13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළොත් රට බෙදෙනවා!

347

– මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා

පසුගිය 15 වනදාට යෙදී තිබුණු තෛයිපොංගල් උත්සවය සැමරීම සඳහා යාපනය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. එම උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඉදිරි වසර දෙක තුළදී 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය. එම ප්‍රකාශය පිළිබඳව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යනන්ද තිරණාගම මහතා පළ කළ අදහස් මෙසේය.

ප්‍රශ්නය – යාපනය ප්‍රදේශයේදී පැවැති තෛයිපොංගල් උත්සවයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව. ජනාධිපතිවරයාට එම සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර – 13 වන සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වූවා. එම නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවන් 9 දෙනකු සහභාගි වූවා. එම විනිසුරුවන් 9 දෙනාගෙන් 4 දෙනකු කිව්වා 13 වන සංශෛා්ධනය නිසා රටේ ඒකීයභාවය අහෝසි වන බවත්, රට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්වන බවත්, රට බෙදෙන බවත් සඳහන් කළා. එම නිසා එම විනිසුරුවන් ප්‍රකාශ කර සිටියා ජනමත විචාරණයකින් තොරව එම සංශෝධනය සම්මත කළ නොහැකි බව. නමුත් අනෙක් විනිසුරුවන් 5 දෙනා සඳහන් කළා 13 වන සංශෝධනය නිසා රට නොබෙදෙන නමුත් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති නොවන බව. ඔවුන් ඒ සඳහා දැක්වූ හේතුව තමයි ජනාධිපතිවරයා සතු බලතල. එම සංශෝධනය යටතේ ඉඩම් පිළිබඳ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඒ වගේම පොලිස් බලතල තිබෙන්නෙත් ජනාධිපතිවරයා සතුව. ඒ වගේම මුදල් බලතල තිබෙන්නෙත් ජනාධිපතිවරයා සතුව. ඊට අමතරව පළාත් සභා විසුරුවාහැරීමේ බලයත් ජනාධිපතිවරයා සතු වෙනවා. එම හේතු සාධකයන් ඉදිරිපත් කරමින් විනිසුරුවන් 5 දෙනකු පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති නොවන බවත් රට නොබෙදෙන බවත් එම නිසා ජනමත විචාරණයක් අනවශ්‍ය බවත් සඳහන් කළා.

එම අවස්ථාව වනවිට අග්‍රවිනිශ්චයකාරතුමා ලෙස කටයුතු කළෙත් දෙමළ ජාතිකයෙක්. ඔහු ඇතුළු 5 දෙනකු විසින් තමයි 13 වන සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අනවශ්‍ය බව සඳහන් කළේ. නමුත් වනසුන්දර, එල්. එච්. ද අල්විස් ඇතුළු 4 දෙනකු 13 වන සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව සඳහන් කළා. ඒ අනුව බහුතරයේ තීන්දුව අනුව ජනමත විචාරණයකින් තොරව 13 වන සංශෝධනය සම්මත කළා.

බහුතරයේ විනිසුරුවන් සඳහන් කළ දේ තමයි ජනාධිපතිවරයා සතු බලතල නිසා රට නොබෙදෙන බව සහ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති නොවන බව. ඒ සඳහා මම ඉහතින් සඳහන් කළ කරුණු 4 තිරිංග සේ ක්‍රියාකරන බව තමයි එම විනිසුරුවන් සඳහන් කළේ. දැන් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියන්නේ කුමක්ද? ඒ සඳහා අවශය වන්නේ මම ඉහතින් සඳහන් කළ පළාත් සභාව සම්බන්ධ ජනාධිපතිවරයා සතු බලතල ඉවත්කිරීම පමණයි. එම තිරිංග ඉවත්කළ විට රට සම්පූර්ණයෙන්ම ෆෙඩරල් කරණය වනවා. රට බෙදෙනවා.

ප්‍රශ්නය – ජනාධිපතිවරයාගේ තනි මතයට එම බලතල පළාත් සභාවට ලබාදීමේ හැකියාව පවතිනවාද?

පිළිතුර – දැන් එම බලතල තිබෙන්නේ ජනාධිපතිවරයා සතුව තමයි. අවශ්‍ය වන්නේ ආණ්ඩුකාරවරයා ලෙස තමන්ට හිතවත් පුද්ගලයකු පත්කර ගැනීම පමණයි. මෙතෙක් සිද්ධ වූයේ තිබෙන බලතල ලබා නොදීම පමණයි. මෙතෙක් බලයේ සිටි ජනාධිපතිවරු රට කැඩෙන නිසා එම බලතල ලබාදුන්නේ නැහැ. නමුත් මෙම ජනාධිපතිවරයා එම බලතල ලබාදෙනවාට එකඟයි. 2002 බලයට පත් වූ අවස්ථාවේදීත් එම බලතල ලබාදීමට උත්සාහ කළා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවෙන් ලබාදීමට සූදානම් වූ සුනාමි සහන මණ්ඩලයටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂව කටයුතු කළා.

ප්‍රශ්නය – 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට අවශ්‍ය වන්නේ නැද්ද?

පිළිතුර – ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ආර්. සම්බන්ධන් පැහැදිලිවම ප්‍රකාශ කරනවා ඒකීය රටක් තුළ පූර්ණ බලය බෙදීමකට ඔවුන් කැමැති බව. දැන් ව්‍යවස්ථාවේ ඒකීය බව සඳහන් වනවා. දැන් මේ සූදානම් වන්නේ ව්‍යවස්ථාවෙන් ඒකීය පාලනයෙන් ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරන්න. සම්බන්ධන්ලාට අවශ්‍ය වී තිබෙන්නේ උතුර සහ නැගෙනහිර ඔවුන්ගේ ප්‍රදේශ ලෙස වෙන්කර ගන්න. එම ප්‍රදේශයේ පාලනයට වෙන අයට සම්බන්ධ වෙන්න බැහැ.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළමුව සඳහන් කළේ 75 වන නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 04 වනදාට පෙර එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව තමයි. නමුත් පසුගිය තෛයිපොංගල් උත්සවය අමතමින් ප්‍රකාශ කළේ ඉදිරි වසර දෙක තුළදී 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව තමයි.ජනාධිපතිවරයා පළමුවෙන් සැලසුම් කළ කාලය වෙනස් කිරීමෙන් පැහැදිලි වනවා නේද මෙය පහසුවෙන් කළ නොහැකි කටයුත්තක් බව.

පිළිතුර – ඒ සඳහන් කරන්නේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව පමණක් නොවෙයි. මුස්ලිම් ජනතාවට මුස්ලිම් කලාපයක් ලබාදීමේ සැලසුම් තිබෙනවා. වතුකරයේ දෙමළ නායකයනුත් විවිධ ඉල්ලීම් කරනවා. 2004 දී රනිල් වික්‍රමසිංහ මහතා එම නායකයන්ගේ ඉල්ලීම් පිළිගනිමින් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. එම යෝජනා මාලාවේ සඳහන් වූවා දෙමළ නායකයන්ගෙන් අහන්නේ නැතිව වතුකරයේ ඉඩම් බෙදන්නේ නැති බව. ආරුමුගම් තොණ්ඩමන් ඉන්න කාලයේදී තමයි එම ඉල්ලීම් ඉදිරිපත් කළේ. එම ඉල්ලීම් පිළිගෙන තිබෙනවා. එම ඉල්ලීම පමණක් නොවෙයි ඉල්ලීම් 19 ක් ඉදිරිපත් කළා. උඩරට පළාත්වල සිංහලයන් පදිංචි කළ නොහැකි බව එම ඉල්ලීම්වල සඳහන් වනවා. ඒ වගේම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙමළ භාෂාවෙන් කටයුතු කළ යුතු බවත් එම කාර්යාලවලට දෙමළ නිලධාරීන් පත් කළ යුතු බවත් එම ඉල්ලීම්වල සඳහන් වනවා. එම සියලු ඉල්ලීම් ඉදිරි වසර දෙකක කාලය තුළ ලබාදෙන බව තමයි තෛයිපොංගල් දිනයේදී ප්‍රකාශ කරලා තිබෙන්නේ.

ඉදිරියේදී වතුකරයේ දෙමළ නායකයන් ස්වයං පාලනයක් ඉල්ලා සිටියොත් එකත් ලබා දේවි. නුවරඑළිය, මස්කෙලිය ප්‍රදේශයේ දැනටමත් ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ඒ විදියට තමයි. ආණ්ඩුවට ඕනෑම අවස්ථාවක දිස්ත්‍රික් මායිම් වෙනස්කිරීමට පුළුවන්. එම බලතල යොදාගෙන වතුකරයේ දෙමළ නායකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන්න පුළුවන්.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment