දේවාලමුල්ලේ මස් කඩයක් අසලදී ත්‍රිරෝද රියැදුරුගේ බෙල්ල කපා මරලා

916

ස්කූටියෙන් පැමිණි ඝාතකයා සොයා පොලිසියෙන් පරීක්‍ෂණ

බොරලැස්ගමුව පොලිස් වසමේ දේවාලමුල්ල ප්‍රදේශයේ පිහිටි මස් මාංශ අලෙවි කරන වෙළෙඳ සැලකට පෙරේදා (02 දා) රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු මස් මිලදී ගනිමින් සිට ඇත.

ඒ අවස්ථාවේදී රියැදුරු ත්‍රිරෝද රථයෙන් බැස සිටියදී එකවරම යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් මන්නයක් වැනි තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට කොටා පලාගොස් ඇති බවත්, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් බොරලැස්ගමුව පොලිසිය කියයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෘත්තියෙන් පෙදරේරුවකු වන 37 වැනි වියේ පසුවූ මාතර කඹුරු පිටිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන අවිවාහක අයෙක් බවත්, මියගිය පුද්ගලයා බෙල්ලන්විල, විහාර මාවත, ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයක තාවකාලිකව නැවතී සිට ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි. දවසේ රැකියා කටයුතු අවසන් වීමෙන් පසු දෙහිවල ගුවන් පාලම ආසන්නයේ පිහිටි හෝටලයක් පවත්වාගෙන යන හිමිකාර යුවළක් ඔහුගේ මිතුරන් වූ බැවින් දිනපතාම රාත්‍රී කාලයේ හෝටලයේ වැඩ කටයුතුවලටද උදව් උපකාර කරමින් රැඳී සිටින අයෙකි. එදිනද එලෙස එහි සිට ඇති බවත්, එම අවස්ථාවේදී හෝටලයේ හිමිකරු හා ඔහුගේ බිරිඳ මස් මිලදී ගැනීම සඳහා ජීවිතක්ෂයට පත් පුද්ගලයාට හිමි ත්‍රිරෝද රථයෙන් දේවාලමුල්ල ප්‍රදේශයේ පිහිටි මස් වෙළඳසැලට පැමිණ ඇත. එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි ඝාතකයා මෙම පුද්ගලයාට මන්නයෙන් කොටා පලාගොස් ඇති බව පොලිසිය කියයි.

තුවාලකරුව එම ස්ථානයේ සිටි පුද්ගලයන් විසින් සුවසැරියෙන් කළුබෝවිල රෝහල වෙත යොමුකළත් ඒ වනවිටත් ඔහු මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. ජීවිතක්ෂයට පත් පුද්ගලයා කිසිදු පාතාල ක්‍රියාකාරකමකට සම්බන්ධ නොවුණ අයෙකි. පෞද්ගලික ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇතැයි පොලිසිය සැක කරයි. බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පො.ප. මුදිත දල්පදාදු මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත අපරාධ අංශයේ උ.පො.ප. අසංක, පො.සැ. (68832) අමරසිංහ, පො.කො. වරුන් වන (94121) ඒකනායක, (88112) බුද්ධික, (92527) ප්‍රභාත්, (96878) වීරසිංහ යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment