ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය රජයට පවරා ගන්න නිර්දේශ කරන්න

352

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විගණකාධිපතිගෙන් ඉල්ලයි

ඒ.එස්. ඇඹිලිපිටිය පෞද්ගලික ඩීසල් බලාගාරය රජයට පවරා ගැනීමට නිර්දේශ කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

ඉන්ධන මිල සූත්‍රය ගැසට් නොකිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවීම, ඒ.එස්. ඇඹිලිපිටිය ඩීසල් බලාගාරය රජයට පවරා ගැනීමට අවශ්‍ය විගණන වාර්තා ප්‍රමාද කිරීම, සීනි බදු වංචාවට සම්බන්ධ අය නිසි ලෙස හෙළි නොකිරීම, අධික ගෑස් මිලක් නියම කර ඇති මොහතකදී හෝ රජයට සම්බන්ධ ගෑස් සමාගමවත් විගණනය නොකිරීම යන තේමා ඔස්සේ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පසුගිය අගෝස්තු විසිපස් වැනිදා නීතිපතිවරයාට චෝදනා පත්‍රයක් භාරදී තිබුණි. ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඊයේ සංජීව ධම්මික මහතා කැඳවා තිබූ අතර එසේ නීතිපතිවරයා හමුවීමෙන් පසු ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම කරුණු සඳහන් කළේය.

ඔහු මෙසේ ද කීවේය.

2018 කැබිනට් සංදේශය අනුව 2021 වර්ෂයේ දී ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දිය යුතු බවට වූ තීරණය නොසලකා හැර ඇති බව අපි අද

විගණකාධිපතිවරයාට පෙන්වා දුන්නා. එමෙන්ම නීති විරෝධී ලෙස අවුරුදු තුනක් තිස්සේ එම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම පිළිබඳව නිසි විගණනයක් සිදු වී නොමැති බවද අපි අද නීතිපතිවරයාට කිව්වා.

අදාළ බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති මූලික විගණන වාර්තාව අවුරුදු දෙකක් තිස්සේ ප්‍රමාද කර ඇත්තේ ඇයි දැයි යන්න විගණකාධිපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් අපි අද විමසා සිටියා. එය හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විගණකාධිපතිගේ නියෝජිතයන් එහිදී පොරොන්දු වුණා. එම කාලය කොපමණ කාලයක් යන්න ප්‍රශ්න කිරීමේ දී ඒ සඳහා තව මාස තුනක් අවශ්‍ය බව ඔවුන් පැවසුවා.

ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය පිළිබඳව විගණන වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් අදාළ ගනුදෙනුව දිගින් දිගටම සිදුව පැවතීම නිසා මේ වන විට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන දහදාහකට අධිකයි යැයි ද සංජීව ධම්මික මහතා පැවසීය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment