රෝහලින් නිවසටද? මල්ශාලාවටද?

94

මේ දිනවල රජයේ රෝහල්හි ඖෂධ හිඟය, ප්‍රතිකාර කිරීමේදී සිදුවන අත්වැරදීම් ආදිය සම්බන්ධව දිනපතාම වගේ වාර්තා වේ.

රෝගීන්ට ලබාදුන් ප්‍රතිජීවක, එන්නත් වර්ග ආදිය අසාත්මික වීම නිසා මියයෑම්, සැත්කම් සිදු කිරීමේදී වෛද්‍යවරුන් අතින් සිදුවූ අත්වැරදීම් ආදිය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කිරීම නිසා රජයේ රෝහල් වෙත යන රෝගීන් තුළ ඇත්තේ දැඩි බියකි. රෝහලට ඇතුළත් වී ලෙඩේ සුවකර ගෙන නිරෝගීව යළි නිවසට යනවාද එසේත් නැති නම් ලෙඩේ වැඩි කරගෙන මරණයට පත්ව මල් ශාලාවක මිනී පෙට්ටියකින් යළි නිවසට යනවා දැයි යන අවිනිශ්චිත බවක් මතුව ඇත.

සෞඛ්‍ය යනු ජනතාවට ඉතා සංවේදී මාතෘකාවකි. අප සෑම කෙනෙක්ම රාත්‍රියට නින්දට යන්නේ උදෑසන යළි පිබිදීමේ අපේක්ෂාවෙනි. ඒ සඳහා අප නිරෝගීව සිටිය යුතුය. රෝගී වූ විට නින්දට යන්නේ දැඩි බියකිනි. යළි දෑස් විවර වේදැයි කියා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බහුතරයක් වූ රෝගීන්ගේ සිත්හි චකිතයක් පවතී. ඒ නිසා රෝහලේදී වෛද්‍යවරයා නිර්දේශ කරන සියලු ඖෂධ සහ ප්‍රතිකාර ලබා ගැනීමට අප කිසි මොහොතක පැකිලෙන්නේ නැත.

නමුත් මේ වනවිට වාර්තා වන සිද්ධීන් අනුව රෝගීන්ට වෛද්‍යවයා නිර්දේශ කරන ප්‍රතිකාර ලබා ගැනීමට චකිතයක් මතු වේ. මෙම ඖෂධය බාල වර්ගයේද? වෛද්‍යවරයා අතින් සැත්කම වරදීද? ආදී සැකයන් මතුව තිබේ.

මෙම සැකයන් අප සිත්හි ජනිත කරවා ඇත්තේ ද වෛද්‍යවරුන්ම පිරිසක් බැවින් එය වඩාත් දරුණු වී ඇත.

අප රටේ තවමත් රජයේ රෝහල්හි නිදහස් සෞඛ්‍ය සේවාව භූක්ති විඳින්නේ නැති බැරි අහිංසක ජනතාවය. ඇති හැකි අය පෞද්ගලික රෝහල් වෙත හෝ පිටරට රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා ගනිති.

මෙතෙක් කාලයක් රජයේ රෝහල්හි ප්‍රතිකාර සහ එහි ලබාදෙන ඖෂධ සම්බන්ධව ජනතාවට විශේෂ සැකයක් පැවතියේ නැත.

නමුත් දැන් එහි ඇත්තේ බාල ඖෂධ කියා මතයක් ගොඩනඟා ඇති නිසා දෙගිඩියාවක් මතුව තිබේ.

වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ අනුව කිසිදු ඖෂධයක් සියයට සියයක් අතුරු ආබාධවලින් තොර නැත. යම් පිරිසකට එහි අතුරු ආබාධ මතු විය හැකිය.

විශේෂයෙන්ම පෙනිසිලින් වැනි ඖෂධවල යුරෝපීය නිෂ්පාදන සහතිකයට අනුකූලව රෝගීන් දස දහසකින් දෙකත් හතරක් අතර (10,000:2-4) රෝගීන් පිරිසකට ආසාත්මික විය හැකිය.

සැත්කම් ද සෑම එකක්ම සාර්ථක නොවේ. දහසකට එකක් (1000:1) අසාර්ථක විය හැකිය.

ඒ නිසා රෝහලක සැත්කමක් සිදු කිරීමේදී හෝ අවදානම් සහිත පරීක්ෂණයක් සිදුකරන විට රෝගියාගේ කැමැත්ත ලබා ගනී. “මෙම සැත්කම සඳහා හෝ පරීක්ෂණය සඳහා යොමුවන්නේ මාගේ කැමැත්ත මත” යැයි සඳහන් කර අත්සන් කළ යුතුය. ඒ අනුව එහි වගකීම ද රෝගියාට පැවරේ.

කෙසේ වෙතත් රජයේ හෝ පෞද්ගලික රෝහලකට රෝගියෙක් ඇතුළත් වූ පසු රෝහලින් පිටව යනතුරු රෝගියාගේ සම්පූර්ණ වගකීම වෛද්‍යවරුනට සහ සෞඛය කාර්ය මණ්ඩලයට පැවරේ. අප බොහෝ දෙනා රෝහල්ගත වී දින දෙකක් තුනක් සිටින විට රෝහලින් පිටව යන්නට උත්සාහ කරති.

ඊට ප්‍රධානම හේතුව වන්නේ රෝහලේ ඇති සීමිත පහසුකම්ය. නමුත් වෛද්‍යවරයකු රෝගියකුට රෝහලින් පිටවයෑමට අනුමැතිය දෙන්නේ රෝගියාගේ රෝග තත්ත්වය සුව වී ඇති බවට සෑහීමකට පත්වූ පසුය. එසේ නොමැති නම් මාගේ කැමැත්ත මත රෝහලින් පිටව යන බවට රෝගියා රතු තීන්ත පෑනකින් ලියා අත්සන් කර පිටව යා යුතුය.

මෙවන් වූ සංවේදී සේවාවක් කිසියම් දේශපාලන අරමුණු වෙනුවෙන් අවිශ්වාසය ගොඩනැගීමට යමෙක් උත්සාහ ගන්නේ නම් එය අතිශය ඛේදජනකය. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ම ඒ සඳහා ක්‍රියා කරන්නේ නම් එය වඩාත් බරපතළය.

රෝහල් සේවාව සම්බන්ධව සියලු තීන්දු තීරණ ගන්නේ ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ද සැදුම්ලත් කමිටුවක් මගින් යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ඖෂධ ආනයනයේදී ද ඒ සඳහා නිර්දේශ ලබා දෙන්නේ ඖෂධ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුවක් විසිනි.

ලොව ඇති දරුණුතම මාෆියා ව්‍යාපාර අතර මේ වනවිට ඉහළින්ම සිටින්නේ ඖෂධ මාෆියාවය. මීට පෙර පැවැතියේ අවි ආයුධ මාෆියාවය. අද වනවිට එය ලොව අංක දෙක බවට පත්ව ඇත. එසේ වී ඇත්තේ එක් උණ්ඩයක් වැය කර ජීවිතයක් නැති කරනවාට වඩා එක් ඖෂධයක් මගින් ජීවිත ගණනාවක් විනාශ කළ හැකි බව හඳුනාගෙන ඇති නිසාය. එබැවින් ඖෂධ මාෆියාවේ නිරත ජාවාරම්කරුවෝ ඊට ගැලපෙන වෘත්තිකයන් තම ග්‍රහණයට හසුකර ගනිති. එහිදී වෛද්‍යවරු, පර්යේෂකයන්, නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු තම අරමුණු ඉටුකර ගැනීමට පහසු පුද්ගලයන්ට මුදල් ලබාදීම හෝ විවිධ වරප්‍රසාද ලබාදීම මගින් හෝ තම ග්‍රහණයට හසුකර ගනිති.

මේ වනවිට අප රට තුළ ද ඖෂධ නිෂ්පාදන සමාගම් ඇත. ඒවා දේශීය හවුල්කරුවන් සහ විදේශීය හවුල්කරුවන් මගින් නවීන තාක්ෂණය යොදාගෙන පවත්වාගෙන යති. මෙය ඇතැම් කූට ඖෂධ සමාගම් සහ වෙළෙඳුන්ට අවාසිදායකය. ඒ නිසා ඔවුන් අපගේ දේශීය ඖෂධ නිෂ්පාදනය කඩාකප්පල් කිරීමට උපක්‍රම යොදති. ඒ සඳහා ඇති හොඳම තුරුම්පුව බාල ඖෂධ යන ලේබලය ඇලවීමය. වසර ගණනාවක් රෝහල්හි භාවිත කළ සහ රෝගීන් සුවපත් කළ ඇතැම් ඖෂධ බාල ඖෂධ ලෙස විවිධ පාර්ශ්ව හරහා ප්‍රචාරය කරමින් තම ඖෂධ ජාවාරම පවත්වාගෙන යෑමට කටයුතු කරති.

අප රට තුළ ඖෂධ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට උත්සාහ කළ මහාචාර්ය සේනක බිබිලේ මහතා ද අකාලයේ මියයන්නේ මෙම ඖෂධ ජාවාරම්කරුවන්ගේ බිල්ලක් ලෙසය.

ඒ නිසා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා උගතුන් වූවන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. තමා නිරත වන වෘත්තිය තුළ අවිශ්වාසය ගොඩනැඟීමට උත්සාහ කරන්නේ නම් එය අතිශය කනගාටුදායකය.

වරදක් පෙන්වා දීම නොවලහා කළ යුතුය. නමුත් තම පටු දේශපාලන අරමුණ ඉටුකර ගැනීම සඳහා අසරණ රෝගීන් බිල්ලට නොගත යුතුය.

යම් වෛද්‍ය වෘත්තිකයෙක් ද එය සිදුකරන්නේ නම් වටහා ගත යුතු දෙයක් ඇත. එනම්, අද මා වපුරන බීජ හෙට මා අස්වැන්න ලෙස නෙළාගත යුතු බවය. එනම් තමාගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට වෛද්‍ය සේවාව අස්ථාවර කර ඉන් ජය ගත් පසු ජය පැන් බොන්නට තමා ද යා යුත්තේ එම අස්ථාවර වෛද්‍ය සේවාවටමය.

ඒ නිසා යමෙක් බාල ඖෂධ යැයි චෝදනා කරන විට හෝ රෝහලක් තුළ සිදුවන මරණයට හේතුව පරීක්ෂණයකින් පසු ප්‍රකාශ කිරීමට පෙර බාල ඖෂධ හෝ උපකරණ නිසා යැයි පදනම් විරහිතව කියන විට එසේ නම් ඒ සඳහා ඇති වඩා සුදුසුම විකල්පය ද ප්‍රකාශ කළ යුතුය.

එසේ නොමැතිව අවිශ්වාසය වපුරා යම් දිනෙක තමාට එහි විශ්වාසයේ අස්වැන්නක් නෙළා ගත නොහැකි බව සෞඛ්‍ය සේවාවට විවිධ චෝදනා එල්ල කරන දේශපාලනඥයන් ඇතුළු සියලු දෙනා වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් වටහාගත යුතුය.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරයා ද එහි නිසි බලධාරීන් ද වරදක් හමුවේ වහා ඊට ප්‍රතිචාර දක්වා නිවැරදි කළ යුතුය. එසේ නැතිව සැකය වර්ධනය වී බීජ හටගන්නා තුරු නිහඬව නොසිටිය යුතුය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment