ජ’පුර – මොරටු සරසවි විරෝධතාවලට කඳුළු ගෑස් – ජල ප්‍රහාර සිසුන් 5කට තුවාල

119

මුදලට වෛද්‍ය උපාධිය විකුණන වෛද්‍ය පීඨයක් හෝමාගම රෝහල් පරිශ්‍රයේ විවෘත කිරීමට ආණ්ඩුව කැබිනට් තීරණයක් ගෙන ඇතැයි කියමින් ඊට විරෝධය පළ කර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සිසුන් ඊයේ (03 වැනිදා) පස්වරුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

මෙහිදී ජල ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ඇද වැටුණු සිසුන් 5 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ‘දිවයින’ට පැවැසීය.

ආණ්ඩුව මෙම කැබිනට් තීරණය ක්‍රියාත්මක කළහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම කීය. කඳුළු ගෑස් ප්‍රහාරයන් හේතුවෙන් විශ්වවිද්‍යාලය අසල පිහිටි ශ්‍රී සෝරත මාවත මාර්ගයේ පිහිටි වෙළෙඳ සල්වල වෙළෙන්දෝ, මාර්ගයේ ගමන් ගත් පිරිස් හා නිවෙස් හිමියෝ ද දැඩි අපහසුතාවට පත්වූහ.

විරෝධතාව හේතුවෙන් සුනේත්‍රාදේවි බෞද්ධ මධ්‍යස්ථානය අසල පොලිසිය, කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් 200 කට අධික බල ඇණියක් පවුරක් සේ රැඳී සිටියහ.

මෙහිදී විරෝධතාව සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට නොගත් බව මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මේ අතර, විශ්වවිද්‍යාල සිසුන්ගේ තවත් විරෝධතාවක් විසුරුවා හැරීමට මොරටුව විශ්වවිද්‍යාල ආසන්නයේදී ද පොලිසිය ඊයේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment