මැතිවරණ රොකට්ටුව ගුවන් ගතවන තෙක් අප අඳුරේය

835

රනිල් වික්‍රමසිංහ 2022 වසරේ ජුලි 21දා ජනාධිපති ධුරයට පත් වන විට මේ රට තිබුණේ පෝලිම් යුගයක බව අමතක නැත. අද මොන පෝලිමට ද යන්නේ හෙට කන්නේ මොනවාද අනිද්දා ජීවත් වෙන්නේ කොහොමද ආදී අතීශය බිහිසුණු වටපිටාවක තිබුණු එදා රට දැන් යන්තම් හුස්ම ගන්නට පටන් ගෙන වසරක් දෙකක් ගතවී අවසන් ය. ඒ අතින් බැලූ කල්හි ජනපති රනිල් ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා හොඳට වැඩ රාජකාරි සිදු කොට ඇති බව පැහැදිලිය.

ඔහු එදා ගනු ලැබූ ඇතැම් ජනප්‍රිය නොවන තීරණ හේතුවෙන් ජනතාවට අද කාබී ජීවත් වෙන්නට පරිසරයක් උදාවී ඇත. අද රටේ ඇත්තේ ජීවන වියදම් ප්‍රශ්නය ය. කොටින්ම කන්න තිබුණත් ඒවා ගන්න ජනතාව අත අද මුදල් නැති තරම්ය. මාසේ පඩිය අතට එන්නේම පහුගිය මාසේ ජීවත්වෙන්නට ගත් ණය තුරුස් ගෙවීමට ය. එවිට මේ මාසයේ කන්නට ද ණය විය යුතුය. දරුවන්ගේ වුවමනා එපාකම්, සහෝදර නෑදෑ හිතවතුන්ට යුතුකම් ඉටු කරන්නට නම් මාස දෙකකවත් පඩිය එක්වර ලැබෙන්නට වුවමනාය. ජනාධිපති රනිල් පත් වූ පසු කිව්වේම ඉදිරි සති දෙක තීරණාත්මක බවය. ඉන්පසුව ඊළඟ සති දෙක ද එසේම විය. ඊට පසුව එළඹි සති දෙක ද එසේම විය. එහෙත් ඉන් වසරක් එකහමාරක් ගත වී මේ ගෙවන සතියත් ජනතාවට ඉතා තීරණාත්මක ය. පාසල් යන දරුවන් සිටින පවුලක් නම් දෙමාපියන් යන්නේ හොම්බෙනි.

අප මේ කියන ආර්ථික අමාරුව ජනාධිපති රනිල් නම් හැඳින්වුයේ ආර්ථික වංකගිරියක් ලෙසය. එහි අප සියල්ලෝම අතරමං විය. එහෙත් පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීම සඳහා එක්වූ ජනාධිපති ජනතාවට ඊයේ කොළ එළියක් පත්තු කළේය. ඒ අනුව අප දැන් ඒ වංකගිරියෙන් එළියට එන්න ඔන්න මෙන්න ය. ඒ කතාවට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව මතට කඩා වැට්ටවූ ආර්ථික උල්කාපාතය ආ පිම්මේම රනිල් විසින් හරවා යවා ඇත්තේය. එසේ නම් අප මේ ගෙවා දමන්නේ ගෝඨාභයගේ උල්කාපාතයෙන් සිදු වූ තුවාල සනීප කර ගන්නා අවධියේය. එම නිසා එළවළු මිල වැඩිය. මස්, මාළු, කිරි, බිත්තර ගිනි ගණන්ය. නෑ ගමන් යන්නට අමාරුය. වයසක අම්මා, තාත්තාට බෙහෙත් හේත් අරංදෙන්නට නොහැකිය. පාසල් නිවාඩු තිබුණත් දරුවන් ටි්‍රප් එක්කන් යනවා තබා සිතන්නටවත් නොහැක. ඒ නිසා අප තුන් වේල තනිවේලට කා හෝ පණ කෙන්ද රැක ගත යුතු මොහොතකි මේ.

එලෙස තනි වේලක් කා හුස්ම රැකගත්තොත් ආර්ථිකය දැන්නම් හොඳටම හොඳයි යැයි කියා ජනාධිපති රනිල් විසින් නිල වශයෙන් නිවේදනය කර මාස තුන හතරකට පමණ පසුව අපට ලාබෙට තුන් වේල නොව හතරවේලක්ම යහමින් කන්න ලැබෙනු ඇත. අනුරාධපුරයට, යාපනයට, නුවරඑළියට බැරි නම් කොහේ හෝ සතුටින් ගිහින් එන්නට පුළුවන් ය. යහළුවන්ගෙන් ගත් ණය පොලිය එක්ක ද ගෙවා දැමිය හැකි වී උජාරුවෙන් ජීවත්වීමට හැකි කාලයක් උදාවෙනු ඇත.

අප මේ කියන කාලය ඉන්තේරුවෙන්ම මේ වසරේදී උදාවන බව නම් අපට පෙනෙන්නට තිබේ. ඒ අන් කවරක් නිසාවත් නොව මේ වසරේ ජාතික මැතිවරණ පවත්වන සහ පැවැත්විය යුතු වසරක් බැවිනි. එලෙස මැතිවරණ කාලය උදාවී ඡන්ද පොරොන්දු දෙන්න ගත් විට අපට ඉහත කී සෞභාග්‍යය උදාවනු ඇත. හද පිරි සතුටින් ඒ කාලය ගත වී යනු ඇත. එහෙත් ඒ සතුට උදා කර ගන්නට නම් විපක්ෂයේ කතා නොඇසිය යුතුය. විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කරනු ලබන ප්‍රකාශ ඒ කාලයේදී ඇසීම ස්වෙච්ඡාවෙන්ම තහනම් කර ගත යුතුය. ඒ කතා ඇසුවොත් අපට අර කී ත්‍රිල් එක නැතිවී වෙන වෙන අද්භූත සිතිවිලි පහළවී නැවතත් වංකගිරියේ අතරමංවී ගෝඨාභයගේ පාලන සමයට යෑමට සිදු වනු ඇත. එහෙම වුවහොත් රට යළිත් අවුලෙන් අවුලට පත් වී එදා මෙන් රාජපක්ෂලා නන්නත්තාර වෙනු ඇත. මැති ඇමැතිවරුන්ට ද යන එන මං නැතිවෙනු ඇත.

එම නිසා මේ සියල්ල දැඩිව සිත්හි ධාරණය කර ගනිමින් අපි ඉදිරි මැතිවරණ සමයට මුහුණ දීමට සිත හදා ගත යුතුය. විපක්ෂයට ද අපට මේ මොහොතේ පණිවුඩයක් දීමට ඇත. එය නම් අර පනතට විරුද්ධයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලේ යැයි කියමින් උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාරවල නිරත නොවන ලෙසය. කොටින්ම ආණ්ඩුවට එරෙහිව පාරට බැසීම නොකළ යුතුය. පාර්ලිමේන්තුවේදී විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව පොඩි සද්දයක් දැම්මාට කමක් නැත. එහෙත් ඒවා සැර වැඩිම නම් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළාට ප්‍රශ්නයක් නැත. මන්ද රට දැන් ඒ තිබූ ආර්ථික අහේනියෙන් මිදී අවසන්ය. ක්‍රමයෙන් සතුට -සෞභාග්‍ය උදාවන මොහොත එළඹෙන්නට නියමිතය. ඒ නිසා බොරු උද්ඝෝෂණ කර රට නැවතත් අවුල් කළ යුතු නැත.

ජනතාව ද ආණ්ඩුව මේ පෙන්වන පාර ඔස්සේ යා යුතුය. ඒ සඳහා ආසන පටි තද කරගෙන සූදානම්ව සිටීම වටී. ආණ්ඩුව කොයි මොහොතේ සෞභාග්‍යයේ රොකට්ටුව ගුවන් ගත කරයිද කියා අපවත් දන්නේ නැත. ඒ නිසා පෙර සූදානම අගනේය. මදක් නවතින්න… එතෙක් ඔබට ඉන්ටවල් එකක් ලැබෙනු ඇත. ඒ තවම ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැති නිසාය. මැතිවරණ රොකට්ටුව තවත් මාසෙකින් දෙකකින් ගුවන් ගත කරන විට ඔබට අප ඉහත කී සැප සම්පත් ලැබී පස්වනක් ප්‍රීතියෙන් ද පිනා යන්නට හැකි බව නොඅනුමානය.

advertistmentadvertistment
advertistmentadvertistment