පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීමේදී මහා බල එදිරිවාදිකම් දෙවැනි තැනට පත්වෙනවා – ආසියා පැසිෆික් කලාපයේ සැසිවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

64

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීම යන පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින බවත් දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන මෙම ත්‍රිත්ව අර්බුදය හමුවේ මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියලු ජීවින් සිය පැවැත්ම පිළිබඳ දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 5 දා පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ 05 වන සැසිවාරය අමතමිනි.

ඉරානයේ උප ජනාධිපති හා ඉරානයේ පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අලි සලාජෙග් මහතා ද මෙම සමුළුවට එක්ව සිටි අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරානයේ උප ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ හා සමගාමීව ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී සිදු විය.

දේශගුණික විපර්යාවලට මුහුණදීම සඳහා දෙරට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ එහිදී සාමුහිකව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ නායකයන් අදහස් හුවමාරු කර ගත්හ.

රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනිකුත් පාර්ශ්වකරුවන්ට කලාපයේ පරිසරික ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව සලසා දෙමින් 2024 පෙබරවාරි 24 සිට මාර්තු 1 දක්වා නයිරෝබි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ හයවන සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්ව මෙම සැසිය සංවිධානය කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මනුෂ්‍ය වර්ගයා අද සිය පැවැත්ම පිළිබඳ ඉතා දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා. දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන “ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය” එකිනෙකට සම්බන්ධවීම නිසා ඇතිවී තිබෙන බලපෑම්, පුද්ගලයන්ට, ප්‍රජාවන්ට සහ පෘථිවියටද තර්ජනයක් වෙමින් විශාල හානියක් සිදු කරමින් තිබෙනවා.

අපි පෘථිවිය මත දැඩි පීඩනයක් ඇති කරමින් සිටින අතර මෙම “ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය” මේ වන විටත් ග්‍රහලෝක සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීමේදී මහා බල එදිරිවාදිකම් දෙවැනි තැනට පත්වෙනවා - ආසියා පැසිෆික් කලාපයේ සැසිවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

ලෝකයේ හඳුනාගෙන ඇති සත්ව විශේෂවලින් 8% ක් පමණ මේ වන විට වඳ වී ගොස් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම සහ ආක්‍රමණශීලි විශේෂ හඳුන්වාදීම හේතුවෙන් 22% ක් වඳවීමේ අවදානමට ලක්ව තිබෙනවා. මෙලෙස වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතිනවා.

සොබා දහමේ සහ ජෛව විවිධත්වයේ පිරිහීම හේතුවෙන් දුප්පත්කම, කුසගින්න, සෞඛ්‍යය, නගර, කාලගුණය හා දේශගුණය, සාගර සහ ගොඩබිම සම්බන්ධ තිරසර සංවර්ධන ඉලක්ක 44ක් අතුරින් 35 ක් කරා යන වත්මන් ගමන් මගේ ප්‍රගතිය අඩාල වී තිබෙනවා.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගත් විට, 2030 – 2052 අතර කාලය වන විට දැනට පවතින සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයට සාපේක්ෂව තවත් 1.5% කින් ගෝලීය උණුසුම වැඩි විය හැකි බව දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය ඇස්තමේන්තුගත කර තිබෙනවා.

පසුගිය දිනක මා විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයකු වන තරුණ විද්‍යාඥවරියකගේ වෙබ් අඩවියක් කියවා බැලුවා. ඇයගේ නම සංජලී ද සිල්වා. දේශගුණික විපර්යාසවල බලපෑම ශ්‍රී ලංකාවේ ජනතාවට දිනපතා දැනෙන බව ඇය එහි සඳහන් කර තිබෙනවා.

ෆොසිල ඉන්ධන දහනය කරමින් සිදු කරන කර්මාන්ත සහ “දේශගුණික පාරාදීසය” නැවැත්වීමට තම කාර්යභාරය ඉටු කිරීමට අකමැති රටවල් විසින් සිදු කරන වගකීම් විරහිත ක්‍රියාවන් නිසා මෙම බලපෑම් විශාල වශයෙන් ඇතිවී තිබෙනවා. මගේ පවුල වන මගේ රටේ ජනතාවට මීට වඩා දෙයක් ලැබිය යුතුයි” මම මුළු හදවතින්ම ඇය සමඟ එකඟ වෙනවා.

ජර්මන් වොච් සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරන දේශගුණික අවදානම් දර්ශකය මගින් ඇගේත් මගේත් රට වන ශ්‍රී ලංකාව, ආන්තික කාලගුණික සිදුවීම්වල ඉහළම අවදානමට නිරන්තරයෙන් ලක්වන රටවල් අතර ස්ථානගත කර තිබෙනවා.

ගෝලීය වශයෙන් සිදුවන විමෝචනය හමුවේ ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් 0.03%ක් වන විමෝචනය නොසලකා හැරිය හැකි වූවද, පැරිස් සම්මුතිය තුළ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් හි 2030 සඳහා අපගේ ඉලක්කයන් වී ඇත්තේ හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීම, ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම, වන ආවරණය 32%ක් දක්වා ඉහළ නංවා ගැනීම, 2042 වන විට ගල් අඟුරු භාවිතයෙන් ඉවත්වීම සහ 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වීමයි.

කොප් 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී එළි දක්වන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් පුනර්ජනනීය බලශක්තිය ඇතුළු සොබාදහම පදනම් කරගත් විසඳුම් සීඝ්‍රයෙන් වැඩි කිරීම අරමුණු කරගෙන තිබෙනවා.

කුන්මිං- මොන්ට්‍රියල් ගෝලීය විවිධත්ව රාමුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව 2016 සිට 2022 දක්වා වූ ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම අලුත් කිරීමේ ක්‍රියාවලියේ ද අප නිරතව සිටිනවා.

ශ්‍රී ලංකාව ගෝලීය ජෛව විවිධත්ව උණුසුම් කලාප 36 න් එකක් වන බැවින්, පෞරාණික පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සඳහා ජීවීන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස මා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් සාමාන්‍ය සහ අන්තරායකර අපද්‍රව්‍ය කාණ්ඩ නවයක් ආවරණය වන පරිදි කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා. රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කළේ රට තුළ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමටයි.

ශ්‍රී ලංකාව 2019 වසරේ දී තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කළා. හරිත ප්‍රසම්පාදනය පිළිබඳ ප්‍රතිපත්තිය සහ හරිත නාමකරණ රාමුව මේ වසරේ දී ක්‍රියාත්මක වෙනවා.

පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීමේදී මහා බල එදිරිවාදිකම් දෙවැනි තැනට පත්වෙනවා - ආසියා පැසිෆික් කලාපයේ සැසිවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුදය විසඳීම සඳහා නව දැනුම සහ භාවිතයන් යොදාගැනීමට නව දේශගුණික විපර්යාස පනතක් සහ ජාතික පාරිසරික පනතක් සම්පාදනය කිරීමට මගේ රජය විසින් කටයුතු කරනු ලබනවා.

ඒ වගේම හරිත ආර්ථිකයකට පරිවර්තනය වීම අප ආරම්භ කර තිබෙනවා. නමුත් ඒ සඳහා පිරිවැයක් අවශ්‍යයි.

2023 සිට 2042 දක්වා වන දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 26.5ක් අවශ්‍ය වෙනවා. 2050 වන විට ශ්‍රී ලංකාවේ ශුද්ධ ශුන්‍ය විමෝචනය ළඟා කර ගැනීමේ මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100කට වඩා අවශ්‍ය වෙනවා. එතැනින් ලයිස්තුව ඉවර නැහැ. අප මේ සඳහා අවශ්‍ය සම්පත් සඳහා මූලාශ්‍ර සොයාගන්නේ කොහෙන්ද?

අපට රට තුළින් මෙම මුදල් සොයා ගැනීමට හැකියාවක් නැහැ. මෙය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින ප්‍රශ්නයක් නොවෙයි. 2030 දක්වා වන ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් සපුරාලීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.9ක් අවශ්‍ය වෙනවා.

2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් හරිත බලශක්ති තාක්ෂණය සඳහා තවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වෙනවා. කොප් 27 හි දී, දේශගුණික ව්‍යසනයෙන් පීඩාවට පත් වූ සහ අවදානමට ලක්විය හැකි රටවල් සඳහා සිදුවූ හානි සහ පාඩු සඳහා අරමුදල් සැපයීමට එකඟතාවක් ඇති වුණා. ෂාර්ම් එල් ෂෙයික් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම මගින් පරිවර්තනය වීම පිළිබඳ කමිටුවක් පිහිටුවනු ලැබුවා. එම කමිටු රැස්වීම්වලදී සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෑත කාලීන සැසිවාරවලදී සාකච්ඡා වූ ප්‍රධාන ප්‍රශ්න මේ වන තෙක් විසඳී නැහැ.

මහා බල එදිරිවාදිකම්, භූ දේශපාලනික අවශ්‍යතා සහ බොහෝ අවස්ථාවල තම තමන්ගේ දේශීය ප්‍රතිපත්ති මගින් ආධිපත්‍යය දරනු ලබන වාතාවරණයක් තුළ දේශගුණික විපර්යාස වැනි මානව පැවැත්ම සඳහා පවතින අභියෝග සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ගෝලීය නායකයින්ට නොහැකි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment