දරුණු ආර්ථික අර්බුදයක් මැද ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට අයවැයක් ඉදිරිපත් කළා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ගෝලීය දකුණේ හඬ” රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමින් කියයි

107

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය පසුගිය 17 වැනිදා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි. දෙවැනි වරට පැවැත්වූ මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදී ආරම්භ වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නායකයින් රැසක් ඊට එක්ව සිටියහ. සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කළ ආරාධනයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සංවිධානය කරමින් ඉන්දියාව සිදු කරන කාර්යභාරය ද අගය කළේය.

පළමු වරට පැවැත්වූ ගෝලීය දකුණේ හඬ සමුළුවේ වැදගත්කම පිළිබිඹු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නායකත්වය සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ප්‍රමුඛතා කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා එමඟින් ඇති වූ ධනාත්මක බලපෑම අගය කළේය. ඉන්දියාවේ සභාපතිත්වය යටතේ පැවති ජී20 සමුළුවේ සාර්ථකත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ ප්‍රධාන ප්‍රමුඛතා සහ විවිධ ගැටළු හඳුනාගැනීමට එමගින් හැකි වූ බවද සඳහන් කළේය.

පසුගිය වසරේ පැවති පළමු සමුළුවේදී, ආර්ථික ගැටළු, එනම් ණය පියවීමේ දුෂ්කරතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සඳහා පවතින සීමිත ප්‍රවේශය වැනි ගෝලීය දකුණ විසින් මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව තමා දැක්වූ අදහස්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ජී20 රටවල් අතර පාලමක් ලෙස ඉන්දියාව ක්‍රියාකිරීම සහ බහුපාර්ශ්වික ආයතනවලින් හා සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවලින් මේ සඳහා බාහිර ආධාර අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද සඳහන් කළේය. මෙහිදී ණයගැතිභාවය පිළිබඳ ගැටලු‍වේ සංකීර්ණත්වය වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මේ සඳහා තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර සහයෝගීතාවක් ඇති කර ගත යුතු බවද සඳහන් කළේය. අනාගතය දෙස බලමින් දිගුකාලීන වර්ධනයක් සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැදගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ආර්ථික වර්ධනයේ දී මෙන්ම ඵලදායී රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණයේ දියුණුව අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment