මේ මගේ කතාවයි – අසිහියෙන් ලියූ සටහන්

146

සතුට

කවුරුහරි ඇහුවොත් මං කොයි ජාතියේ මිනිහෙක්ද කියල මං කියන්න කැමතියි මං තමයි ලෝකයේ සතුටින්ම ඉන්න මිනිහා කියල. මොකද මගේ අතේ පිච්චිය නෑ. පිච්චිය නැති එකට මං ස්තූති කරන්නෙ කපුටාට විතරක් නෙවෙයි, පිච්චිය සොරා කාපු, සොරා කන්න පසුබිම හදපු හැම එකාටම. පිච්චිය නැති එක කොච්චර සැහැල්ලුවක් වුණත් ඒකෙන් මං සතුටු වෙනවාම කියන්න බෑ. දැන් බස් එකේ යන්න වුණාම මං යන්නෙ හොරෙන්. හන්දියේ කඩේ ළඟදි සිගරට්ටුව අදින්නෙත් ණයට. ඒ මදිවාට සැරින් සැරේ අපේ කොල්ලා මොනවාහරි වුවමනාවක් කියල සල්ලි ඉල්ලුවොත් හැම විටම මං මුසාවාද ඇදබානවා. ඊයේ කොල්ලා අලුත් සපත්තු දෙකකට සල්ලි ඉල්ලනවා. මට කියන්න තිබුණෙ පරණ බණේමයි: “අපි ඉස්කෝලෙ ගියේ සපත්තු තියා සෙරෙප්පුවත් නැතිව ළමයෝ!” කොල්ලා ඉන් පසුබෑවේ නෑ. “දැන් සපත්තු දාලා නැතිව ඉස්කෝලෙට ඇතුල් වෙන්න දෙන්නෙ නෑ තාත්තෙ!” කොල්ලාටත් වඩා ගැලවෙන්න බැරි බිරින්දෑ එක්ක. “සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ මනුස්සයෝ!” ඉතිං යුද ප්‍රකාශ වෙනවා. ඉතිං එතන තමයි මගේ සතුට බිඳ වැටෙන එකම වෙලාව.

අර කිව්වා වගේ මං මගේ ජීවිතේ කවදාවත් සපත්තු දැම්මෙ නෑ. ඉස්කෝලෙ කාලෙ මට සපත්තු දාන්න ආසාවක් තිබුණා. ඒත් ගන්න වත්කමක් තිබුණෙ නෑ. ඉස්කෝලෙන් පස්සෙ රස්සාවකට ගියාම මට වත්කමක් තිබුණා. ඒත් එතකොට මට සපත්තු එපා වෙලා. මොකද අපේ කන්තෝරුවේ අධ්‍යක්ෂවරයා සපත්තු දැම්මා. ගණකාධිකාරිවරයා, ආයතන ලේකම්වරයා, පිරිස් කළමනාකාරවරයා යන ඔක්කොමල්ලාත් සපත්තු දැම්මා. සපත්තු දාලා ඔවුන් කථා කළේ මේ රටේ දේවල් නෙවෙයි. මේ රටේ දේවල් තමයි. ඒත් භූමියේ දේවල් නෙවෙයි. දැනුත් එහෙම නේද සපත්තු දාන මුත්තලා? කන්තෝරුවේ ලොක්කන් ගේ කල්කිරියාවත් සපත්තුවලට කොච්චර උචිතද කියල මට සැකයක් තිබුණා. ඔවුන් එක හොඳයි කළේ. ඔවුන් මාව එළියට දැම්මා. මට අධ්‍යක්ෂතුමා කිව්වා කැලණි ගඟෙන් මතු වුණු නා රජ්ජුරුවො සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරපු කතාව ගැන තිර පිටපතක් ලියන්න කියල. මං පිටපත ලිව්වා. ඒත් ඒ ලියද්දි මං හැමදාම කරපු වරද කළා. මං නා රජ්ජුරුවොන්ට ධාතූන් වහන්සේලා ගෙනත් දුන්නෙ කැලණියේ ලොකු හාමුදුරුවො කියල අතින් කෑල්ලක් එකතු කළා. ඉතින් පහුවදා මං වැඩට යද්දි ගේට්ටුව ළඟදිම මට මගේ අස්වීමේ ලිපිය ලැබුණා. ඔය සිද්ධිය මට එදා දුකට කරුණක් වුණත් අද මට ඒක සතුටට කරුණකුත් වෙලා තියෙනවා. මොකද දුම්පානයට හන්දියේ කඩේ ළඟට ගියාම ඉඳහිට මට කැලණියේ නා රජ්ජුරුවො ගැන මං ලියපු පිටපත කියවපු කට්ටිය ඉඳහිට හමු වෙනවා. එතකොට මං ණය නැතිව දුම විතරක් නෙවෙයි, මද්‍ය පානයත් කරනවා.

මගේ සන්තෝසය ඔය වගේ පොඩි පහේ දේවල් වුණත් මං හැම විටම කියන්නෙ මං තරම් සතුටින් ඉන්න මිනිහෙක් නෑ කියල. ඒක වරදක් නෙවෙයි. අන්දරේත් එහෙමනේ. හැබැයි අන්දරේලා නම් තවත් අපට එපා. මොකද දැන් හැම තැනම ඉන්නෙ අන්දරේලා. මට වෙලාවකට දුකයි ඇයි මට අන්දරේ කෙනෙක් වෙන්න බැරි වුණේ කියල. මොකද අන්දරේ තරම් සතුටින් හිටපු මිනිහෙක් මේ තුන් ලෝකෙ නෑ. නීරෝ ගැන අහලා තියෙනවානෙ. රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළාලු. නීරෝලා, අන්දරේලා ඔක්කොම එක ජාතියේ ශ්‍රේෂ්ඨ මිනිස්සු. අපි ඒ අතින් පයේ පෑගෙන දූවිලි තරම්වත් වටින්නෙ නෑ. දැන් බලන්න. අපි වටේ ගින්දර නැද්ද? අපි ඉන්නෙ ගිනි ගොඩක ගිනි පාග පාග. ගිනි පාගන්න දේවවරමක් ලැබුණ මිනිස්සු නෙවෙයි අපි. ඒත් අපි ගිනි පාගනවා. ගිනි කනවා. ගිනි තියනවා. ගින්නෙන් දැවෙනවා. දැවි දැවී අපි අරෙයාට මෙයාට දෙස්දෙවොල් තියනවා “මෙන්න මුන් අපිට ගිනි තිබ්බෝ!” කියල. අර පැත්තක ඉන්න මයිනා, කපුටාවත් ඒකට ඈඳ ගන්නවා. කොච්චර කැත මිනිස්සුද අපි! මං හිතන්නෙ අපි මේකට පිට අයට නෙවෙයි, අපිටම බැණ අඬගසාගන්න ඕන.

ඊයේ රෑ මගේ උගුරු දණ්ඩ හිර වුණා. මං හුස්ම ගන්න බැරිව හුඟ වෙලාවක් හිටියා. පස්සෙ මං දැනගත්තෙ මං මරු කියෙව්වා කියල. මං එහෙම කළේ ඇයි? මහසෝනාවත් දැක්කාද? නැත්නම් රීරි යකා? නෑ. මං මගේ ඔත්පළ වෙලා ඉන්න අම්මා බේතක් ගන්න විධියක් නැතුව ඇඳේ පණ අදිනවා දැක්කා. ඒ එක්කම මං ඉස්සර ප්‍රේම කළ යුවතිය ටවුමේ ගණිකා මඩමක ගනුදෙනුකාරයෙක් එක්ක හෙට්ටු කරනවා දැක්කා. අපේ පුතා නිල් චිත්‍රපටියක රඟපානවාත් දැක්කා. හීනෙන් දැකපුවා නෙවෙයි, ඇස් දෙකෙන් දැකපුවා. අන්තිමේ දොස්තර කෙනෙක් ඇවිත් මට බොන බෙහෙත්, ගාන බෙහෙත්, නහයෙන් අදින බෙහෙත් වට්ටෝරුවක් දීලා මගෙ හුස්ම ගත්තා. බෙහෙත් බිල දැක්කා නම් මගෙ හුස්ම ආයෙ හිර වෙන්නත් තිබුණා. ඒත් මං ඒක බලන එක බිරිඳට ඉතිරි කළා. එතකොට ඊළඟ හුස්ම හිරවිල්ල පස්සට කල් තබාගත්තෑකි. ඒ මොනවා වුණත් කියන්න ඕන මං සතුටෙන් ඉන්න මිනිහෙක්. මොකද අද අපි සතුට… සතුට… සතුට… කිය කියා යනකොට, හරියටම කීවොත් දුක සතුට කියල ගන්නකොට දුක දූරීභූත වෙනවා. අනෙක දුක කිය කියා දුක විකුණන්න ඕනකමකුත් නෑ මට. සත්‍යජිත් රායිටත් කිව්වානේ එයා දුක විකුණනවා කියල. පාතර් පංචාලිවල ආච්චි විඳින දුක් දකින්න ඇතිනෙ. ඒත් මං එහෙම කරන්නෙ නෑ. මං සතුට විකුණනවා. දැන් මං ඊයේ කෑවේ ලුනුයි බතුයි. ඒත් මං කාටහරි කියන්නෙ බාස්මතී එක්ක ඩෙවල් චිකන් එකක් ගත්තා කියල. මං මද්‍යපාන කරන්නෙ නෑ. ඒත් සමහර වෙලාවට යාළුවෙක් හම්බුණොත් මට පෙවෙනවා. එහෙම හරි නේද? බොනවා නෙවෙයි, පෙවෙනවා. මොනවාද පෙවෙන්නෙ? විස්කි? බ්‍රැණ්ඩි? වොඩ්කා? ස්කොෂ්? නෑ. කසිප්පු. මේ දැන් වෙල අයිනෙන් පෙරපු පෙරාපු රත්තරන් වගේ කසිප්පු. ඒත් කසිප්පු ගැහුවාට කියන්නෙ රෙඩ් වයින් ගැහුවා කියල. ඒකෙ වෙනසක් නෑනෙ. කසිප්පු – රෙඩ් වයින් දෙකම දියර. දෙකම බොනකොට බඩ පිච්චෙනවා. වැඩිම වුණොත් කසිප්පු එක්ක ගැරඬි සුප් එකක අමතර පෝෂණයක් ලැබෙන්න පුළුවන්. එච්චරයි.

වෙලාවකට මට හිතෙනවා සතුටින් ඉන්න හැටි ගැන කඩිනම් පාඨමාලාවක් කරන්න. සතියෙන් ඉංගිරිසි කථා කරවන පන්තියක් වගේ. එච්චර ඕන නෑ. අර යූටියුබ් චැනල් තියෙන්නෙ. එහෙම එකක් පහසුවෙන් පටන්ගන්න පුළුවන්නෙ. අද කාලෙ යූටියුබ් චැනල් කරලා කී දෙනෙක් ගොඩ යනවාද? මට කියන්න ඕන මෙච්චරයි. සතුට කියන එක තියෙන්නෙ අපේ හිතේ. මනෝ පුබ්බං ගමා ධම්මා…. දැන් මට අපේ ජනාධිපතිතුමා දැක්කාම ලොකු සතුටක් ඇති වෙනවා. මොකද මගේ හිතේ එතුමා ඉන්නවා. හිටනුත් ඉන්නවා. හිටන්ට කලින් උනුත් ඉන්නවා. ඉන්නවා කියන්නෙ ළඟ ඉන්නවා නම් මූණකට සමතලා කරනවා. මොකද මං මේ ගිනි පාග පාග සතුටින් උඩ පැන පැන ඉන්නෙ ඒ උතුමන්ලා හින්දා. උතුමාණන් වහන්සේලා හින්දා. උතුමාණන් වහන්සේලාගේ වහන්දෑලා හින්දා. දැන් බලන්න අර අඟහරුට යවපු රොකට් එක කොහෙද තියෙන්නෙ කියල. මං හිතන්නෙ ඒක දැන් අඟහරුවල වතුර තියෙනවාද, ඒකෙ අපට ගෙයක්දොරක් හදාගන්න පුළුවන්ද කියල ගවේෂණය කරනවා ඇති. ඉතිං එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. එකක් අඟහරුවල වතුර හොයනවා. අනෙක අපට සතුට ලබා දෙනවා. අපි මේ වින්දනය ලබන්න ඒ රොකට් එකත් කොච්චර දායක වෙලා තියෙනවාද?

ඇත්ත වශයෙන් මේක සංක්‍රාන්තික කාලයක්. උත්සාහ කරන්න මේ සංක්‍රාන්ති සමය විනෝදෙන් මත් වෙලා මැරෙන්නෙ නැතුව පණ ගැටගසාගන්න. දෙයියො අපිට සතුට දීලා තියෙන බව සැබැයි. ඒත් ඒක පරිස්සමින් පාවිච්චි කරන්න. විදුලිය ඉතිරි කරන්න. කී දෙනෙක් ඉන්නවාද විදුලිය හිතුමතේ පාවිච්චියට ඉඩ දෙන්න? මෙහෙම කාලවල සාමාන්‍යයෙන් සතුටක් කියල දෙයක් නෑ. ඒත් අපට තියෙනවා. ඒක තමයි පිං කෙත හෙළ රන් දෙරණේ මහිමය. පින්ලන්තෙට හැරෙන්නවත් පුළුවන්ද අපි එක්කෟ ඉතින් අපි මේ මොහොතේ කරන්න ඕන සතුටෙන් විනෝද වෙන ගමන් ජීවිතේ ආරක්ෂා කරගන්න එක. මොකද මේ උදා වෙලා තියෙන විනෝද සමය උලලේනාගේ රාත්‍රියෙන් වෙනස් නෑ. අපේ ඔල්වරසන් හඬ අස්සෙ අපට හැම මොහොතෙම ඇහෙන්නෙ උලලේනුන්ගේ මර ළතෝනිය. ඉතින් කියන්න තියෙන්නෙ පරෙස්සම් වෙයව් මිනිසුනේ!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment