දඩල්ලේ හෝටලයක් ඉදිරිපිට පිය පුතු දෙදෙනාට වෙඩි තැබීමට සම්බන්ධ 4ක් අල්ලයි

807

පාතාලයේ අයිය මලෝ හබයේ අතුරු ඵලයක්

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ තරුපහේ හෝටලයක් ඉදිරිපිටදී පෙරේදා (18 දා) පස්වරුවේ පිය පුතු දෙදෙනකුට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම වෙඩි තැබීම සඳහා වෑන් රථය කුලියට ගත් පුද්ගලයන් දෙදෙනා හා වෑන් රථය වෙඩික්කරුවන් වෙත රැගෙන ගොස් ලබාදුන් දෙදෙනෙකි. සැකකරුවෝ සිව්දෙනා හබරාදුව හීනටිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 හා 36 අතර වියේ පසුවන අය වෙති. වැගන්ආර් වර්ගයේ රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම පිය පුතු දෙදෙනාට මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. වෙඩික්කරුගේ ඉලක්කය වැරදීම නිසා මෙම වෙඩි තැබීමෙන් පිය පුතු දෙපළට කිසිදු අනතුරක් වී නැත.

මේ පිය පුතු දෙදෙනා උණවටුන මැටරඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පෙරේදා පස්වරුවේ පුතාගේ යතුරුපැදියට අමතර කොටස් කිහිපයක් මිලදී ගැනීම සඳහා පියා පුතු සමග ත්‍රිරෝද රථයකින් ගාල්ල නගරයට පැමිණ ඇත. එම අවස්ථාවේ දඩැල්ල ප්‍රදේශයේ තරුපහේ හෝටලයක රැඳී සිටින විදේශිකයන් දෙදෙනකු රැගෙන යෑමට එන ලෙස පියාට දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඔහු පුතු සමග ත්‍රිරෝද රථයෙන් මෙකී සුපිරි හෝටලය ඉදිරිපිටට පැමිණ ත්‍රිරෝද රථය නතර කොට මාර්ගයට පැමිණි අවස්ථාවේ වෑන් රථයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා ඔවුන්ට වෙඩි තබා ඇත. මොවුන්ට වෙඩි වැදී නොමැති අතර පසුව පිය පුතු දෙපළ ත්‍රිරෝද රථයෙන්ම ගාල්ල පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිලි කොට ඇත. පුත්‍රයා 14 හැවිරිදි වියේ පසුවන අයෙකි.

දඩල්ලේ හෝටලයක් ඉදිරිපිට පිය පුතු දෙදෙනාට වෙඩි තැබීමට සම්බන්ධ 4ක් අල්ලයි

දැනට විදේශගතව සිටින පාතාලයට සම්බන්ධ අයියා මලෝ දෙදෙනකු අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෙම අයියා මලෝ දෙදෙනා මිනීමැරුම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කොට ඇති අය බවද පොලිසිය පවසයි. මුල් කාලයේ මෙම අයියා මලෝ දෙදෙනා එක්ව අපරාධ සිදුකර ගෙන ගොස් ඇති බවත්, පසුව දෙදෙනා විරසකව ඇති අතර මේ වන විට දෙදෙනාම විදේශගත වී සිටින බවත් පොලිසිය පවසයි. පාතාලයට සම්බන්ධ අයියා මලෝ දෙදෙනාගේ ගෝලයන් මේ වනවිට දෙපිල බෙදී ගැටුම් ඇති කර ගනිමින් සිටින බවද, පාතාලයට සම්බන්ධ මේ දෙදෙනාගෙන් අයියාගේ ගෝලයෙකුට මල්ලීගේ ගෝලයින් විසින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව ද පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී එක් උණ්ඩයක් පොලිසිය මගින් සොයාගෙන ඇත. වෑන් රථයෙන් පැමිණි වෙඩික්කරු හා වෑන් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්, අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment