අවි ගත්තෝ සීදූවේ යකා නටති

370

කැඳ බොන්න ගිය පස් ව්‍යාපාරිකයාට වෙඩි තබා මරයි
වෙඩික්කරුවෝ දෙදෙනා මියගිය අය ‘ගම්පහ පද්මේගේ’ හා ‘පස් පොඩ්ඩාගේ’ හිතවතෙක්
කැඳ කඩේ කාන්තාවටත් වෙඩි වදී

වෙඩි තැබූ ස්ථානයේ හිස් මි.මී.9 පතුරම් කොපු 11ක් පස් බිස්නස් කරන කණ්ඩායම් දෙකක් අතර විරසකයක් ඩුබායි සිටින ‘ගම්පහ පද්මේ’ නමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකු යැයි කියන ගිහාන් නමැති පස් ව්‍යාපාරිකයා ඊයේ (23දා) උදේ 7ට පමණ සීදුව කොටුගොඩ මාර්ගයේ ගලිගන් එලිය හන්දියේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ ගිහාන් නමැත්තා කැඳ බීම අලෙවිසලක් වෙත ගොස් සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි පහරින් බරපතළ තුවාල ලබා රාගම රෝහලට රැගෙන යන අවස්ථාවේ දී මියගොස් ඇති බව ද පොලිසිය කියයි.

එම කැඳ කඩය පවත්වාගෙන යන 62 හැවිරිදි කාන්තාවට ද වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් ඇය ද රාගම රෝහලට ඇතුළත් කළ බව සීදූව පොලිසිය පවසයි.

රද්දොළුගම, ලාහුවල පාරේ පදිංචි කොටගෙදර ලියනගේ ගිහාන් කාංචන පෙරේරා නමැති 39 හැවිරිදි මියගිය අය 2018 වර්ෂයේ ජනවාරි මසදී ගම්පහ, බටපොත ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව තොරතුරු ලබා දීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිට පැමිණි අයකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. ඝාතනයට ලක්වූ අය බැකෝ යන්ත්‍ර සහ ටිපර් රථ යොදාගෙන පස් ව්‍යාපාරය සිදු කරන අයකු බව පොලිසිය පවසයි.

අවි ගත්තෝ සීදූවේ යකා නටති
වෙඩි තැබීමට තුවක්කුකරුවන් පැමිණෙන අයුරු.

මියගිය ගිහාන් මින් පෙර නාඳුනන තුවක්කුකරුගේ වෙඩි පහරින් මියගිය ‘පස් පොඩ්ඩා’ නමැත්තාගේ ද සමීපතමයකු බව ද පොලිසිය කියයි.

පස් ව්‍යාපාරය සම්බන්ධයෙන් ගම්පහ, කෙහෙල්බද්දර, කොටුගොඩ ඇතුළු අවට ප්‍රදේශ රැසක කණ්ඩායම් දෙකක් අතර කලක පටන් පවතින විරසකය මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. ගිහාන් නමැත්තාට වෙඩි තැබූ ස්ථානයේ තිබී 9 එම්.එම්. වර්ගයේ පිස්තෝලවලට යොදන හිස් පතුරම් කොපු 11ක් සොයාගත් බව ද පොලිසිය කීය.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය මත සීදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක,
කටුනායක- ආනන්ද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment