ඊශ්‍රායලයේ – පලස්තීනයේ මොකද වෙන්නේ

856

ප්‍රවීණ විදෙස් විත්ති විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ඊශ්‍රායලයේ - පලස්තීනයේ මොකද වෙන්නේ

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා උද්ගත වූ ඊශ්‍රායල පලස්තීන ගැටුමෙහි අක්මුල් අද ඊයේ ඇති වූවක් නොවේ. එය මීට වසර 75කට පමණ පෙර නිර්මාණය වූ මෙතෙක් කල් නොවිසඳුණු ප්‍රශ්නයක්. 1948 මැයි 14 වැනිදා ඊශ්‍රාලය නමැති රාජ්‍යයක් පලස්තීන භූමිය තුළ ස්ථාපනය කිරීමත් සමග මෙම ගැටුම ආරම්භ වුණා. බ්‍රිතාන්‍ය කියන්නේ මේ ලෝකයට විශාල හානියක් කරපු රාජ්‍යයක්. 1917 නොවැම්බර් 2 වැනි දා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් බැල්ෆර් ස්වාමිවරයා බ්‍රිතාන්‍යයේ ජීවත් වූ යුදෙව් නායකයකු වූ රොත්ස්චයිල්ඩ් හට ලිපියක් යවනවා. එහි සඳහන් වූයේ අපි පලස්තීනයේ යුදෙව්වන් වෙනුවෙන් දේශයක් නිර්මාණය කර දෙනවා යනුවෙන්. මෙම ලිපියේ සඳහන් වූයේ වචන 67ක් පමණයි. නමුත් අද ඇති වී තිබෙන ඊශ්‍රායල පලස්තීන ගැටුමට උපත ලබා දුන්නේ මෙම වචන හැට හතයි. බැල්ෆර් ප්‍රකාශනය ලෙස පසු කලෙක ප්‍රසිද්ධියට පත්වූයේද මෙම ප්‍රකාශනයයි.

මේ කාලය වන විට පලස්තීනය, සිරියාව, ලිබියාව වැනි අරාබි භූමි ප්‍රදේශ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට යටත් වෙලා තිබුණා. ඔටෝමන්වරු පැරදවීමට බ්‍රිතාන්‍යයට අරාබි රටවල් උදව් කළහොත් ඔවුන්ට අහිමි වූ ප්‍රදේශ ආපසු ලබා දීමට කටයුතු කරන බවට බ්‍රිතාන්‍යන් පැවසුවත් එම යුද්ධය ජය ගැනීමෙන් අනතුරුව ඔවුන් එසේ සිදුකළේ නැහැ. ඔවුන් 1919 දී පලස්තීනය පාලනය කිරීමට අධිකාරි පත්‍රයක්ද ලබාගන්නවා. පසුව යුරෝපය පුරා සිටි යුදෙව්වන් ගෙන්වා පදිංචි කරන්න පියවර ගන්නා බ්‍රිතාන්‍යයන් පලස්තීනුවන් පිළිබඳ තැකීමක් කළේ නැහැ. මුල් කාලයේ දී පලස්තීන ජනගහනයෙන් 90%ක් පමණම සිටියේ පලස්තීන අරාබි මිනිස්සු. නමුත් හිට්ලර් විසින් යුරෝපයේ යුදෙව්වන් කෲර ලෙස ඝාතනය කිරීම ඇරඹීමත් සමඟ විශාල වශයෙන් යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමණය වීම ඉහළ ගියා. ඒත් සමග පලස්තීන ජන සංයුතිය බරපතළ ලෙස වෙනස් වුණා. එසේ තමන්ගේ මව්බිම අහිමිවීම පලස්තීනුවන්ට ඉතාමත් වේදනාකාරී වුණා. පලස්තීනුවන් විසින් මීට විරෝධය දැක්වුවත් බ්‍රිතාන්‍යයන් එය මර්දනය කළා. නමුත් 1947 දී බ්‍රිතාන්‍යයන් විසින් තමන් ඇති කරපු මෙම ගැටලුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට භාර දුන්නා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවකින් පලස්තීනය දෙකඩ කර දෙපාර්ශ්වය අතර බෙදා වෙන් කිරීමට සම්මත වෙනවා. එහිදී 30%ක් 35%ක් පමණ වන යුදෙව්වන්ට පලස්තීන භූමියෙන් 56%ක් හා පාරම්පරික පලස්තීනුවන්ට 44%ක භූමි ප්‍රමාණයක් වෙන් කර දෙනු ලැබුවා. මේත් සමගම 1919 දී බ්‍රිතාන්‍යයන් විසින් පලස්තීනය පාලනය කිරීමට ලබාගෙන තිබූ අධිකාරී බලය අත්හරිනු ලබනවා. එදිනම යුදෙව් නායක බෙන්ගූරියන් විසින් ඔවුන් ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් ස්ථාපනය කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. ඊට පසු දිනම ඊශ්‍රායල අරාබි යුද්ධය ආරම්භ වෙනවා. එහිදී ඊශ්‍රායලය පලස්තීනුවන් පරාජය කරමින් විශාල ජයග්‍රහණයක් ලබාගන්නවා. ඒ අනුව 1948 සිට 1973 දක්වා වරින් වර ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස පලස්තීනය කුඩා භූමි ප්‍රදේශයක් බවට පත් වෙනවා. එහි සිටි ජනතාව යාබද අරාබි රටවලටත්, ගාසා තීරයට හා බටහිර ඉවුරටත් සංක්‍රමණය වෙනවා. නමුත් තමන්ට අහිමි මව්බිම ලබාගැනීමට පලස්තීනුවන් අමතක කළේ නැහැ. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පලස්තීන හමාස් සටන්කරුවන් ඊශ්‍රාලයට එක් වරම පහර දුන්නේ මෙකී ඉතිහාස කතාවේ තවත් එක් පුපුරා යෑමක් ලෙසයි.

ඊශ්‍රායලය කියන්නේ යුද ශක්තිය අතින් ඉතා ප්‍රබල රටක්. ඔවුන්ට මොසාඩ් නම් ඉතාමත් දියුණු හා කාර්යක්ෂම බුද්ධි සේවාවක්ද තිබෙනවා. නමුත් හමාස්වරුට මේ සියල්ල ව්‍යර්ථ කරමින් ඊශ්‍රාලයට පහර දෙන්න පුළුවන් වුණා. නමුත් අද වන විට ඊශ්‍රායලය විසින් ඔවුන්ට හමාස්වරු එල්ල කළ ප්‍රහාරය මෙන් කිහිප ගුණයකින් ප්‍රබල ප්‍රහාර මාලාවක් ගාසා තීරයට එල්ල කරමින් ඉන්නවා. එක්සත් ජාතීන්ගේ වචනයෙන්ම කියනවා නම් මෙය ඉතා බියකරු අමානුෂීය ඛේදවාචකයක්. මෙම ප්‍රහාර නිසා සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වෙනවා. මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකියි. මෙය වහාම නතර කිරීමට පියවර ගත යුතුයි. නමුත් පසුගිය දිනක ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයට සහයෝගය ලබාදීමට එකඟ වුණා. ඊට හේතු කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන්. ඉන් එකක් නම් මැදපෙරදිග තමන්ගේ ග්‍රහණයේ තබා ගැනීමට ඇමරිකාවට අවශ්‍යයි. රුසියාව චීනය වැනි තමන්ගේ තරගකරුවන් එම ස්ථානයට පැමිණීම වළක්වාලීමට ඇති ආරක්ෂක වැටක් ලෙස ඊශ්‍රාලය ඇමරිකාවට වැදගත් වෙනවා. නූතන කාර්මික ශිෂ්ටාචාරයේ රුධිරය වන්නේ ඛනිජ තෙල්. ලෝකයේ 65%ක් පමණ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන්නේ මැදපෙරදිග රටවල්. මේ නිසා ඊශ්‍රායලය රැක ගැනීමෙන් ඇමරිකාවට ප්‍රතිලාභ ලැබෙනවා. එසේම ඇමරිකාවේ සිටින බොහෝ ධනවතුන්, රාජ්‍ය යාන්ත්‍රණයේ යෙදෙන්නන්, යුද විශේෂඥයන් බොහෝමයක්ම යුදෙව්වන්. මේ නිසාත් ඊශ්‍රායලයට ඇමරිකාවේ සහයෝගය ලැබෙනවා. නමුත් අරාබි රටවල් බොහෝමයක් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල වන මෙම කුරිරු ප්‍රහාරය හෙළා දැක තිබෙනවා. හමාස් සටන්කාමීන්ට ඉරානයේ සහාය ලබාදෙන බවට ඉරාන ජනපති විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඔවුන් තවමත් යුදමය වශයෙන් මෙම ගැටුමට සම්බන්ධ වෙලා නැහැ. යම් හේතුවකින් ඉරානයත් මෙම ගැටුමට සම්බන්ධ වුවහොත් අනිවාර්යෙන්ම මෙය ඉතාමත් බරපතළ තත්ත්වයකට පත් විය හැකියි. එවිට මෙය කලාපීය යුද්ධයක් බවට පත්වීමටද ඉඩ තිබෙනවා. නමුත් එය එසේ වීමට ඇත්තේ ඉතාමත් අඩු ඉඩකඩක්. මන්ද මීට පෙරත් අරාබි රටවල් හා ඊශ්‍රායලය අතර 1948, 1956, 1967 හා 1973 වර්ෂ වලදී විටින් විට ගැටුම් ඇතිවී තිබෙනවා. නමුත් ඒ කිසිවක් ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වුණේ නැහැ. පසුව බොහෝ අරාබි රටවල් ඊශ්‍රායලය සමග සහයෝගයෙන් කටයුතු කිරීමටද එකඟ වී තිබෙනවා. මෙය ලෝක යුද්ධයක් බවට පත්වන්නට නම් ලෝකයේ බලවත් ජාතීන්, ඒ කියන්නේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව, චීනය හා ඉන්දියාව වගේ රටවල් සම්බන්ධ වෙන්න ඕන. නමුත් එසේ යුද්ධයක් කිරීමට තරම් එම රටවලට වුවමනාවක් නැහැ.

ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර ඇති වී තිබෙන මෙම ගැටුම වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ එහි තිබෙන කුරිරු බව නිසයි. මෙම තත්ත්වය සාමකාමී කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන්නේ කෙසේද පිළිබඳවත් බොහෝ දෙනා බලා සිටිනවා. නමුත් සත්‍ය වශයෙන්ම එක්සත් ජාතීන්ට මෙහිදී සක්‍රීය කොටසක් ඉටු කරන්නට බැහැ. මොකද එක්සත් ජාතීන්ට තමන්ගේම ධනයක් හෝ අවි බලයක් නැහැ. එසේම එක්සත් ජාතීන් කියන්නේ රාජ්‍යයක් නොවෙයි. එය සංවිධානයක්. මේ නිසා එක්සත් ජාතීන්ට කවර හෝ කාර්යභාරයක් සිදු කළ හැකි නම් එය සිදු කළ හැක්කේ එය නිර්මාණය කළ සාමාජික රටවල, විශේෂයෙන්ම බලවත් රටවල අධිෂ්ඨානය සහ කැපවීම තිබේ නම් පමණයි. නමුත් බලවත් රටවල අධිෂ්ඨානය සහ කැපවීම ඇත්තේ තමන්ගේ ගොඩ බේරා ගැනීම සඳහායි. මේ නිසා තවමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටලුව සමනය කිරීමට සැලකිය යුතු මට්ටමේ පියවර ගෙන නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ මහලේකම් සමබර හා ප්‍රඥාවන්ත ප්‍රකාශයක් කරමින් කිසිවෙකුගේත් පාර්ශ්වයක් නොගෙන ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් සිවිල් ජනතාව කළ යුතු බව පවසා සිටියා. පසුගිය දිනෙක ඊශ්‍රාලය විසින් ගාසා තීරයට ඉන්ධන, ආහාර, ඖෂධ හා විදුලිය ලබාදීම නතර කිරීම පිළිබඳ ඔහු තම අප්‍රසාදයද පළ කළා. මන්ද මෙම තත්ත්වය ඉදිරියටත් මෙම මට්ටමින් හෝ පැවතුණහොත් එය ඉතාමත් ඛේදනීය වෙන්නට පුළුවන්.

පෘථිවි ගෝලයේ කවර තැනක වුවද සාමය කඩ වුවහොත් ඉන් ප්‍රතිලාභ අත් වන්නේ යුද අවි කර්මාන්තය කරන හෝ නිෂ්පාදනය කරන හෝ වෙළෙඳාම් කරන රටවලට පමණයි. අන් සියලු දෙනාටම එක් එක් ප්‍රමාණයනගෙන් එය අනර්ථකාරී ලෙස බලපානවා. භාණ්ඩ හා සේවා සැපයීම, විදේශ විනිමය සංකෝචනය වීම, විදේශ රැකියා වලින් ලැබෙන ප්‍රේෂණ අවම වීම, රැකියා අවස්ථා අහිමි වීම ආදී නොයෙකුත් ගැටලු එක් එක් ප්‍රමාණයන්ගෙන් එක් එක් රටවලට බලපානවා. මෙය කලාපීය රටවලට වුණත් එහෙමයි. දැනටමත් එම ප්‍රදේශවල අස්ථාවර, අවිනිශ්චිත හා උණුසුම් වාතාවරණයක් ගොඩනැගී තිබෙනවා. එවැනි වාතාවරණයකදී සාමකාමී පරිසරයක මෙන් ආර්ථික හා සමාජයීය චලනයන් ඇති වන්නේ නැහැ. පසුගිය කාලයේ Covid-19 පැමිණීම නිසා ලෝකයේ ආර්ථිකය පරිහානියට පත් වුණා. යුක්රේන් යුද්ධය නිසා එය තවත් තීව්‍ර වුණා. 2023 වන විට ලංකාව මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවලට මෙම සාධක දෙකම දෙකම බලපෑවා. මෙම ඊශ්‍රායල හා පලස්තීන ගැටුම ගත්තත් එය සිදු වන්නේද ලෝකයේ වැඩි වශයෙන් ඛනිජ තෙල් නිෂ්පාදනය වන මැදපෙරදිග කලාපයේ. ලංකාව කෙතරම් උත්සාහ කළත් ඛනිජ තෙල් නිෂ්පාදනය කිරීමට ලැබිලා නැහැ. මේ නිසා ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කළ යුතුම වෙනවා. 2022 දී ඇති වූ ආර්ථික අර්බුදවලටත් එක් හේතුවක් වූයේ ඛනිජ තෙල් ආනයනයට ලංකාවට විදේශ විනිමය නොමැති වීමයි. එම අර්බුදය තවමත් සමනය වී නැහැ. මේ නිසාම වර්තමානය වන විට අපේ රටේ ජනාධිපතිතුමා රාජ්‍ය ආයතනවලට තෙල් එක්රැස් කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. අපේ රට වගේම ලෝකයේ අනෙකුත් රටවල්ද මේ වන විට තෙල් එක්රැස් කරනවා. ඛනිජ තෙල් සැපයුම දවසින් දෙකෙන් කරන්න බැරි දෙයක්. මේ නිසා ඉදිරියේදී තෙල් මිල ඉහළ නැගීමක් සිදුවෙනවා. IMF එකෙන් හෝ වෙනත් ස්ථානයකින් ණයත් බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකාව වැනි රටවලට තෙල් මිලදී ගැනීමේදී සිදුවන අනර්ථය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. මෙම ඊශ්‍රායල පලස්තීන ගැටුම නිසා ශ්‍රී ලාංකිකයන් අරාබි රටවල විදේශ රැකියා සඳහා යොමු වීම අඩු වෙනවා. එම ප්‍රදේශවල රැකියාවේ නිරත වන ලාංකිකයන්ද මේ වන විට උත්සාහ කරන්නේ ලංකාවට පැමිණීමටයි. මෙවැනි වාතාවරණයක් හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයකට ලක්විය හැකියි. එසේම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට, අපනයන කර්මාන්තයට මෙම ගැටුම නිසා බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ලංකාවට ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර විනිමය ආදායම් මාර්ගයක් නැහැ. මේ නිසා බොහෝ දේවල් අපට රට තුළම නිෂ්පාදනය කිරීමට හැකියාව තිබුණත් එය එසේ නොකර ආනයනය කිරීමට සිදු වීම නිසා මෙම තත්වය අපට ඉතාමත් නරක බලපෑමක් ඇති කරන්න පුළුවන්.

මේ නිසා මෙම ගැටුම සමනය කිරීමට ලෝකයේ අනෙක් රටවල්වලට, විශේෂයෙන්ම ලෝකයේ ධනවත් හා බලවත් රටවලට වගකීමක් තියෙනවා. 2009 දී ශ්‍රී ලංකාවේ LTTE සමග පැවති යුද්ධය නතර කරන මෙන් ඉල්ලා බ්‍රිතාන්‍යයෙන් හා ප්‍රංශයෙන් අපේ රටට නියෝජිතයෝ ආවා. ඔවුන් එවකට අපේ රටේ සිටි ජනාධිපතිතුමාට පවසා සිටියේ මෙම යුද්ධයෙන් දෙමළ මිනිස්සු විනාශ වෙන නිසා වහාම මෙම යුද්ධය නතර කිරීමට කටයුතු කරන ලෙසයි. එදා අපේ රට දෙකඩ වීම වළක්වා ගැනීමට උත්සාහ කරමින් සිටිද්දී අපට බලපෑම් කළ ඔවුන් අද ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුට මෙම ම්ලේච්ඡ පහරදීම් නවත්වන ලෙසට බලපෑම් කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයේදීද මීට පෙර බොහෝ වතාවක් මෙම මැදපෙරදිග අර්බුදය විසඳීමට ආරක්ෂක මණ්ඩලයේත් මැදිහත්වීමෙන් යෝජනා ගෙනාවා. නමුත් එම යෝජනා අදාළ බලධාරීන් විසින් ක්‍රියාත්මක කළේ නැහැ. ඇතැම් විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාද ක්‍රියාත්මක වන්නේ අපි වගේ දුප්පත් රටවල්වල පමණයි. මෙම තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. හැකි ඉක්මනින් ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇති ගැටලුව විසඳීමට පියවර ගත යුතුයි. මෙම ගැටලුව නැවත උද්ගත නොවන පරිදි විසඳීමට නම් පලස්තීන ජනතාවට තමන්ට අහිමි වූ දේශය ලබාදී පලස්තීනයට ස්වෛරී රාජ්‍යයක් ලෙස පැවතීමටත්, ඊශ්‍රායලයට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ඇතිව ත්‍රස්තවාදී තර්ජනවලින් තොරව පැවතීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි.

සාකච්ඡා කළේ

● කෞෂාණි පල්ලියගුරු
ජනසන්නිවේදන අධ්‍යයන ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment