වේයන්ගොඩ සියනෑ ගුරු විදුහල ඇතුළේ කසිප්පු ස්කාගාරයක්

570

නේවාසික ජල නළ කාර්මිකයා අත්අඩංගුවට

වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය පරිශ්‍රය තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් ඊයේ (11) පස්වරුවේ ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනිණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ ජලනළ කාර්මිකයකු බව පොලිසිය කියයි. එම සැකකරුගේ බිරිඳ සියනෑ ගුරු අභ්‍යාස විද්‍යාපීඨයේ සුළු සේවිකාවක් ලෙස සේවය කරන තැනැත්තියක බවත් ඇය ද අධ්‍යාපන විද්‍යාපීඨයට අයත් වෙනත් නේවාසිකාගාරයක නේවාසිකව සිටින තැනැත්තියක් වූ බවත් විමර්ශනවල දී හෙළිවී ඇත.

මෙම වැටලීම සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැකකාර පුද්ගලයකු පොලිසිය විසින් පරීක්ෂා කළ අතර ඔහු සන්තකයේ තිබී කංසා ග්‍රෑම් 2 ක් සොයා ගැනුණු අතර එම සැකකරු එහිදී අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගත් එම සැකකරු සියනෑ ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ කම්කරු සේවකයෙකු වේ.

ගම්පහ මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී පිරිමි නේවාසිකාගාර ගොඩනැඟිල්ලෙහි පිහිටි ගබඩා කාමරයේ සහ සේවක නේවාසිකාගාරයක් තුළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර ඇති බවට අනාවරණය වී ඇත.

මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් සේවක නේවාසිකාගාරය පීඨාධිපති වරයාගේ නිල නිවස්නය ආසන්නයේ ම පිහිටා තිබිණ.

මෙම අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රය තුළ කසිප්පු නිෂ්පාදනයට අමතරව එම කසිප්පු භාවිත කර ගල් අරක්කුවලට සමාන අරක්කු වර්ගයක් ද නිෂ්පාදනය කර ඇති බවත් එළැඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ දී මේවා අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම වැටලීමේ දී ගෝඩා මිලි ලීටර් 900,000 (ලක්ෂ නවයක්) මිලි ලීටර් 750 බැගින් කසිප්පු බෝතල් පහක් ඇතළු පෙරීමට යොදා ගන්නා උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගැනිණි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ගුණතිලක සහ පණ්ඩිතරත්න, පො. කො. වරුන් වන (75944) ලියනගේ, (102378) ජයවර්ධන, පො. සැ. රි. (62) රණසිංහ යන නිලධාරීහු වැටලීම සිදු කළහ.
ඉන්දික තුෂාර සහ වේයන්ගොඩ සිරිමෙවන් පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment