ලියාපදිංචි නැති සමාගමකට ගල් අගුරු ටෙන්ඩරය දීලා

312

සහභාගි වූ නිලධාරීන්ට වසරක් ප්‍රසම්පාදන කටයුතු
තහනම් කළ යුතුයි – මුදල් කමිටු සභාපති හර්ෂ කියයි

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට 2022-2025 කාලය සඳහා ගල්අඟුරු මිලදී ගැනීම රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව සිදු කර නොමැති බවට විගණකාධිපතිවරයා විසින් විමර්ශනය කර ඇති බවත් එබැවින් මෙම කටයුතුවලට සහභාගි වූ නිලධාරීන්ට ප්‍රසම්පාදන කටයුතු සඳහා සහභාගී වීම වසරකට තහනම් කළ යුතු බව මුදල් කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.

“නොරොච්චෝල ලක්විජය බලාගාරයට 2022-2025 කාලය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමට අදාළව විගණන වාර්තාව මා ගාව තිබෙනවා. ගල්අඟුරු අවුරුදු 03කට මිලදී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදන කටයුතුවලට අනුව ටෙන්ඩරය ලබාදීම බ්ලැක් සෑන්ඩ් කියන සමාගමට දී තිබෙනවා. ඒක ලියාපදිංචි වෙලා නැති සමාගමක්. ලියාපදිංචි නොවුණු ආයතනයකට මේ ටෙන්ඩරය දුන්නේ කොහොමද? මේක අපට විමර්ශනය කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ නිසා ඒ විමර්ශනය විගණකාධිපතිට කරන්න කියලා ඉල්ලීමක් කළා. ඔහු ඒ අනුව විමර්ශනය අප කියන්නත් කලින් ආරම්භ කර තිබුණා. ඔහු විගණන වාර්තාවක් මගින් සඳහන් කර තිබෙනවා මෙම ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව සිදු වී නෑ කියා. විගණකාධිපතිවරයාගේ ඒ සියලු නිරීක්ෂණ මම දැන් සභාගත කරනවා.

මෙහි කෙටුම්පතක් මුදල් කමිටුවට ඉදිරිපත් කළා. අපි ඒ ගැන සාකච්ඡා කළා. ඒත් කිසිම දෙයක් මාධ්‍යයට දුන්නේ නෑ. පසුව අපි ඒ කෙටුම්පත අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළා. අමාත්‍යාංශ ලේකම්වරයා විගණකාධිපතිවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවා. ඊට පස්සේ තමයි මේ අවසන් වාර්තාව ඉදිරිපත් කළේ යැයි ද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

මෙහි නිර්දේශ කිහිපයක් තිබෙනවා. අපට ආරංචියි මේ ටෙන්ඩරය දැනට කෑන්සල් කරලා කියලා. නමුත් නිර්දේශ ලෙස මූලිකව සඳහන් කරලා තිබෙන්නේ මේ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පාර්ශ්ව රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරැදිව ඉටු කරන බවට තහවුරු කිරීම හා එම තත්ත්වයෙන් බැහැර වන පාර්ශ්වයන්ට එරෙහිව සුදුසු ඉදිරි පියවර ගැනීමයි. ඒ ආකාරයට තවත් නිර්දේශ තිබෙනවා. විගණකාධිපතිවරයාගේ නිර්දේශවලට අමතරව අප තවත් නිර්දේශවලට එළඹුණා. ඒ තමයි මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගී වූ සාමාජිකයන්ට අවම වශයෙන් වසරක හෝ කාලයකට ප්‍රසම්පාදන කටයුතු අත්හිටුවිය යුතු බවට. මුදල් කමිටුවෙන් මීට පෙර මෙහෙම නිර්දේශයක් ලබා දීලා නෑ. මේක වැදගත් නිර්දේශයක්. මෙය ක්‍රියාත්මක කරන්නේ රජය. කරුණාකරලා ඒ නිර්දේශය ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා-

මෙම සිදුවීම ගැන ඉක්මනින් විමර්ශනය කරලා වාර්තාවක් ලබා දීම ගැන අපි මුදල් කමිටුවට ස්තූතිවන්ත වෙනවා. මුදල් කමිටුව නිර්දේශයක් ලබා දීලා තිබෙනවා. එවැනි නිර්දේශයක් දීමට කලින් ඒ ප්‍රසම්පාදනයේ නිරත සාමාජිකයන්ටත් ඇහුන්කන් දෙන්න ඕනා. ඒකමතික තීරණයක් ගන්න කලින්. මොකද ඒ නිලධාරීන්ට යම් අසාධාරණයක් වෙයි. ඒ වගේම මීට වඩා ඒ ගැන පරීක්ෂණයක් කරන්න. මේ මුදල් කමිටුවට ප්‍රසම්පාදන නිලධාරීනුත් කැඳවා ඒ අයටත් උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment