මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා සී.අයි.ඩී. හිටපු පොලිස් පරීක්‍ෂක සුගත්ට ලක්‍ෂ 10 ක වන්දියක්

180

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අදාළ වෙනත් නඩුවක් සම්බන්ධයෙන් අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්‍ෂක සුගත් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්‍ෂ 10ක වන්දියක් ගෙවන ලෙසට ඊයේ (06දා) රජයට නියෝග කළේය.

එම වන්දිය මාස තුනක කාලයක් ඇතුළත ගෙවන ලෙසට ද නියම කළ එස්. තුරෙයිරාජා, ප්‍රියන්ත ජයවර්ධන හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පොලිස් පරීක්‍ෂකවරයාට විශ්‍රාම ගැන්වූ දිනය දක්වා නීත්‍යනුකූලව හිමිවිය යුතු සියලු වැටුප් වර්ධක දීමනා හා උසස්වීම් සියල්ල අතීතයට බලපාන පරිදි ලබාදිය යුතු බවට ද නියෝග කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාඨය වන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී යන පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව වගබලා ගත යුතු බවට ද සිය තීන්දුව නිකුත් කරමින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.

පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් පමණක් නොව ස්වභාවික යුක්ති ධර්මය ද උල්ලංඝනය කර ඇති බව ද විනිසුරු මඬුල්ල සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයන්ට බියෙන් සැකෙන් තොරව හා පක්‍ෂපාතීභාවයෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය බලධාරීන් විසින් නිර්මාණය නොකරන්නේ නම් එමගින් දූෂණය හා අකාර්යක්‍ෂමතාවය සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය වීමට මඟ පෑදෙන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සුගත් මෙන්ඩිස් මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාජ් කොරයා මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment