අංගොඩ තිදරු මව ඝාතනය: දෙදෙනාම එකතු වී හිස සහ අත්පා වෙන්කර පාලම අසලින් ඇළට දැම්මා

1598

පාපොච්චාරණය කළ සැකකරු සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

අංගොඩ, රෝහල් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තමවිට ගුරුගේ ප්‍රදීපා සිල්වා නමැති පනස් දෙහැවිරිදි තිදරු මව ඝාතනය කර ඇයගේ හිස හා අත්පා ශරීරයෙන් වෙන්කොට මළසිරුර වගුරු බිමක දැමීමේ සිද්ධිය සම්බන්ධව පොලිසියට භාර වීමෙන් පසුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කළ ප්‍රධාන සැකකරු හා ඔහුගේ සගයා පෙරේදා (05 වැනිදා) පස්වරුවේ නැවත මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී විනිසුරුවරිය නියෝග කළේ මොවුන්ව 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමටයි.

එසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සියඹලාපේ – දකුණ, මාහේන පාර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන බී. ජී. සුධීර (53) හා ඔහුගේ සගයා වන සියඹලාපේ – දකුණ, සමෘද්ධි මාවතේ පදිංචි කපුවෙකු වන ජී. ආර්. රෝහිත කුමාර (48) යන දෙදෙනාය.

මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 02 වැනිදා පස්වරුවේ නීතිඥයන්ගේ මාර්ගයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත පැය 48 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පෙරේදා (05 වැනිදා) නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙසේ රඳවාගෙන ප්‍රශ්න කළ කාලයේදී මේ සැකකරුවන්ගෙන් ඝාතනය සිදුකළ ආකාරය සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. මෙහිදී ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා වන බී. ජී. සුධීර (53) පොලිසියට පවසා තිබෙන්නේ, ඝාතනයට ලක්වූ කාන්තාව තමාට කරදරයක් බවට දෙවන සැකකාර කපුවා වන ජී. ආර්. රෝහිත කුමාරට පැවසූ බවත්, ඒ අවස්ථාවේ මම කාන්තාවට වැඩක් කරන්නම් සර්… එයා එක්කර ගෙන එන්න කියා කීවූ බවත්ය. මේ අනුව ඉකුත් 27 වැනිදා මේ කාන්තාව කඩුවෙලට ගෙන්වා ගෙන එතැන් සිට තම මෝටර් රථයෙන් සියඹලාපේ – දකුණ මාහේන ප්‍රදේශයේ තිබෙන තමාට අයිති දෙමහල් නිවෙසට එක්කර ගෙන ආ බවට ප්‍රධාන සැකකරු තවදුරටත් පවසා ඇත. මේ අතර දෙවැනි සැකකාර කපුවා වන ජී. ආර්. රෝහිත කුමාර (48) පොලිසියට කියා සිටියේ ඉකුත් 27 වැනිදා දහවල් නිවසට සර් සමග කාන්තාව ආවා. පසුව කාන්තාව නිවස තුළ ඇති කාමරයෙන් පිටතට එනවිටම මා ඇයට මන්නයකින් කොටා මරා දැම්මා. එතකොට වෙලාව දහවල් 11ත් 12ත් අතර ඇති. පසුදින (28 වැනිදා) අලුයම් කාලයේ අපි දෙන්නා කාන්තාවගේ හිස හා අත්පා සහ කඳ කොටස උර දෙකකට දමා මෝටර් රථයෙන් ගොස් ගලහිටියාව පාලම අසලින් ඇළට දැම්මා. පසුව අපි ගාල්ලට ගිහින් ඇයගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප කීපයක් අරන් පිරිස නොමඟ යවන්නට කීප දෙනකුට ඒවා වට්ස්ඇප් දමා එම ජංගම දුරකථනය ගාල්ල ප්‍රදේශයේ පාලමකින් වීසිකළා. ඝාතනය කළ මන්නය මල්වාන දොම්පේ මාර්ගයේ පහුරුඔය පාලම අසලින් ඇළට දැම්මා. පසුව අපි මෝටර් රථයෙන් නුවරඑළිය ප්‍රදේශයට ගිහින් විහාරස්ථානයක මෝටර් රථය තබා අපි ආවා. මෙම කාන්තාව ඉකුත් 27 වැනිදා උදෑසන අංගොඩ, රෝහල් පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් වෙළෙඳ සැලට යන බවට පවසා යෑමෙන් පසුව අතුරුදන් වී තිබිණ. මේ වනවිට මළසිරුර රාගම මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර තවම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන දිනයක් තීරණය කර නැත. මේ පිළිබඳව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඔසිත ලංකා ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. වරුන් වන ඩී. පී. එස්. එල්. මුතුකුමාරණ, එන්. ඒ. නිශ්ශංක, පො.සැ. වරුන් වන පෙරේරා (32560), චමින්ද (478), පුෂ්පකුමාර (55713), කුමාර (71453), ජගත් (50820), අමිල (70992) හා කා.සැ. ජයකොඩි (6228) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment