එක් රැයකින් රටේ ආර්ථිකය හදා බුද්ධිගලනය නැවැත්විය නොහැකියි – වරාය, නාවුක හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

155

අධික බදු බර වෘත්තීයවේදීන්ට රට හැර යෑමට හේතුවක් වුණා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

බදු පැනවීම – රටේ නීතිය සමාන නොවීම බුද්ධිගලනයට බලපාලා – ඉරාන් වික්‍රමරත්න (සජබ)

අම්මලා රට යනවිට දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙනවා – රෝහිණී කුමාරි කවිරත්න (සජබ)

අපි ඉන්න හිතෙන රටක් හදන්න පියවර රැසක් අරගෙන තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

එක් රැයකින් රටේ ආර්ථිකය හදා බුද්ධිගලනය නැවැත්විය නොහැකි බවත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාවට ඇත්ත තත්ත්වය ප්‍රකාශ කරමින් ජනාධිපති විසින් පියවරෙන් පියවර ගනිමින් සිටින බව වරාය, නාවුක හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) ප්‍රකාශ කළේය. උගතුන් සහ වෘත්තිකයන් රට හැරයෑම පිළිබඳව විපක්ෂය විසින් යෝජනා කරන ලද කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන , ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීම ඉන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දෙනු ලැබීය. පසුව 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් අසනු ලබන විශේෂ ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබා දීම සිදුවිය.

අනතුරුව මේ වන විට සිදු වන බුද්ධිගලනය සම්බන්ධයෙන් වූ දිනට නියමිත වූ විවාදය ආරම්භ කරමින් පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (සජබ)-

අද අපි කතා කරන්නේ බුද්ධි ගලනය ගැනයි. රටේ මානව සම්පත අපි ආරක්ෂා කරන්න ඕනා වගේම ශක්තිමත් කරන්න ඕනා. අපේ රටේ බුද්ධිගලනය දැන් සීග්‍ර වශයෙන් සිද්ධවෙන්න පටන් අරන්. එදා අපේ රටේ ජාතික භාෂාව සිංහල පමණක් කිරීම නිසා පළමු වරට බුද්ධිගලනය රැල්ලක් ඇති වුනේ එක්දහස් නවසිය පනස්ගණන්වලදීයි. පසුකාලීනව සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් ප්‍රකාශ කර තිබෙනවා ඒ රටවල්වල සංවර්ධනයට ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන්ගෙන් විශාල පිටිවහලක් සිදු වුනා කියලා.

ඉන්පසුව 1983 දී මෙරට තුළ පැවැති යුදමය වාතාවරණය තුළ අපේ රටින් දෙමළ බුද්ධිමතුන් පිටවී ගියා. එය දෙවැනි රැල්ලයි. දැන් බුද්ධිගලනයේ තුන්වෙනි රැල්ලක් ඇති වී තිබෙනවා. ඒ මේ වන විට අපේ රටේ ඇති වී තිබෙන ආර්තික ප්‍රශ්නය නිසා ජීවත් වෙන්න බැරි අඩුපාඩුව නිසා දැන් ඇමරිකාවට, යුරෝපයට, මැද පෙරදිගට බුද්ධි ගලනය වෙනවා. ලක්ෂ තුනකට ආසන්න පිරිසක් අපේ රටින් 2022 දී පිටවී තිබෙනවා කියලා අපට ආරංචියි. අනාගත දැක්මක් ඇති නායකත්වයක් නොමැති වීම, බදු පැනවීම, අත්‍යවශ්‍ය දේවල් නොමැතිවීම, රටේ නීතිය සමාන නොවීම ආදී කරුණු මේ බුද්ධි ගලනයට හේතුවී තිබෙන බව මේ වන විට කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

(සමන්ප්‍රිය හේරත් මහතා මූලාසනයට පැමිණේ)

ඉරාන් වික්‍රමරත්න මහතා- අපි මේ ආර්ථික ප්‍රශ්නයක් තිබුනා කියලා හරියන්නේ නෑ. අපි මේ රට ගොඩගන්න ඕන. රට හැර යන අය ගැන මම කණගාටු වෙනවා. මමත් මේ රටින් ඉගෙන ගත්තේ. අපි රට හැර යන්නේ නෑ. නමුත් මෙහි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා රට හැර යනවා. යේමනයයි, සිරියාවයි තත්ත්වයට අපේ රට පත්වී තිබෙනවා. අපේ වෛද්‍යවරුන් දැන් යනවා. හෙදියන් යනවා. ඒ නිසා අපි අපේ වෛද්‍යවරුන් ඇති කිරීමට පියවර ගන්න ඕන. ඒ වගේම අනෙක් වෘත්තිකයන් වැඩියෙන් බිහි කරන්න ඕන. අද වෛද්‍යවරුන්ගේ ජීඑම්ඕඒ එක පියවර කිහිපයක් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ අය අපිත් එක්ක කතා කළා. අපි එකඟයි ඒ අයගේ ඉල්ලීම්වලට. ඒ අයට පහසුකම් දෙන්න ඕන. දිරිගැන්වීම් දෙන්න ඕන. ප්‍රවාහන පහසුකම් දෙන්න ඕනා. සේවය කරගෙන යන්න සුබ පරිසරයක් ඇති කරන්න ඕන. අපි අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. අපේ සමගි ජන බලවේගය රජයක් යටතේ අපි අධ්‍යාපනයට සෞඛයයටයි ප්‍රමුඛත්වය දෙන්නේ. අපි මානව සම්පත තමයි සංවර්ධනය කරන්න ඕනේ. ඒ වගේ අපි රටට එරෙහි විපක්ෂයක් නොවෙයි. අපිට තමයි ඊළඟට මේ රට ගොඩනගන වගකීම එන්නේ. අපි මේ රට ගොඩනගනවා. බුද්ධිමතුන්ට, වෘත්තිකයන්ට අපි සාධාරණය ඉටු කරනවා. හැමෝටම අපි සාධාරණයක් කරනවා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනි රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය (සජබ)- මේ අලුත් ජීඑම්ඕඒ එක කියලා තිබෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රවේ ඉතා විශාල ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඒ අයට නවාතැන් පහසුකම් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන මමත් පිළිගන්නවා. මගේ දිස්ත්‍රික්කයේ රෝහලක් තිබෙනවා එහි සිටින වෛද්‍යවරිය ඉන්නේ පිරිමි වාට්ටුවට අල්ලලා තිබෙන කාමරයක. ඇයට වැසිකිළි පහසුකම්වලට යන්න වෙලා තිබෙන්නේ අර පිරිමි අයට යන එකටමයි. අද වෛද්‍යවරුන්ට ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒත් ඒවාට නිසි විසඳුම් නෑ. වෛද්‍යවරුන් රාශියක් පිටරට අධ්‍යාපනයට ගිහින් ආපසු එන්නේ නෑ. මම දැක්කා මේ අයට යන්න එපා කියලා ජනාධිපතිතුමාත් කියලා තිබුනා. එහෙම කියනවාට වඩා යන ඒක නවත්වාගන්න වැඩ පිළිවෙළක් නෑ. ඒ අය යනවා. මම කියනවා මේ යන්නේ අපේ රටේ තිබෙන විවිධ ප්‍රශ්න වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ගැටලුවයි. අද ගුරුවරුන් හිඟයි. විද්‍යාපීඨ පද්ධතිය අද කඩා වැටිලා. අවුරුදු 04තික් විද්‍යාපීඨවලට බඳවා ගෙන නෑ. තව අවුරුදු හතරක් යනකම් ඒ කියන්නේ ගුරුවරු එන්නේ නෑ. මේක ලොකු ගැටලුවක්. අධ්‍යාපන පරිපාලනය, විදුහල්පති සේවය, අනධ්‍යන සේවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනා සතුටින් නොවෙයි අද ඉන්නේ. අධීක්ෂණය කරනවා වගේම ඒ අයට ඇගයීමක් කරන්න ඕන. නමුත් අද එහෙම ඇගයීමක් නෑ. අධ්‍යානයේ සිටින අය සතුටින් සිටියොත් තමයි ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරන්න ඕන. නැත්නම් කියන්න වෙයි ගුරුවරුනුත් රට හැර යන්න පටන් අරන් කියලා. අනෙක මව්වරුන් මැද පෙරදිගට යෑම බුද්ධිමත් පරපුරක් බිහිවීමට ප්‍රධාන ගැටලුවක් වෙලා තිබෙනවා. දරුවන්ට කන්න දෙන්න තමයි ඒ අම්මලා යන්නේ. ඒත් එවිට වෙන්නේ අර දරුවන්ගේ අධ්‍යාපනය කඩන් වැටෙන එකයි.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා- මෙය ඉතාමත් කාලෝචිත යෝජනාවක් බව මා කියනවා. නමුත් දේශපාලනිකව ගත්තොත් එහි පොඩි දුර්වලතාවයක් තිබෙන බව මා කියනවා. ඔහු කියන්නේ රජයක් නිසා රට කඩන් වැටුනා කියලා. මේ රටේ අර්බුදයක් ඇති වුණා. නමුත් ඉන් මිදිලා රට ගොඩගන්න ආණ්ඩුවක් තමයි දැන් තිබෙන්නේ. මා පිළිගන්නවා ප්‍රශ්නයක් තිබෙනවා කියලා. මේ රට හැර යන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි රටේ ආරක්ෂාවක් නෑ. රටේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා කියන එක. අනෙක අපේක්ෂා භංගත්වය. අනෙක් එක තමයි පෞද්ගලික ප්‍රශ්න. ඊගාවට අරමුණු තමන්ගේ දරුවන්ට මීට වඩා හොඳ රටක් අවශ්‍යයි කියන එක. මම කියන්න ඕනා 2022 වන විට රටේ ආරක්ෂාවක් තිබුනේ නෑ. අරගලයක් ආවා. ජනාධිපතිවරු ගියා. ආණ්ඩු ගියා. රාජ්‍ය ආයතන අත්පත් කර ගත්තා. ඒ තුළ ආරක්ෂාවක් නැති වුණා තමයි. නමුත් එදාට වඩා අද වෙනසක් නැද්ද? අපි උත්සාහයක් ගන්නේ නැද්ද? අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් තිබුනා තමයි. පෝලිම් තිබුනා. පාන් ගෙඩියක් ගන්න පුළුවන් මුදලින් පාන් භාගයයි ගන්න වෙන්නේ. ව්‍යාපාර වැහිලා ගියා. නමුත් අපි මේවාට දැන් විසඳුම් හොයන්නේ නැද්ද? අප බදු අය කරනවා තමයි. එහි ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අපි දැන් ක්‍රම ක්‍රමයෙන් මේවා වෙනස් කරන්න පියවර ගන්නවා. අපේ අලුත් කළමනාකරණය දැන් රටේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පියවර ගන්නේ නැද්ද? බැංකු පොළිය දෙවතාවක් අපි අඩු කළා. අපි ප්‍රශ්නවලට උත්තර හොයන්න පටන් අරන් නැද්ද? කියලා මා අහනවා. අපි දැන් උද්ධමනය අඩු කරගෙන යනවා. ජාත්‍යන්තර සංවිධාන පවා ඒ ගැන විමතිය පළ කර තිබෙනවා. ඉන්න පුළුවන් රටක් හදන්න අපි කටයුතු කර තිබෙනවානේ. ක්‍රමක්‍රමයෙන් රටේ තිබුනු ප්‍රශ්නවලට අපි යම් ආකාරයක උත්තර සපයලා නැද්ද කියලා මා අහන්න ඕන. රට

රැකියාවලට යෑම සංඛ්‍යාත්මක වශයෙන් වැඩි වෙලා තිබෙනවා තමයි. නමුත් අපි ඉන්න හිතෙන රටක් හදන්න පියවර රැසක් අරගෙන තිබෙනවා. වැටුනු රටක් යළි නැගිටවීමේදී උගත්, බුද්ධිමත් අයට මෙන්ම අපි සියළු දෙනාටම වගකීමක් තිබෙනවා ඒ වෙනුවෙන් කටයුතු කරන්න. රජය ඒ වෙනුවෙන් වගකීම ඉටු කරලා කටයුතු කරගෙන යනවා. මේ මොහොත රටින් පිටවී යා යුතු කාලයක් නොවෙයි. ගිය අයත් රටට ඇවිත් රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න ඕනෑ කාලයක් මේක. ආණ්ඩුව කරන්න ඕනේ යන අය නවත්වා ගැනීම වගේම එහේ ඉන්න අය මේ රටට ගෙන්වාගන්නයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා- බුද්ධිගලනය නවත්වාගැනීම සඳහා විදෙස් රටවල් විශේෂ ක්‍රියා කාරකම් රැසක් ක්‍රියාවට නංවනවා. ඒ රටවල් වල අය තමන්ගේ බුද්ධිමතුන්ට අවස්ථා රැසක් ලබා දීලා තිබෙනවා. පහසුකම් දෙනවා. නමුත් අපේ රටේ සිදු වන්නේ ඊට වෙනස් දේවල්. අපේ රටේ බුද්ධිගලනය වන විට යුරෝපීය රටවල් අපේ බුද්ධිමතුන් එක් රැස් කර ගන්නවා. අපි මේ ගැන පුළුල් විමර්ශනයක් කරන්න ඕන. මම කණගාටු වෙනවා මේ කැබිනට් මණ්ඩලය අඩුම තරමේ අනුකමිටුවක්වත් පත් කොට නෑ මේ ගැන සොයන්න සහ විසඳුම් ලබා දෙන්න. ලෝකයේ බුද්ධිගලනය ගැන දර්ශකයක් තිබෙනවා. අපේ රටේ 2007ත් 2023ත් අතර කාලය දෙස බැලුවොත් බුද්ධිගලනය සියයට හතයි දශම දෙකයි තුනක ශ්‍රේණිගත කිරීමක් තිබුනේ. නමුත් මේ මොහොත වන විට අපි එය දැන් 8.4 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ලෝක මට්ටමින් ගත්තොත් බුද්ධිගලන දර්ශකයේ සාමාන්‍යය 05.42යි. නමුත් අපේ 8.4 යි කියන තැන. අයි අපේ මානව සම්පත මේ විදිහට රට අතහැර යන්නේ අවස්ථා සීමිත වීම, දේශපාලන අස්ථාවරභාවය, ඉහළ වැටුප්, යහපත් සේවා නොමැති වීමනිසයි. ඉහළ ජීවන තත්ත්වයක් උදෙසා තමයි අපේ අය වෙනත් රටවලට යන්නේ. උද්ධමනය. ආහාර සුරක්ෂිතභාවය නොමැතිවීම. වෘත්තීයවේදීනට පනවා තිබෙන අධික බදු බර මෙයට හේතු වෙලා.

වරාය, නාවුක හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා – මේ යෝජනාව දේශපාලනික වශයෙන් වාසි ගන්න තමයි ගෙනල්ලා තිබෙන්නේ. මේ ආර්ථික අර්බුදය ඇති වුනේ මේ රජය නිසාද? මේකට සෑම රජයක්ම වගකියන්න ඕනා. දැන් මේ බුද්ධිගලනය අපේ රටේ විතරක් නොවෙයි වෙනත් රටවල්වලත් සිදු වෙනවා. අප්‍රිකාවේ බලන්න. එහෙත් සිදුවෙනවා. ඉන්දියාවෙත් අද විශාල වශයෙන් බුද්ධිගලනය සිදු වෙනවා. ඇමැරිකාවෙත්, එංගලන්තයේත් බුද්ධිගලනය සිදු වෙනවා.නමුත් විපක්සය කියන්නේ ලංකාවේ විතරයි මෙහෙම වෙන්නේ කියලා. මේක පටු දේශපාලනික අරමුණකින් ගෙනාපු යෝජනාවක්. මේ බදු වැඩිවුණු නිසාලු ගියේ. බලන්න බටහිර රටවල බදු අය කිරීම වැඩියි. ඒ නිසා මේ තර්කයත් පුහු තර්කයක්. දේශපාලනික අස්ථාවරභාවය නිසා යනවාලු. ඒක නම් ඇත්ත අරගලය කාලේ රටේ ගිනි තියලා. මන්දිරවලට පැනලා. ආයතන අල්ලගෙන කරපු විකාරයට කවුද වගකියන්න ඕනා. අද බුද්ධිගලනය රටවල සංස්කෘතියක් බවට පත් වෙලා තිබෙනවා. අපිට වෘත්තිකයන් ඉල්ලන සියළු දේවල් දෙන්න පුළුවන්නම් බොහොම හොඳයි. නමුත් අපිට එහෙම කරන්න පුළුවන්ද? අපට බොහොම පොඩි ආර්ථිකයක් තිබෙන්නේ. ජනාධිපතිතුමා අද මේ රට ගොඩ නගන්න ක්‍රියා කරනවා. අපි බලමු සජිත් ප්‍රේමදාස ජනාධිපතිවුනහම මේ බුද්ධිගලනය අඩු වෙයිද කියලා. අපි බලවත් ආර්ථික ගැටළුවකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. මොන ආණ්ඩුවද අකමැති ජනතාවට සහන දෙන්න. නමුත් ප්‍රායෝගික ගැටළු නිසා ඒක කරන්න බෑ. බුද්ධිගලනය නවත්වගන්න නම් අපි ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වෙන්න ඕන. ඊට දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි. එක් රැයකින් ආර්ථිකය හදා බුද්ධිගලනය නවත්වන්න අමාරුයි. අපි ඒක පියවරෙන් පියවර කරන්න ඕන.

මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වෙනුවෙන් මැති ඇමැතිවරු රැසක් අදහස් දැක්වූහ.

(පාර්ලිමේන්තුව නැවත ලබන 17දා පෙරවරු 9.30ට යළි රැස්වේ)

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment