැන්වල ශිෂ්‍යය නේවාසිකා ශාලාවල්ය ආදී ලෙස මතු ඉදිකරනු ලබන

ගොඩනැගිලි ස්ථානගත කිරීම පිළිබඳ ඔහුට සිහින මැවින. පසු කලෙක යෝජිත විශ්වවිද්‍යාලය සඳහා සමස්ත සැලසුම (master plan) පිළියෙල කරන ලද්දේ සර් පැටි්‍රක් ඇබර්ක්‍රොම්බි නම් බි්‍රතාන්‍ය ජාතික සුප්‍රකට වාස්තු විද්‍යාඥ උපදේශකවරයා විසිනි. මෙම සැලැස්මෙහි ජෙනිංග්ස්ගේ ද ඇබර්ක්‍රොම්බිගේ ද නිර්මාණාත්මක චින්තනය සමපාත වී තිබීම විශේෂ ලක්ෂණයකි. ගොඩනැගිලි සැලසුම් කර ඇත්තේ සම්භාව්‍ය සිංහල ගෘහ නිර්මාණ කලාවට අනුකූලවය. ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කිරීමත් සමග උද්‍යාන අලංකරණ කටයුතු ද ආරම්භ කළ යුතු යැයි තීරණය කළ ජෙනිංග්ස් ප්‍රථම පේරාදෙනිය සංචාරයේ දී ම පේරාදෙණිය උද්භිද විද්‍යා උද්‍යානයේ භාරකරු හමුවී විශ්වවිද්‍යාල භූමියේ රෝපණය කළ යුතු අලංකාර රුක් වර්ග විමසා එම රුක් රෝපණ කටයුතු ඔහු ලවාම කරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට ද අමතක නොකළේය.

ඉඩ ලද සෑම අවස්ථාවකම ජෙනිංග්ස් පේරාදෙණියට ගොස් ඉදිකිරීම් ප්‍රගතිය සොයා බැලුවේ එය තම රාජකාරියට වඩා පුද්ගලික වගකීමක් සේ සලකාය. සැලසුම් වලට පටහැනිව ඇතැම් අවස්ථාවල වැඩ කරන බව ජෙනිංග්ස් ගොඩනැගිලි ඉදිකිරීම් භාර අමාත්‍ය සර් ජෝන් කොතලාවලට පැමිණිලි කළේය. විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙනිංග්ස්ගේ අනුමැතිය නොමැතිව සැලසුම්වලට පටහැනිව කිසිවක් නොකළ යුතු බව අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ට වහාම නියෝග කළේය. එසේම අමාත්‍යවරයාට කළ තවත් නිරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාඥ ෂර්ලි ද අල්විස් මහතා පේරාදෙණිය යෝජනා ක්‍රමයේ නේවාසික වාස්තු විද්‍යාඥ ලෙස මාරු කර ගැනීමට ජෙනිංග්ස්ට හැකි විය. මෙසේ පේරාදෙනිය ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ ජෙනිංග්ස් කොතරම් කැපවීම් කළ ද ඔහුට එක් දෙයක් කරවා ගත නොහැකි විය. එනම් නිසි කලට ගොඩනැගිලි ඉදිකිරීම් නිම කොට මුලින් සැලසුම් කළ පරිදි නිසි කලට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පේරාදෙණියට මාරු කිරීමට ය. ඉදිකිරීම් අවුරුදු දහයක් පමණ ප්‍රමාද විය. එයට හේතුව එම ඉදිකිරීම් විශ්වවිද්‍යාලයේ වගකීමෙන් ඉවත්කර ඉවත් කර තිබීමය. කොන්ත්‍රාත්කරු මෙන්ම ආයෝජකයා වූවේද ආණ්ඩුවේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවයි. ඔවුන් වැඩ කළේ ඔවුන්ගේ ප්‍රමුඛතා අනුවය. තම චරිතපදානයෙහි ජෙනිංග්ස් මීට කදිම නිදසුනක් දක්වයි. කපා ඉවත් කරන පස් ප්‍රවාහනය කිරීමට යොදා ගත්තේ කුලියට ගත් කාන්තාවන් සහ ගොන් කරත්තය. කාන්තාවෝ පස් පිරවූ බදුන් බඳුන් හිස මතින් ගෙන ගොස් කරත්තයට දමති. කරත්තකරුවා එම පස් නියමිත තැනට ගෙන ගොස් දමයි. මේ නිසා යන්ත්‍රානුසාරයෙන් පැයක දී කළ හැකි වැඩකරේ හස්තානුසාරයෙන් කිරීමට දින කිහිපයක් ගතවේ. රජය මෙය සාධාරණී කළේ පශ්චාත් යුද සමයේ ඇති වී තිබූ ගැමි විරැකියාවට එක්තරා විසඳුමක් ලෙස එසේ කළ බවයි.

ප්‍රමාද වී හෝ පේරාදෙණියට කොළඹ සිටි ශිෂ්‍යයන් මාරු කිරීමේ ප්‍රථම අදියර තම ධූරකාලය තුළ එනම් 1952 ඔක්තෝබර් 6 වන දින ජෙනිංග්ස්ට කළ හැකි විය. එදින ශාස්ත්‍ර පීඨයේ සහ පෙරදිග අධ්‍යයන පීඨයේ සිටි ශිෂ්‍යයන් 820 කින් සමන්විත ශිෂ්‍ය පිරිසක් ඒ සඳහා විශේෂයෙන් පිළියෙළ කළ දුම්රියකින් පේරාදෙණියේ නව නේවාසිකාගාරවලට පදිංචියට ගියහ. විද්‍යා හා ඉංජිනේරු පීඨ ශිෂ්‍යයින්ට පේරාදෙණියේ ඉදිකල පීඨයන්ට යෑමට සිදු වූයේ තවත් වසර දහයකට පසුවය. එනම් ජෙනිංග්ස් පේරාදෙණිය හැර ගොස් වසර ගණනකට පසුවය.

මෙරට නිදහස ලබා ගැනීම ලබා ගැනීම සම්බන්ධයෙන් ජෙනිංග්ස්ගෙන් සිදු වූ සේවය දැන් සොයා බලමු. 1948 දී අපට නිදහස ප්‍රදානය කරන ලද්දේ අධිරාජ්‍යවාදයල සූරාකෑම වැනි නිසරු වදන් භාවිතයෙන් තොරව, දෙන දේ පිළිගෙන පසුව තව වැඩිපුර යමක් ඉල්ලා සිටීම ප්‍රතිපත්තිය කරගත් එංගලන්තයේ යටත් විජිත කාර්යාලය සමඟ සුහද සබඳතා පවත්වා ගැනීමට හැකි වූ ත්‍රෛයි සාමාජික මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීමට පුරුදු වූ පුද්ගලයන් තිදෙනකු විසින් වසර පහක් තිස්සේ ගෙනගිය එක්තරා ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් ලෙස බව දන්නේ ඉතා ටික දෙනෙකි. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක හා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ඩී. එස්ග සේනානායකල විගණකාධිපති ඔලිවර් ගුණතිලක සහ අයිවර් ජෙනිංග්ස් යනු ඒ තිදෙනාය. දෙවන ලෝක යුද්ධය පැවති කාලයේ ජපනුන්ගෙන් මේ රටට බෝම්බ හෙලීමේ තර්ජනයක් පැවතීම නිසා රටෙහි අභ්‍යන්තර ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය, ආහාර සැපයීම පාලනය සහ බෙදා හැරීම මනාව පාලනය කිරීමට 1941 දෙසැම්බර් 01 වැනි දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි කාර්යාලය කොළඹ යූනියන් ප්‍රදේශයේ බංගලාවක පවත්වාගෙන යනු ලැබීය. කූට බුද්ධිය, කාර්යක්ෂමතාවය හා මනා සංවිධාන ශක්තියක් සඳහා නමක් දිනා සිටි ඔලිවර් ගුණතිලක සිවිල් ආරක්ෂක කොමසාරිස් කොමසාරිස්වරයා ලෙස පත් කරන ලදී. 1942 මාර්තු මාසයේ ජෙනිංග්ස් නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් කෙරිණ. සිවිල් ආරක්ෂක කොමසාරිස්ට නිරන්තරයෙන්ම යුනියන් පෙදෙසින් බැහැරව සිටීමට නොහැකි වූ නිසාත් ආහාර සැපයීම පාලනය සහ බෙදා හැරීම කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ඩී. එස්ග ට අයත් විෂයයක් නිසාත් ඔහුට සිවිල් ආරක්ෂක කොමසාරිස් කාමරය තුළ, මේසයක් වෙන්කර තබන ලදිග අමාත්‍යවරයා සාකච්ඡා සඳහා දිනපතාම පාහේ සන්ධ්‍යාවේ දී එහි පැමිණ පැයක් පමණ එහි ගත කළේ ය. ජෙනිංග්ස් විශ්වවිද්‍යාලයේ රාජකාරි කටයුතු නිම කොට සිවිල් ආරක්ෂක නියෝජ්‍ය කොමසාරිස් ලෙස ඔහු වෙත යොමුකර ඇති ලිපි වල කටයුතු කිරීම සඳහා පැමිණියේ ද එම වේලාවට ම ය. රාජකාරි කටයුතුවල යෙදී නොසිටි අවස්ථාවන්හි රට මුහුණ දෙන වර්තමාන හා අනාගත ගැටලු පිළිබඳ සුහදව සාකච්ඡා කිරීම මේ තිදෙනා අතර සිරිතක් ව පැවැතියේ ය. ඔවුන් එක්ව වැඩ කළ වසර කිහිපය තුළ දී සේනානායකගේ සිත තුළ එක්තරා සිතුවිල්ලක බීජයක් පහළ විය. එනම් ගුණතිලකගේ සහ ජෙනිංග්ස්ගේ සහයෝගයෙන් ලංකාවට නිදහස ලබාගැනීම සඳහා උපාය මාර්ගයක් සැකසීම ය.

නිදහස සඳහා ඉන්දියාවේ ගෙන ගිය සටන්කාමී ක්‍රියාමාර්ගය මෙන් නොව බි්‍රතාන්‍ය යුධ ප්‍රයන්තයට පූර්ණ සහයෝගය දෙන අතර යුද්ධය අවසන් වූ පසුව සාමකාමී පෙළඹවීම් මඟින් ලංකාවට නිදහස ලබා දෙන ලෙස කරනු ලබන උද්ඝෝෂණවලට අනුකූලතාවයක් දක්වන ලෙස බි්‍රතාන්‍ය යටත් විජිත කාර්යාලය පොළඹවා ගැනීම එම උපාය මාර්ගයයි. ඩීග එස්ග මෙම උපායමාර්ගය අනෙක් දෙදෙනාට ඉදිරිපත් කරන ලද්දේ 1943 මැයි 26 වැනි දිනය. මේ සම්බන්ධයෙන් එංගලන්ත යටත් යටත්විජිත කාර්‍යාලයට යවන ලද ලිපි ලේඛන ඩී. එස්ග ගේ අත්සනින් යවන ලද නමුදු ඒවා තර්කානුකූලව කෙටුම්පත් කරන ලද්දේ ජෙනිංග්ස් විසිනි. බොහෝ අවස්ථාවල දී මේ සඳහා සාකච්ඡා කිරීමට එංගලන්තයේ යටත් විජිත කාර්යාලයට ඩී. එස්. ට හෝ ගුණතිලක යෑමට සිදුවිය. ඒ සෑම අවස්ථාවකම තිරය පිටුපස සිට උපදෙස් ලබා දීමට ජෙනිංග්ස්ට ද එහි යාමට සිදු විය.

සෝල්බරි කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන් ද නිදහසින් පසු ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඩී. එස්ග කර තිබූ නිර්දේශයන් ද ඇතුලත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කාර්යය ලංකාවේ අමාත්‍යවරුන්ට පැවරුණි. එම කාර්යය ද අදාළ ආරක්ෂක හා විදේශ ගිවිසුම් ද කෙටුම්පත් කරන ලද්දේ ජෙනිංග්ස් විසිනි. 1947 ජුලි මාසයේදී මාසයේ දී බි්‍රතාන්‍ය රජය ලංකාවට ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කිරීමට එකඟ විය. එහෙත් අදාළ විධිමත් ගිවිසුම් අත්සන් කිරීම ලංකාවේ නව කැබිනට් මණ්ඩලය පත් වෙන තුරු කල් තබන ලදී. ඒ අනුව 1947 නොවැම්බර් එකොළොස් වන දින ආණ්ඩුකාර සර් හෙන්රි මුවර් සහ ඩී. එස් සේනානායක විසින් අදාළ ගිවිසුම් ඔලිවර් ගුණතිලක සහ අයිවර් ජෙනිංග්ස් යන සාක්ෂිකරුවන්ගේ ඉදිරියේ අත්සන් කරන ලදී. ජෙනිංග්ස්ගේ විවාහ සංවස්තර දිනය යෙදෙන 1948 පෙබරවාරි 02 වැනි දින නිදහස ලද දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජෙනිංග්ස් කළ ඉල්ලීම ඩීග එස්. ට සම්පූර්ණයෙන්ම අමතක වී තිබුණි. පෙබරවාරි 04 නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ ඒ අමතක වීම නිසාය. මෙසේ 1948 දී අපට ලැබුණ ව්‍යවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාව ලෙස නම් කිරීම සාවද්‍ය ය. සෝල්බරි කළේ වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණි. එය ව්‍යවස්ථාවක් බවට පරිවර්තනය කරන ලද්දේ ජෙනිංග්ස් විසින් බැවින් එය හැඳින්විය යුත්තේ ජෙනිංග්ස් ව්‍යවස්ථාව යනුවෙනි. එහෙත් එයට බාධාවක් තිබේ. එනම් එහි කර්තෘත්වය ජෙනිංග්ස් භාර ගෙන නොතිබීම ය.

“ව්‍යවස්ථාවක් විනිශ්චය කළ හැකි එකම එක පරීක්ෂණය නම් එය හොඳින් ක්‍රියාත්මක වේද යන්න විමසීමය. හොඳම ව්‍යවස්ථාව වූවත් එය අකාර්යක්ෂම මෙහෙයවීම් තුළින් විනාශ කළ හැකි එකක් බවට පත්කළ හැකි වීමත් නරකම ව්‍යවස්ථාව වූවත් එය ක්‍රියාත්මක කරන්නන් විසින් පිළිගත හැකි එකක් බවට පත් කළ හැකි වීමත් නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ගෞරවය භාර නොගනිමි.” යනුවෙන් ඔහු ලංකාව හැර යෑමට පෙර ප්‍රකාශ කර තිබුණි.

ජෙනිංග්ස්ගේ විශ්වවිද්‍යාල උප කුලපති ධූරය වසර පහෙන් පහට දීර්ඝ කරන ලදී. එහෙත් තෙවෙනි ධූර කාලය සම්පූර්ණ කිරීමට වසර දෙකහමාරක් පමණ තිබියදී සිය ධූරයෙන් ඉල්ලා අස්වී 1955 ජනවාරි 17 වන දින මෙරටින් සමු ගත්තේය. ඔහු මෙරට සිටි කාලය තුළදී ඉතා කෙටි කාලයකින් එවකට පැවති ලංකා විශ්වවිද්‍යාල විද්‍යාතනය අංගසම්පූර්ණ ජාතික විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කොට එය පේරාදෙණිය මනරම් භූමි භාගයෙහි ස්ථාපනය කිරීමට ගත් වෙහෙස අපමණය. එවැනි වෙහෙසක් ගත හැක්කේ ආත්මාර්ථකාමීයෙකුට නොව පරාර්ථකාමීයෙකුට පමණි. ප්‍රථම වරට රටක විශ්වවිශ්වවිද්‍යාලයක් ආරම්භ කොට විධිමත්ව ස්ථාවරව පවත්වාගෙන යෑමට නම් ඒ සඳහා අනුගමනය කළ යුතු නීතිරීති සංඛ්‍යාව අපමණය. විශ්වවිද්‍යාල ප්‍රවේශ අවශ්‍යතා, විභාග අවශ්‍යතාල විභාග පක්ෂකවරුන් පත් කිරීමේ ක්‍රමවේදයල උපාධි අවශ්‍යතා, උපාධි ප්‍රදානෝත්සවය පටිපාටිය, ශිෂ්‍ය නේවාසිකාගාර හා විනය විශ්වවිද්‍යාල දේපල ආදී අනේකවිධ ව්‍යවස්ථා, නියමාවලි ආදී සියල්ල කෙටුම්පත් කරන ලද්දේ ජෙනිංග්ස් නැමැති තනි පුද්ගලයා උප කුලපතිවරයා ලෙස ඔහු අනුහස් (charismatic) නායකයෙකු විය. තනතුරට කෑදරකමක් කිසිදා ඔහු තුළ නොවීය. ලංකා විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර යෝජනාවලියේ කිසිම වැදගත් අංගයක් ප්‍රතික්ෂේප කරන ලද්දේ හෝ සංශෝධනය කරන ලද්දේ නම් වහා තනතුරෙන් අස්වී වී ආපසු යෑමට ඔහු තීරණය කර තිබීම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඔහු විශ්වවිද්‍යාල දේපල දේපළ අවභාවිතා කළේ නැත. ඔහු නියෝජ්‍ය සිවිල් ආරක්ෂක කොමසාරිස් ලෙස වසර තුනක් සේවයේ කළේ කිසිම වැටුපක් හෝ දීමනාවක් හෝ නොලබාය. එම රාජකාරි සඳහා ඔහු තම වාහනයට ඉන්ධන සපයා ගත්තේ තම පුද්ගලික මුදල් වලිනි. කොපමණ කාර්යබහුල පුද්ගලයෙකු වුවද ඔහු සැබෑ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියා පළ කිරීමට අමතක කළේ නැත. ඔවුහු මෙරට උපකුලපති ලෙස සේවය කළ කාලය තුළ තම විෂයට අදාළ නව ශාස්ත්‍රීය ග්‍රන්ථ 07 ක් ද කලින් පළකරන ලද ග්‍රන්ථ 05 ක නව සංස්කරණයන්හි මුද්‍රණයෙන් එළිදක්වා එළි දක්වා තිබීම ඔහුගේ සැබෑ ශාස්ත්‍ර වන්ත භාවයේ හා අසහාය බුද්ධියේ සංකේතයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ලංකා විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීමේදී ඔහු තුළ පැවති එක් ප්‍රාර්ථනාවක් ඉටු නොවීය. එනම් මෙම විශ්වවිද්‍යාලයෙන් බිහි වෙන උපාධිධාරීන් අතුරින් අනාගත ලංකාවේ රාජ්‍ය නායකයින් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිවනු දැකීමයි. එතෙක් මෙතෙක් එවැනි කිසිවකු බිහි නොවීමෙන් පෙනී යන්නේ මේ රටේ ඡන්ද දායකයින්ගේ දේශපාලන සාක්ෂරතාවය නගා සිටුවීමට විශ්වවිද්‍යාල පමණක් නොව සමස්ත අධ්‍යාපන පද්ධතියම අසමත් වී ඇති බවයි.

මේ අසහාය විද්වතා මෙරට හැරයෑම සමග ඔහු බිහි වූ ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ඔහු සාදරයෙන් පිළිගෙන එහි ට්‍රි‍නිටි හෝල් විද්‍යායතනයෙහි ප්‍රධානත්වය පිරිනැමීය. 1962 දී ජෙනිංග්ස් ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේම උප කුලපති තනතුරට පත්විය. පසුව ඔහු එහි ඉංග්‍රීසි නීතිය පිළිබඳ ඩවුනිං මහාචාර්ය තනතුරට පත්විය. 1965 දෙසැම්බර් 03 දින 62 වන වියේ දී ඔහු මෙලොව හැර යන විට ජ්‍යත්තන්කර තත්ත්වයේ නීති අධිකාරියක් විය.

කපිල ගුණසිංහ
[email protected]
සහකාර ලේඛකාධිකාරි, කොළඹ විශ්වවිද්‍යාලය

සර් අයිවර් ජෙනිංග්ගේ ශ්‍රී ලංකා භූමිකාව
advertistmentadvertistment
advertistmentadvertistment