ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තා නියෝජනය කැසෙන්ඩ්‍රා…

1299

ඔස්ට්‍රේලියාවේ මැතිවරණය බල වෙනසක් කරමින් අවසන්ව තිබේ. දශකයක් පුරා පැවති බලය වෙනසකට ලක් කරමින් නිමා වූ මෙවර ඔස්ට්‍රේලියා මැතිවරණය කරුණු කිහිපයක් විෂයෙහිලා ඉන් කිලෝමීටර් 6821 මෙහා දූපත් රාජ්‍යයක ජීවත්වන අපට වැදගත් වේ. අනුපිළිවෙළක් ලෙස නොවූවද ඉන් පළමු කාරණය වන්නේ මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති කාන්තාවකට එරට පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගැනීමට හැකි විමයි.

අපේ රටේ දේශපාලනය ජරාජීර්ණව ඇති මොහොතක ජනතාව විසින් දේශපාලකයන් කෙළ පිඩක් සේ ඉවතලන මොහොතක උපන් බිමෙන් දුරු රටක දේශපාලනයේ නිරතව මේ ජයග්‍රහණයට හිමිකම් කීවේ කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුය. ඇය තවමත් තිස්හතර වියැතිය. 1999 වසරේදී දෙමාපියන් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති ඇය හැදී වැඩෙන්නේ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු ඩැන්ඩිනොන් පළාතේය. අධ්‍යාපන සේවා අංශයෙන් මෙන්ම සත්කාරක සේවා පිළිබඳ එරටේදී ලැබූ උසස් අධ්‍යාපනයෙන් පසු කැසෙන්ඩ්‍රා පසුගිය වසර 15 පුරාම සේවය කළේ වූල්වොත් වෙළෙඳ ජාලයේ පේස්ට්‍රි සූපවේදිනියක් ලෙසය. පසුව මෙම ජයග්‍රහණය සඳහා අඩිතාලම වැටුණු ඔස්ට්‍රේලියාවේ වාමාංශික අදහස් නියෝජනය කරන කම්කරු පක්ෂයට එක්වන ඇය එහි ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වූවාය. පසුගිය කාලය පුරා ඇය පැමිණි එම ගමනේ සන්ධිස්ථානය වූයේ මෙවර ඔස්ට්‍රේලියා මහ මැතිවරණයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ හෝල්ට් අසුන සඳහා තරග වැදීමට කැසෙන්ඩ්‍රාට අවස්ථාව හිමිවීමය.

ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තා නියෝජනය කැසෙන්ඩ්‍රා…

කම්කරු පක්ෂයෙන් ඇය එම අවස්ථාව විවර කරගන්නා විට ඇගේ ප්‍රතිවාදියා වූයේද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයෙකි. ඔහු ලිබරල් සන්ධානයෙන් තරග වැදුණු රාන්ජ් පෙරේරාය. ඔහු ඡන්ද 10408 ක් පසු පස සිටිමින් කැසෙන්ඩ්‍රා හමුවේ පරාජයට පත්විය. කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු හෝල්ට් අසුන ජයගත්තේ ඡන්ද 39185 ක් ලබමින් ප්‍රතිශතයක් ලෙස සියයට 57.09 ක අගයක් සටහන් කරමින්ය. එම ජයග්‍රහණය ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ සටහන් වූයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරුණු පළමු ශ්‍රී ලාංකික කාන්තාව කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ලෙසය.

විදෙස් රටක වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීවත් වන රටක් ලෙස ද ඔස්ට්‍රේලියා මැතිවරණය අපට වැදගත්ය. මීට පස් වසරකට පෙර නිකුත් වූ වාර්තාවලට අනුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයව ඇති ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ තිස් හයදහසකට ආසන්නය. ඉන් වැඩි පිරිසක් ජීවත් වන්නේ කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මැතිවරණය ජයග්‍රහණය ලද වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර එම ප්‍රාන්තයේ සිටින සංක්‍රමණික ජන කොටස් අතරින් අටවැනි ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ය. මෙම ජනගහන සංක්‍රමණ ව්‍යාප්තිය කදිමට පෙන්වන්නේ එම ප්‍රාන්තයේම ස්කොලින් අසුනට ලිබරල් සන්ධානයෙන් තරග වැදීමට තවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයකු ඉදිරිපත් වීමයි. ඔහු විරෝෂ් පෙරේරාය. ඔහුට මෙවර මැතිවරණයේදී අසුනක් දිනා ගැනීමට නොහැකි වුවත් ඡන්ද 12543 ක් ලබාගැනීමට හැකි විය.

ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තා නියෝජනය කැසෙන්ඩ්‍රා…

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු උපන් බිමෙන් සංක්‍රමණයව මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ප්‍රමුඛ තරුණ ප්‍රජාව පාරට බැස දේශපාලනයේ වෙනසක් ඉල්ලන මොහොතක ය. වසර හැත්තෑ හතරක කාලයක් රටේ පාලනය හෙබවූ ලංකාවේ ධනවාදී සහ ඊනියා මධ්‍යම වාමවාදීන් ඇගේ උපන් බිම බංකොලොත් කර දැමූ මොහොතක ය. පවුල් කීපයක් අතර දෝලනය වන දේශපාලන බලය තවමත් එයින් මුදා ගැනීමට අපොහොසත් දූපත් රාජ්‍යයක ඉපිද සංක්‍රමණික පුරවැසියකු වුවද ඇය එවැනි තැනකට පත්වීමම වඩා වැදගත්ය. එසේම ධනවාදී බල කඳවුර පරදා කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියාවේ බලය හිමිකර ගැනීම ලෝක දේශපාලනය අතින්ද සුවිශේෂී කාරණයක්ය. කම්කරු පක්ෂය මේ මැතිවරණයේදී ආසන 72 ලබාගෙන ජයග්‍රහණය කර තිබෙන්නේ දශකයක් පුරා ඔස්ට්‍රේලියාවේ පාලනය හෙබ වූ ධනවාදී අදහස් ඇති කන්සවේටිව් ලිබරල් පක්ෂය පරාජය කරමිනි. බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමත් සමග පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂයක ආසන හතරක් එක්කර ගැනීමෙන් කම්කරු පක්ෂයට නව රජයක් පිහිටුවා ගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත.

විචාරකයින් පෙන්වාදෙන පරිදි ලිබරල් පක්ෂයේ මේ පරාජය සඳහා බෙහෙවින් බලපා තිබෙන්නෙ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් ගෙන ගිය දුර්වල ආර්ථික ප්‍රතිපත්තීන්ය. දිගින් දිගටම වැඩි වූ විරැකියාව, උද්ධමනය ඉහළ යෑම ඒ අතරින් ප්‍රධාන තැනක් ගෙන තිබෙන්නේ පසුගිය දශකයක කාලයේදී එරට දරුණු ආර්ථික පරිහානිය පෙන්නුම් කරමිනි. ඊට කොවිඩ් වසංගතය නිසි කළමනාකරණය කරගැනීමට අපොහොසත් වීම හමුවේ රටේ ආර්ථිකයට ප්‍රාණය දුන් පළාත් කීප වතාවක් වසා දැමීමට සිදුවීමත් හේතු වන්නට ඇතැයිද එම මතවල වැඩිදුරටත් සඳහන්ය.

මේ සියල්ල සමග පසුගිය කාලය පුරා ලෝක දේශපාලන විචාරකයන් පුරෝකථනය කර තිබුණු වැදගත් කාරණයක් ඔස්ට්‍රේලියාවේ දශකයක බල පෙරළිය තුළින් පෙන්වා තිබේ. ඒ පශ්චාත් කොවිඩ් සමය ලෝක දේශපාලන ආර්ථිකය නොසිතූ තැනකට ගෙන යන බව විචාරකයින් පළ කළ මතයයි. එය දැන් සිදුවෙමින් තිබෙන අයුරක් පෙනේ. එතෙක් ලෝකයේ බලය කේන්ද්‍රීයව පවතින යුරෝපය ප්‍රමුඛ දක්ෂිණාංශ බල කඳවුරේ බලය චීනය ප්‍රමුඛ වාමාංශික නැඹුරුවක් ඇති රටවල් කරාද ව්‍යාප්ත වෙමින් ඇත. වාමාංශික අදහස් ඇති කම්කරු පංතිය හා බද්ධව පවතින දේශපාලන පක්ෂවල ජයග්‍රහණ ඉකුත් කාලය පුරා බලවත් රාජ්‍යයන්වල සිදුවිය. බි්‍රතාන්‍යයේ කම්කරු පක්ෂයට මැතිවරණ ජයග්‍රහණයක් හිමිවය. තවත් රටවල පුරවැසියන් එවැනි දේශපාලන වෙනස්කම් සඳහා පෙළ ගැසෙමින් ඇත. ඔස්ට්‍රේලියාවේ ඇන්තනී ඇල්බනීස් නායකත්වයෙන් මග පෙන්වන කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුලාගේ කම්කරු පක්ෂය එම වෙනසට මුලපුරා ඇත. රටේ පුරවැසියන් ඉල්ලන එම වෙනස දියාරු කිරීමට බලයේ සිට මැතිවරණයෙන් පරාජය ලැබූ මොරිස් අග්‍රාමාත්‍යවරයා දේශපාලන සූදුවක නිරත වූවේද නැත. පුරවැසියන්ට හිරිකිත අප වැනි රටවල දේශපාලකයන්ට ඔහු අපූරු පණිවුඩයක් ලබා දී නික්ම යන්නේය. දශකයක පාලන බලය අත්හැරීමට සිදු වූ කම්කරු පක්ෂයේ ජයග්‍රහණයත් ස්වකීය මැතිවරණ පරාජයත් ගැන ඔහු මෙසේ කියන්නේය. ඔස්ට්‍රේලියාවේ ජනතාව යනු විශ්මිත ජන කොටසක්, මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

ඇය මෙන්ම ඉතාලියේ ද ශ්‍රී ලාංකික තරුණයකු පාර්ලිමේන්තුවට ගිය කතාව හයවැනි පිටුවෙන් කියවන්න

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment