සීතාවක යුගයේ බිහිවූ එකම ගද්‍ය කෘතිය අලකේශ්වර යුද්ධය ද?

264

පසුගිය සතියේ පළවු ලිපියෙහි ඉතිරි කොටස

සුභාෂිතය

සුභාෂිතය ඉතා ජනප්‍රිය ශතක කාව්‍යයකි. ශතක කාව්‍ය ගොන්නට වැටෙන මෙහි පද්‍ය 100 කි. ක්‍රි.ව. 1611 සුභාෂිතය ලියැවුණු බව ඇතැම් පිටපත් අග එන කවියකින් පෙනෙයි. ශාර්ගධර, කුවලයානන්ද, හිතොපදේශ වැනි සංස්කෘත ග්‍රන්ථ හා ද්‍රවිඩ ග්‍රන්ථ ආශ්‍රයෙන් මෙය ලියැවුණි. මෙහි “පින්මද පුතුන්…” (61) යන්න-

“වරමෙකොගුණි පුත්‍රො – නව මූර්ඛ ශතා න්‍යාපි එක ශ්වන්ද්‍ර මොහනති – නව තාරාගණා අපි-” යන්න ආශ්‍රිතයි.

18 කවවූ “නැගෙතත් අවරගිරගින්…” යන අදහස ගත්තේ.

“උදයති යදි භානුඃ – පශ්චිමෙ දශ් විභාගෙ ප්‍රචලති යදි මෙරුඃ – ශිතානඃ යාති වහ්නිඃ” යන ශ්ලොකයෙනි.

“කුරිරු ගොර සපුන්ගේ… යන 40 කව- “වෘශ්චිකස්‍ය විෂං පුචඡම් – මක්ෂිකාය විෂං ශීරඃ

තක්ෂකස්‍ය විෂං දංෂ්ට්‍රා – සර්වාංගං දුර්ජනෙ විෂම්” යන්න ආශ්‍රිතයි. කවියා තමා ගැන තොරතුරු 98-100 කවිවල කියයි. රාජසිංහ රජුගේ සෙවණේ වැඩුණු බව – ධර්මද්වජ පඬිතුමා ගැන තොරතුරු – තමා අන් කවීන් පැරදවූ බව ඒ අතර වෙයි.

කුන්ස්තන්තීනුහටන

මුල්ම හටන් කාව්‍යය වූ මෙය 1618-20 අතර රචිතයි. අන්තෝනි බරෙත්තු පරංගීන්ට විරුද්ධව ගැසූ කැරැල්ල ද සා මැඩලූ හැටි විස්තර වෙයි. කර්තෘ අප්‍රකටයි. ක්‍රිස්තු භක්තිකයකුව සිටි අලගියවන්න මෙය කළැයි මතයකි. සැවුල් සන්දේශයේ එන කවි රැසක් කොන්ස්තන්තීනුහටනේ එන බැවින් මෙය

අලගියවන්න ලියූවකි. (සි.සා.ව. 306 පිට). දහම්සොඬදාකව හා සුභාෂිතයේ කවි හා අදහස්

රැසක් ද මෙහි එයි (ලේඛක පරපුර 466-69 පිටු). එහෙත් කර්තෘ අවිනිශ්චිත ලෙස සැලකිය හැක (සිංහල හටන් සාහිත්‍යය 57-71 පිටු). පද්‍ය 175කි. මුල් පද්‍ය 3 ත්‍රිත්වයට නමැද අරඹා ඇති අතර පොත අග (172-173) ත්‍රිත්වය වර්ණනා වෙයි.

‘පරංගිහටන’ අලගියවන්නගේ යැයි එතත් සාධක නැත. II රාජසිංහ රජු පරංගීන් පැරදවූ හැටි විස්තර වෙයි. පද්‍ය 214 කි. අලගියවන්නගේ කෘති අනුගමනය කළ වෙන අයකුගේ කෘතියකි (සිංහල හටන් සාහිත්‍යය 77-82 පිටු).

අලගියවන්න ලියූ ‘නීතිසාරය’ යනු සුභාෂිතය ම දැයි සන්නස්ගල සැක කරයි (සි.සා.ව 304 පිට).

වෙනත් පද්‍ය පොත්

සීතාවක යුගයේ විසූ වික්‍රමසිංහ අදිකාරම් වැදගත් නායකයෙකි. වික්‍රමසිංහ යුද්ධවලදී දක්ෂ ලෙස සටන් කළ බව ‘කූටෝ’ කියයි. රාජාවලිය ඔහු ගැන සඳහන් කරන අතර සැවුල් සන්දේශය වික්‍රමසිංහ අගමැති බව කියයි. වික්‍රමසිංහ අදිකාරම් වර්ණනා කරමින් “වික්‍රමසිංහ අදිකාරම් වර්ණනාව” නම් ප්‍රශස්ති කාව්‍යයක් ලියැවුණි කොළඹ කටුගේ පු. පො. දර 660 “වික්‍රමසිංහ මුදලි කවි” නමින් එයි. රාජසිංහ රජුගේ අගමැති වූ ඔහුගේ සම්පූර්ණ නම සේනාරත්න සමරදිවාකර වික්‍රමසිංහ අදිකාරම්ය. මෙහි කවි 65 කි. ඔහු මෙහි සේනානායක වික්‍රමසිංහ, සබරගමු දිසාවේ ආදී පදවි වලින් හඳුන්වයි. රජු මේ ඇමතියාට කිරිවවුල, කොත්මලේ ගම් පිදූ බව එයි.

අලගියවන්නට දහම්සොඬදාකව ලිවීමට ආරාධනා කළ සමරදිවාකර මුකවෙටි මොහු විය හැක. (Sin. Lit. Goda-kumbure-PP 225-26) පසුකල රාජසිංහ රජු ඔහුට වස දී මැරවීය. (රාජා. 99 පිට).

මෙකල විසූ මුක්කර නම් ජනයා සමග කළ හටනක් විස්තර කරමින් “මුක්කරහටන” ලියැවුණි. (සි.සා.ව. 308 පිට) රාජාවලිය කියන පරිදි මනම්පේරි මොහොට්ටාල හෙවත් අරිට්ට කී වෙංඩු උපහාසයට ලක් කරමින් අතපත්තුවේ ආරච්චියා සීපද බැඳ සීතාවක වීදිවල කියැවීය (රාජා. 102 පිට). මින් පෙනී යන්නේ ගැමි උපහාස කවියේ නැගීමකි.

අලගියවන්නට පවා ගැමි කවි ආර බලපෑ හැටි කුසදාකවෙන් පෙනෙයි. සඳකිඳුරුදාකව ලිවූ විල්ගම්මුල හිමි සිටි දෙනගමු වෙහෙර යනු සීතාවක අවධියේ වූ සපරගමුවේ දෙල්ගමු වෙහෙර යැයි සන්නස්ගල කල්පනා කරයි. I රාජසිංහ රජුට වන්දිභට්ට කවීන් වූ බව සැවුල් සන්දේශය කියයි. මෙකල කවිකාර මඩුවක් ද විය. විත්ති-තුඩපත්-සන්නස්-පුවත්වල ආරම්භය මෙකලයි (උඩරට විත්ති – 84 පිට). රාජස්තූතිවන්නම් සීතාවක යුගයේදී බිහිවිය (සි.සා.ව. 295 පිට).

නැවත ලියවුණු පොත්

කෝට්ටේ අවදියේ තරම ලියවුණු සිදත් සඟරා සන්නයේ 1587 ලිවූ පිටපතක් කුණ්ඩසාල රජමහා විහාරයේ ඇත. සීතාවක රාජසිංහ රජුකල මනම්පේරි මොහොට්ටාල පැරණි රජයේ ලේඛන අභාවයට යා නොදී අලුත්වැඩියා කළ බව විත්ති කඩයිමක එයි.

ගද්‍ය කෘති

රාජරත්නාකරය ලීවේ සීතාවක යුගයේ වූ අභය රාජ පිරිවෙන්පති විල්ගම්පාය තෙරයයි සමහරු සලකති. (උඩරටවිත්ති – 86 පිටත සිංහලයේ ද්‍රවිඩ බලපෑම් – 101 පිටත සිංහල හටන් සාහිත්‍යය – 10 පිට) එහෙත් සිරිමා වික්‍රමසිංහ මෙය 16 සියවස මුල වීරවික්‍රම රජුකල ලියවුණු බව කියයි (අනු. යුගය, 22 පිට) ලක්ෂමන් එස්. පෙරේරා ද එය පිළිගනියි (U.H.C.P.I).

සීතාවක යුගයේ ලියවුණු එකම ගද්‍ය කෘතිය නම් ‘අලකේශ්වර යුද්ධය’යි. කොළඹ කටුගේ මෙහි පිටපත් දෙකකි. “ඥානාදර්ශය” නම් සඟරාවක මේ පොත කොටස් වශයෙන් පළවිය. බි්‍රතාන්‍ය කටුගෙහි ද මෙහි පිටපතක් ඇත. එහි නමක් නැත. ’Z වික්‍රමසිංහ මහතා මෙය රාජාවලියේ කොටසක් ලෙස වරදවා හැඳින්වීය. ඒ අනුව සර්. ඩී. බී. ජයතිලකද මෙය රාජාවලිය යනුවෙන් හඳුන්වයි. ලංකාවේ රජකු චීනයට අල්ලාගෙන යෑමෙන් පොත ආරම්භ වෙයි. පොතේ කර්තෘ, කාලය අප්‍රකටයි. රාජාවලියට මුල් වූයේ අලකේශ්වර යුද්ධයයි. රාජාවලියකරු සමහර තැන අකුරක් පාසා අලකේශ්වර යුද්ධය පිටපත් කර ඇත. මෙහි නිවැරදිව එන කරුණු රාජාවලිය ඇතැම්විට වරදවා දක්වයි.

එකල ව්‍යවහාර වූ වචන රැසක් අලකේශ්වර යුද්ධයේ එයි. “උඩප්පරන් කළහ, පෙරලී සමන්නා, දෙරිසනය, පඩත්තලයා, අඩුත්තු” එවැනි වචනයි. අලකේශ්වර යුද්ධයෙන් පොත ආරම්භ වන නිසා ඒ නම දුන්නා විය හැක. පොත පටන් ගන්නේ “තවද” යනුවෙනි. මෙහි ද්‍රවිඩ වචන හා පෘතුගීසියෙන් බිඳී ආ වචන රැසකි. සීතාවක යුගයේ එකම ගද්‍ය කෘතිය මෙයයි (අලකේශ්වර යුද්ධය ප්‍රස්තාවනා i – xvi පිටු). පොත අවසාන වන්නේ මෙසේ ය.

“ඒ ප්‍රස්ථාවට කොළඹ දියගු ද සිලූ කියන වික්‍රමසිංහ මුදලියාරුන් කොළඹ සිංහල හමුදාවත්, ප්‍රතිකානුන් ගොල්ලකුත් කොළඹින් පිටත්ව ඔරු තොටදී යුද්ධකර නැසීගියහයි දතයුතු”- (44 පිට).

සීතාවක අඳුරු අවදියේ ප්‍රසිද්ධ භික්ෂූන් කීප නමක් වුවත් ඔවුන් පොත් ලිවූ බවක් නොපෙනෙයි. “ක්ව්රෝස්” සඳහන් කරන බුද්ධවංශ තෙර, සැවුල් සන්දේශයේ එන දෙල්ගමුවෙහෙර, මහින්දාලංකාර තෙර හා සබරගමු වෙහෙර, ධර්මාලංකාර තෙර, රාජාවලියේ හා දෙවනගල ශිලා ලිපියේ (Beal-P. 59) සඳහන් රත්නාලංකාර තෙර ඒ අතර වැදගත්ය.

මහායාන බලපෑම

අලගියවන්න කවියට නැගූ දහම්සොඬ ජාතකය ජාතක පොතේ නැති – සංස්කෘත ජාතක මාලාවේ තුන්වැනි කතාවයි. ‘රසවාහිනි’ හා සද්ධර්මාලංකාරයේ ද මෙය එයි. ජාතක මාලාව මහායාන කෘතියක් ලෙස හැඳින්වීමට බැරි වුවත් එය මහායානිකයන් උසස්කොට සැලකූ පොතකැයි පරණවිතාන මහතා කියයි (The Mahayanism in Ceylon C.J.S.G. II) සුභාෂිතයේ “නොපණත් අය අනත… යන 66 කව ශාන්තිදේවගේ ‘බොධි චර්යාවතාරයේ’ කියතො මාරධි්‍ය නාමි… යන ශ්ලෝකය ආශ්‍රිතයි (ලක්දිව මහායාන අදහස් – 423 පිට).

පෘතුගීසි බලපෑම

සීතාවක සාහිත්‍යයේ පෘතුගීසි බලපෑමක් ද පෙනෙයි. අලකේශ්වර යුද්ධය, පෘතුගිසින්ට පක්ෂපාත සිංහල ක්‍රිස්තු භක්තිකයකු ලිවූ බව පෙනෙයි. ආරම්භය ක්‍රිස්තුස්වහන්සේට හෝ ත්‍රිත්වයට නමස්කාර කරන පාඨයක් තිබුණා නම්, පසු කල බෞද්ධ ලේඛකයන් ඒ කොටස ඉවත් කළා විය යුතුය (අලකේශ්වර යුද්ධය – ප්‍රස්තාවනා XIV පිට). අලකේශ්වර යුද්ධයේ පෘතුගීසි වචන ද යෙදී ඇත. ඒවානම් ප්‍රතිකාල්, විසුරේ, කප්පිත්තා, මෝරු, කඩදාසි හා සොල්දාදු ය. ‘කුන්ස්තන්තීනු හටන’

අලගියවන්නගේ යැයි සැලකේ නම් එහි 1, 2, 3 පද්‍ය ත්‍රිත්වයට නමදියි. 172-174 පද්‍ය යේසු නිරිඳුන් පිහිටපතයි.

ද්‍රවිඩ බලපෑම

සීතාවක යුගයේ වූ දහම්දද, අලගියවන්න දෙමළ උගතුන්ය. සුභාෂිතයේදී අලගියවන්න දෙමළ නොදන්නා අය නූගතුන් මෙන් සලකයි (සුභා-5). සුභාෂිතය ලිවීමේදී ද්‍රවිඩ ග්‍රන්ථ ඔහු ආශ්‍රය කළේය. ‘අව්වෙය්යාර්’ නම් කිවිවරිය ලිවූ ‘මුදුරෛ’ හා ‘නල්වලී’ නම් නීති ග්‍රන්ථ දෙකෙන් හා “නීතිවෙන්බා” නම් උපදේශ ග්‍රන්ථයෙන් ගත් අදහස් සුභාෂිතයේ එයි. සුභාෂිතයේ 44, 45 කවි වලට “මුදුරෛ” අදහස් ගෙන ඇත. සුභාෂිත 42 කවියට නල්වාලි – 22හි අදහස් ගෙන ඇත. සුභාෂිතයේ 95 ‘නිතීවෙන්බා’ හි අදහසකි. සුභාෂිතයේ 97, 77, 29, 46, 36, 76 යන පද්‍යවලට පිළිවෙළින් නීතිවෙන්බාවේ 19, 60, 64, 71, 87 28 ආශ්‍රිතයි (සිංහලයේ ද්‍රවිඩ බලපෑම් – 10 පරි. 100-111 පිටු). සුභාෂිතයේ – “තමන්හට නොසමයන් වන කලට සම” යන කව “නාලඩියාර්” VII-72 අදහසකි. I රාජසිංහ රජුට දෙමළ විරිදුකරුවන් වූ බව සැවුල් සන්දේශයේ එයි. ‘ආඬි මාලය’ ද්‍රවිඩ කාව්‍ය ආභාෂය ලැබූ උපහාස කාව්‍යයකි. අලකේශ්වර යුද්ධයේ දෙමළ වචන රැසකි. අට්ටාල, අඩුක්කු, නඩත්තු, වාඩි, වල්ලයිම (වල්ලෛයම්) දෝලි (තෝලි) දෙකට්ටුව (කට්ටුව) අංගම්පොර (අංගම්පෝර්) කාලතුවක්කු (කාල්තුවක්කු) උදාහරණයි.

සීතාවක යුගය සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අඳුරු යුගයකි. නිරන්තර යුද කලබල, රාජසිංහ රජු ශිවාගම වැළඳගෙන බුදුදහම, වෙහෙරවිහාර වනසා පොත්පත් විනාශ කිරීම සාහිත්‍යයට තද පහරක් විය. රාජසිංහ රජු පොත්පත් නිසා අපට අද වූයේ බලවත් පාඩුවකි. සීතාවකට එළිය දුන්නේ අලගියවන්න පමණකි. ඔහු ප්‍රතිභාපූර්ණ කවියකු නොවේ. පැරණි සිංහල පොත් කියවා ඉන් ලැබූ ආභාෂයෙන් පොත් ලිවීය. ඔහු මිනිස් සිත නමැති දියමත පිහිනූ ජීවිතය විනිවිද නුදුටු කවියෙකැයි මහැදුරු එදිරවීර සරච්චන්ද්‍රයන් කියයි (කල්පනාලෝකය – 60 පිට). පාද පූරණයට සුපසන්, එවර, පවර, සොබමන් වැනි සක්කපද යෙදීය. එහෙත් සීතාවක යුගය හා අලගියවන්න නම එකට ඇඳී ඇත.

● එස්. කේ. ජයවර්ධන
(1966 ‘සාහිත්‍ය’ සඟරාවට
ලේඛකයා ලියන ලද්දකි)

advertistmentadvertistment
advertistmentadvertistment