හිටපු කම්කරු ප්‍රධානීන් දෙදෙනකුට එරෙහි නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි – උසාවියට භාරවීමට නියෝග කළ කම්කරු ලේකම් තාමත් නිදැල්ලේ

1216
හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.ඒ.පී. විමලවීර මහතාට හා තවත් හිටපු කම්කරු කොමසාරිස්වරයකුට එරෙහිව තම අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත මින් ඉදිරියට තමන් හමුවේ කැඳවීමක් සිදුනොකරන බව හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම්දී ඇති බව වාර්තා වේ.

හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක මින් වසර හතරකට පමණ පෙර සිදුවූ හදිසි අනතුරකින් පස්දෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරියට එරෙහිව අසත්‍ය සාක්‍ෂි සකස් කොට හෝ නඩු පවරන ලෙසට කළුතර දිස්ත්‍රික් කම්කරු පරීක්‍ෂක ඉංජිනේරුවරයාට බලපෑම් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පෙර කී සැකකරුවන් දෙදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

දෙවන සැකකාර හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් ආර්. ඒ. පී. විමලවීර මහතා අත්අඩංගුවට ගැනීමට පසුගිය 24 වැනිදා නියෝග කළ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා එම නියෝගය දින හතක් ඇතුළත පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙසට ද නියෝග කොට තිබිණි. එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට පොලිසිය ආපොහොසත්වීම මෙන්ම එම නඩු කටයුත්තෙන් ඉවත්වීමේ නිදහස ඇති බව පෙන්වා දෙමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තමන් වෙත කර තිබූ දැනුම්දීමක් එලෙස එම නඩු කටයුත්තෙන් ඉවත්වීමට හේතු පාදකවී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර පානදුර මහාධිකරණය විසින් ද වහාම හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් භාර වන ලෙසට කම්කරු ලේකම්වරයාට පසුගිය 03 වැනිදා අවවාද කොට තිබූ නමුත් එම සැකකරු මේ දක්වා අධිකරණයට භාරවීමක් සිදුකර නොමැති බව ද පැවැසේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment