අසීරුවෙන් හෝ බර දරාගෙන නොගියොත් අනාගතයක් නෑ -ජනාධිපති රනිල් වික්‍රමසිංහ

79

බැංකුවලින් ණය ලබා නොගන්නත් මුදල් මුද්‍රණය නොකරන්නත් අයිඑම්එෆ් එකට එකඟ වුණා

රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට මුදල් මුද්‍රණය කිරීමට හෝ බැංකුවලින් ණය ලබාගැනීමට නොහැකිකම නිසා වැට් බද්ද වැඩි කිරීමට සහ වැට් බද්ද ඉවත්ව තිබූ භාණ්ඩ ගණනාවක් වැට් බදු පනතට යටත් කිරීමට සිදුවූ බවත් අසීරුවෙන් හෝ මෙම බර දරාගෙන නොගියහොත් අනාගතයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (03 වැනිදා) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණ ‘ශිල්ප අභිමානී 2023’ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද මෙහිදී විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට රට යළි පත් කළ නොහැකියි. දුෂ්කර වුවද මෙම මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකියි. වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීමය. ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට මා සූදානම් නැහැ.

අසීරුතා හමුවේ ද ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදීමට ඉදිරියේද කටයුතු කරනවා. මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට රජය කටයුතු කරනවා.

මෙම දක්ෂතා ප්‍රයෝජනයට ගනිමින් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. අපට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මෝස්තර පමණක් නොවෙයි, බටහිර මෝස්තරවලින්ද අප ප්‍රයෝජන ලබාගත යුතුයි. ඉන්දියාව දැනටමත් එම කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ඒ පිළිබඳ අපද අවධානය යොමු කළයුතුයි. මෙම සියලු වැඩසටහන් තුළින් අපේක්ෂා කරන්නේ රටේ ආදායම ඉහළ නංවා ගැනීමයි.

අප පසුකළේ ඉතා අසීරු කාලයක්. එම අසීරු කාලය තුළද කෙසේ හෝ රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට අපට හැකි වුණා. ඒ පිළිබඳ අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඔබ සියලුදෙනාට මා ප්‍රශංසා කරනවා. 2022 වර්ෂයේ අපේ රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටිලයි තිබුණේ. සංචාරකයින් ලංකාවට පැමිණිම නතර වී තිබුණා. මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය රඳා පවතින්නේ සංචාරක කර්මාන්තය මතයි.

රටේ ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට අපට සිදු වුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව අපේ ආර්ථිකය නැවත සකස් කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා.

2022 වසරේ ණය ගෙවීමට නොහැකි බව අප කියා සිටියා. ඒ අනුව ඉදිරියට යාම සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟත්වයක් ඇති කර ගැනීමට අපට සිදු වුණා. ඒ නිසා තමයි අලාභ ලබන අංශ සියල්ලම ලාභ ලබන අංශ බවට පත්කිරීමටත්, ඇතැම් සහන අඩු කිරීමටත් අපට සිදු වුණේ.

ඒ අනුව පසුගිය වසරේ තුන්වන සහ හතරවන කාර්තුවලදී තරමක ආර්ථික දියුණුවක් ලබා ගැනීමට අපට හැකි වුණා. අප දැන් පසුගිය වසරේ අවසන් කාර්තු 02හි ප්‍රගතිය සහ මෙම වසරේ කාර්තු 04හි ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කර මෙම වසරේ 2% ධන ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගතහොත් එය ඊළග වසරේදී 5%ක් දක්වා ඉහළ නංවාගත හැකියි. එසේනම් මෙම ආර්ථික වර්ධනය සමඟ අප ඉදිරියට යා යුතුයි. එහිදී අප එකඟත්වයක් ඇතිව කටයුතු කිරීමට අවශ්‍යයි.

අපට තිබු විශාලම ප්‍රශ්නයක් තමයි අප සෑමවිටම මුදල් මුද්‍රණය කිරීම. ඒ වගේම බැංකුවලින් ණය ලබා ගැනීම. එයින් සිදු වුණේ රුපියලේ අගය පහළ යාමයි. රජයේ අවශ්‍යතාවලට බැංකුවලින් ණය අරගෙන රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබුණා. ඒ නිසා බැංකුවලින් ණය ලබා නොගන්න බවට සහ මුදල් මුද්‍රණය නොකරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවීමට අපට සිදු වුණා.

මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නම් සහ බැංකුවලින් ණය ලබාගත නොහැකි නම් අපට තිබෙන එකම මාර්ගය රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමයි. එහිදි වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. ඒ අනුව 15%ක්ව තිබු වැට් බද්ද 18%ක් දක්වා වැඩි කළා. ඒ වගේම වැට් බදුවලින් ඉවත්ව තිබු භාණ්ඩ ගණනාවක් වැට් බදු යටතට පත් කළා. එමඟින් දැන් අපට අවශ්‍ය ආදායම ලැබෙනවා. එම නිසා රුපියල ශක්තිමත් වෙනවා.

අසීරුවෙන් වුවත් එම බර දරා ගැනීමට අප සියලුදෙනාට සිදුවී තිබෙනවා. අමාරුවෙන් හරි අපි යා යුත්තේ මෙම මාර්ගයෙයි. එයින් ඉවත්වුණොත් අපට අනාගතයක් නැහැ.

ඒ නිසා මෙය ජනප්‍රිය වැඩපිළිවෙළක් නොවෙයි. මේ හැර වෙනත් විකල්පයක් නැහැ. මේ හැර රට ගොඩගැනීමේ වෙනත් වැඩපිළිවෙළක් යමෙකුට තිබේ නම් එය ඉදිරිපත් කළ යුතුයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නේ කෙසේද කියා ඔවුන් ප්‍රකාශ කළයුතුයි. අපට ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ.

අසීරුකම් මධ්‍යයේ වුවද දැන් රට දියුණු වෙමින් පවතිනවා. පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරයේ යම් ප්‍රගතියක් ඇති වුණා. ඒ අනුව එම ක්ෂේත්‍රයේ කටයුතු කරන අයගේ ගැටළු විසක්‍ෂෙමින් තිබෙනවා. මේ අන්දමට ඉදිරියේදී අනෙකුත් ක්ෂේත්‍රවලද ගැටලු නිරාකරණය වෙනවා. කෙසේ හෝ මෙම අවස්ථාවේ රුපියල අවප්‍රමාණය කිරීමට මා කැමති නැහැ. යුක්‍රේන යුද්ධය තිබෙනවා. ගාසා තිරයේ යුද්ධය තිබෙනවා. එහි භාණ්ඩ මිල වැඩි විය හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment