ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් එන වසරේ ජනාධිපතිවරණය ලැබේවි – ජී. එල්. පීරිස්

61

වත්මන් රජය මැතිවරණ භීතිකාවකින් පෙළෙන බවත්, මොන උප්පරවැට්ටි දැමුවත් ජනාධිපතිවරණය කල්දැමීමට නොහැකි නිසා එය වසරකින් පැවැත්විය යුතු බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (07 දා) පැවසීය.

ජනතා ගැටලු වෙනත් මඟකට යොමු කිරීමේ ආණ්ඩුවේ කූට උපක්‍රමයක් ලෙස 13 වන සංශෝධනය ගෙන ඒමට උත්සාහ කරන බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා පැවසීය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශපාලන පක්‍ෂවල යෝජනා ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය මගින් ලිපියක් යොමුකර ඇති බවත් එය ද ඇස්බැන්දුමක් බවත් ඒ මහතා කීය.

සර්ව පාක්‍ෂික සමුළුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා 13 වන සංශෝධනය සඳහා සහාය නොදක්වන බව ප්‍රකාශ කළ බව ද ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත අතර එහිදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද ඒ මහතා කීය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කඹඇදීම නිසා ගොවි පවුල් 50,000 ක් අනාථ වී ඇති බවත් ගොවි ජනතාවට අනිවාර්යයෙන්ම ජලය ලබාදිය යුතු බවත් පැවසූ ඒ මහතා එය රජයේ වගකීමක් බවත් කීය. හැම දේම ස්වභාවධර්මයාට භාර දෙනවා නම් ආණ්ඩුවකින් කිසිම ප්‍රයෝජනයක් නැති බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාකය විඳින්න සිදුවන්නේ ජනතාවට බවත් ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment