නව වසරේ පළමු මහා මංගල්‍යය

127

ආගමික වූත් පූජනීය වූත් ශ්‍රේෂ්ඨ වූත් කැලණි පුදබිමෙහි වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන දුරුතු මහා පෙරහැර මෙවර ද අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

1927 එවකට විහාරාධිපතීත්වය දැරූ පූජ්‍ය පාද ගරු මාපිටිගම ධම්මරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සේදවත්ත වලව්වේත් හෙලේනා විජයවර්ධන ළමාතැනියගේත් දොන් වෝල්ටර් විජයවර්ධන මැතිඳුන්ගේත් ප්‍රධාන දායකත්වයෙන් සහ සෙසු දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් ආරම්භ කළ මෙම පුණ්‍ය මහෝත්සවය තුළින් අප අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිහිපත් කරයි. උඳුවප් සිසිලස සමගින් උදාවන දුරුතු මාසය ලක් දෙරණට දහම් රසයත් දහම් සුවඳත් දහම් අවබෝධයත් ලැබුණු අතිඋත්තරීතර මාසයකි. එවැනි මාහැඟි පරාර්ථකාමී දිනයක් අනුස්මරණය කර ගනිමින් බුදු පා පහස ලද රමණීය කැලණි පුද බිමෙහි බුද්ධ වන්දනා පෙරහැරක් පැවැත්වීම බොදු බැති හදවත් පහන් කරවන්නකි. මීට දශක අටකට පමණ පෙර ඇරඹි මෙම පෙරහැර වසරින් වසර අතිඋත්කර්ෂවත් ආකාරයට පවත්වාගෙන එනු ලැබ ඇත. එදා සිට අද දක්වා මෙහි විහාරාධිපතීත්වය දැරූ සහ දරන සෙසු යතිවරයාණන් වහන්සේ වන පූජ්‍යපාද මාපිටිගම බුද්ධරක්ඛිත, වත්තල ශ්‍රී සීලරතන, තලේවෙල විජිත ධම්මරක්ඛිත සහ වර්තමාන විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත යන ස්වාමීන්වහන්සේ මෙමදුරුතු මහා පෙරහැරේ මෙන්ම විහාරස්ථානයේ ශ්‍රී විභූතිය ඇති කිරීමෙහිලා කැපව කටයුතු කළ බව මනාව පැහැදිලි වෙයි. ඒ වාගේම මෙම ශාසනික මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා පූජ්‍යපාද දෙණියායේ පඤ්ඤලෝක බුද්ධරක්ඛිත හිමියන් ද කැපව සිටීම සතුටට හේතුවකි.

නව වසරේ පළමු මහා මංගල්‍යය

ඉපැරණි හෙළ චාරිත්‍රවිධි අනුගමනය කරමින් උඩරට පහතරට සහ සබරගමු යන දේශීය නැටුම් සම්ප්‍රදායන් යොදාගනිමින් චිත්තාකර්ෂණීය ආකාරයට සිදුකරනු ලබන මෙම පුණ්‍ය මහෝත්සවය දේශ දේශාන්තරවල ජන හද බැඳගත් බොදු පින්කමකි. නව වසර උදාවත්ම දුරුතු මහා පෙරහැර පැවැත්වුවත් මෙහි මූලික පින්කම් කටයුතු ආරම්භ වන්නේ පූර්ව වර්ෂයේ ඉල් මාසයෙනි. එතැන් පටන් දෙමසකට වැඩි කාලයක් ලංකාවේ චිරප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ විසින් පවත්වනු ලබන සුමධුර දහම් දෙසුම් බැතිබර ජනතාවට මහත් අස්වැසිල්ලක් බව එම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පැමිණෙන සාධුදනන්ගෙන් මොනවට පැහැදිලි වේ. එකී දහම් දෙසුම් අවසානයේ තිස්පෑහතේ පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වෙන අතර ඉන් අනතුරුව විභීෂණ දෙවියන්ට ආරාධනා කිරීම අරමුණුකොට දේවදූත පෙරහැර පැවැත්වේ. අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහැරකින් දේවදූතයා ගම වටා ගමන් කර නැවත විහාරයට ගොඩවැදී රාත්‍රියේදී දොරකඩ අස්න පවත්වනු ලබති. දේවදූතයා විසින් පවත්වනු ලබන එම දොරකඩ අස්න ශ්‍රවණය කිරීමට බැතිමතුන් දක්වන්නේ මහත් උනන්දුවකි. එමෙන්ම ඊට පසු දින දෙදිනක් පුරා උඩමළුවේ පෙරහැර පැවැත්වේ. මේ සඳහා අලි ඇතුන් කීපදෙනකු ද රංගන කණ්ඩායම් කීපයක් ද යොදාගනු ලබන අතර බස්නායක නිලමෙතුමන්ලා විසින් සධාතුක කරඬුව දෝතින් වැඩම කරවනු ලබයි. මෙය වෙහෙර මළුවේ තුන්බෝධිය වටා තෙවතාවක් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව නිමාවට පත්වේ. පසුදා රන්දෝලි පෙරහැර පැවැත්වේ. මෙය මැද වීථියේත් ශුද්ධ නගරය වටා ඇති ගමන් මාර්ගය ඔස්සේත් ගමන් කරනු ලබන්නේ පෙරහැර නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත බැතිබර ජනතාවගේ හදවත් අමන්දානන්දයට පත්කරවමිනි.

නව වසරේ පළමු මහා මංගල්‍යය

පසුදා පහන්වනතුරු වීථි සංචාරය කෙරෙන මෙම පෙරහැර නිමවීමත් සමගින් දුරුතුපුර පසළොස්වක පොහෝ දින පෙහෙවස් සමාදන්වීම අරමුණුකොට කැලණි පුදබිමෙහි අතුරු සිදුරු නැතිව සැදී පැහැදී සිටින උවසු උවැසියන්ගේ දසුන බැති සිතට මහත් සැනසිල්ලකි. ඔවුන් නඟන සාධු නාදය සවන්පත්වලට මහත් සුවයකි. ආමිස පූජාවෙන් සහ ප්‍රතිපත්ති පූජාවෙන් පින්දම් පුරන සාධු දනන්ගේ මාහැඟි පුණ්‍ය ක්‍රියාවන් හා දුරුතු මංගල්‍යයේ අසිරිය රට වටා ලොව වටා පතුරුවා හරින්නට දේශීය විදේශීය මාධ්‍යවේදීන් කැලණි පුදබිම තුළ කඳවුරු බැඳ සිටිනු දැකීම බොදු සිතට මහත් ශක්තියකි.

නව වසරේ පළමු මහා මංගල්‍යය
විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

කල්‍යාණි පුරවරයේ ඉතිහාසය විමසුම් කිරීමේ දී විවිධ තත්ත්වයන් විද්‍යමාන වේ. මණිඅක්ඛිත නා රජුගේ වාසභූමිය වීමත් රාම රාවණා යුද්ධයට හිමිකම් කීමත් එකී යුද්ධය ප්‍රකාරව ‘විභීෂණ’ ගේ සිංහාසනාරූඪ වීම හා ඔහුගේ බලසම්පන්න දේව භවය වීම ද මෙන්ම චූලෝදර මහෝදර සටනට සහ සම්බන්ධතාවය ආදී බොහෝ තොරතුරු ගෙනහැරපායි. මේ අතර විශේෂත්වය වන්නේ මහරහතුන් සමගින් බුදුරජාණන්වහන්සේගේ තෙවන වර වැඩම කිරීම ය.

තවද රහත් තෙරනමක් උණු තෙල් කටාරමේ දමා මැරීම, මහ මුහුද ගොඩගැලීම, දේවි නම් කුමාරිකාව මහ මුහුදට පාකර හැරීම වැනි ඓතිහාසික සිදුවීම් තැතිගන්වනසුලු ය. එමෙන්ම කැලණිය දේශයේ ප්‍රකට, ප්‍රධාන, ප්‍රබල, ඉපැරණි අගනගරය බවට ද වංශකතා තුළින් මොනවට ගෙනහැර පායි. මේ අතර විවිධ රාජ්‍ය පාලකයන්ගේ පාලන ප්‍රදේශයක් මෙන්ම ආගමික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද අභිමානයෙන් ගොඩනැඟුණු කල්‍යාණි පුරවරය සෝලියස් මෙන්ඩිස් නම් ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියාගේ ඇඟිලි තුඩින් නිර්මාණය වුණු බිතුසිතුවම් ද කැලණියේ පෞරාණිකත්වය මතුකිරීමට මහත් පිටිවහලක් වී ඇත. එමෙන්ම කෝට්ටේ යුගයේදී ලියැවුණු සැළලිහිණි සංදේශය, මයුර සංදේශය, කෝකිල, තිසර, පරවි, හංස යන සංදේශ කාව්‍ය තුළින් ද මෙම පින්බිමේ රමණීයත්වය මොනවට කියාපායි.

මෙවන් ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන මෙම බුද්ධ භූමියේ පැවැත්වෙන බුද්ධ වන්දනා දුරුතු මංගල්‍යය බෙලෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් හා දෙවි රැකවරණින් දේශයේ සියලු දුක් කරදර දුරු වී අසමගිය දුරු වී සාමය සමගිය සහජීවනය උදාවන්නට මෙය මහත් ශක්තියක් වේවායි යන්න පරම පැතුමයි.

කැලණියේ නන්දලාල් සමරවීර

advertistmentadvertistment
advertistmentadvertistment