අන්තරේට කැලණියේදී කඳුළු ගෑස්

243

සිසුහු සරසවිය ඉදිරිපිට රැලියක් පවත්වති
පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්‍ෂ පරම්පරාවයි – ෆොන්සේකා රැලිය අමතමින් කියයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනට ඊයේ (04 වැනිදා) සවස පොලිසිය කැලණිය දළුගම ප්‍රදේශයේදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ ට පැවැසීය.

කිරිබත්ගොඩ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් පා ගමනක් ආරම්භ කළහ. එම පා ගමන කිරිබත්ගොඩ දෙසට ගමන් කරන අවස්ථාවේ පොලිසිය මාර්ග බාධක යොදා තිබිණි.

අන්තරේට කැලණියේදී කඳුළු ගෑස්
අන්තරේට කැලණියේදී කඳුළු ගෑස්

සරසවි සිසුන් ඉදිරියට පැමිණීමේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට වූ අතර පසුව පොලිසියට ‘හූ’ කියමින් දිවගිය සරසවි සිසුහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල එම රැස්වීම පැවැත්වූහ.

ත්‍රස්ත පනත යටතේ සිරගත කළ වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත වහා නිදහස් කරනු යනුවෙන් පුවරුවක සඳහන් වී තිබිණි.

“පැහැර ගැනීම් සිරගත කිරීම් නවතනු”, “සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු”, “රනිල් රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු”, “ජල අයිතීන් වෙනුවෙන් සටන් වදිමු” වැනි වැකි සහිත පුවරු අතැතිව ඔවුහු විරෝධතා රැස්වීමට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ කීය.

“ නාමල් රාජපක්‍ෂ කියනවා අරගල කරපු තරුණ තරුණියන්ව පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. අරගල කරපු තරුණ තරුණියෝ නෙමෙයි පුනරුත්ථාපනය කරන්න ඕනේ. මේ රට විනාශ කරපු රාජපක්‍ෂ පරම්පරාවයි. මෙතන විරෝධතා පා ගමනේ දරුවන්ට පොලිසිය කරපු දේ ඔක්කොම මම දැක්කා.”

ජෝෂප් ස්ටාලින් මහතා –

“මේ අයට ජනතාවට සහන දෙන්න බැහැ. උඹලගේ මර්දන නීති රටේ ජනතාවට හරියන්නේ නැහැ. නාමල් උඹලා ගෙදර යන දවස වැඩි ඈතක නැහැ.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධම්මික සල්වතුර සහ මංගලා මදුරප්පෙරුම – කැලණිය

advertistmentadvertistment
advertistmentadvertistment