ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒම සිහිනයක්ද?

248

දෙවන කාර්තුවේ ආර්ථික පසුබෑම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ (2023 ) දෙවන කාර්තුව එනම් අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා වූ කාලය සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කිරීම පසුගිය සතියේ සිදු කළේය. ඒ අනුව මේ වර්ෂයේ (2023) දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,597,441 ක් ලෙස වාර්තා වී ඇත. 2022 වර්ෂයේ දෙවන කාර්තුවේදී මෙම අගය රුපියල් මිලියන 2,680,074ක් ලෙස වාර්තා වී තිබුණි. මේ අනුව 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව මුර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.1 කින් සංකෝචනය වී ඇත.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය

අප දැන් සිටින්නේ ඍණ ආර්ථිකයකය. ගිය වසරේ රට බංකොලොත් වූ බැවින් රජයට විදේශ ණය ගෙවීම පවා තාවකාලිකව අත්හිටුවීමට සිදු විය. ලංකා ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් තවමත් අප මේ ගත කරමින් සිටින්නේ ඉතා දුෂ්කර සහ තීරණාත්මක කාලයකි. ඉදිරියටත් දුෂ්කර ලෙස බොහෝ කාලයක් ගත කිරීමට ද අපට සිදුවනු ඇත. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින්නේ නිදහසෙන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට බව 2022 වසර වෙනුවෙන් නිකුත් වූ නවතම මහ බැංකු වාර්ෂික වාර්තාවේ පළමු පිටුවේ ම සඳහන් වන්නේ මෙසේය.

‘ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වඩාත් අසීරුතම කාලපරිච්ඡේදය සඳහා 2022 වසරේ දී මුහුණ දුන් අතර පැවති දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මහජන නොසන්සුන් වීම් මෙන්ම දේශපාලන කැළඹීම් ද ඇති විය.’

ආර්ථික ක්‍රියාකාරිත්වය අඩපණ වීම

මේ අනුව පැහැදිලි වන්නේ මේ ආර්ථික අර්බුදය හමුවේ රට තුළ ආර්ථික මෙන්ම සමාජ හා දේශපාලන බලපෑම් ද ඇති වූ බවයි. පැවති උග්‍ර විදේශ විනිමය හිඟය නිසා රට තුළ ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම් තත්ත්වයන් ද නිර්මාණය විය. මේ නිසා සිදු වූ මහජන නොසන්සුන්වීම් හමුවේ රට තුළ විරෝධතා උද්ඝෝෂණ මෙන්ම අරගල ක්‍රියාකාරිත්වයන් ද ඇති විය. අවසානයේ ජනාධිපතිවරයාට ද රට හැර ගොස් ඉල්ලා අස් වීමට සිදුවිය. මේ සියලුම දේ පොදුවේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑම් ඇති කළේය. මේ හමුවේ ගිය වසරේ (2022 ) ශ්‍රී ලංකා ආර්ථිකය වාර්තා කළේ ඍණ සියයට 7.8ක ආර්ථික වර්ධනයකි. එනම් ඉතිහාසයේ වැඩිම ආර්ථික පසුබෑම වාර්තා කළේ ගිය වසරේ (2022 ) දීය. මේ වසරේ (2023) පළමු කාර්තුවේ දී ද සියයට 11.5 ක ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. කෙසේ වෙතත් පසුගිය කාලයේ දී වේගයෙන් උද්ධමනය අඩුවීම සහ ඊට අනුරූපව පොලී අනුපාත පහත දැමීම නිසා ඉදිරි කාලයේ දී රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය වේගවත් වනු ඇතැයි සිතිය හැකිය. ඒ අනුව මේ වසරේ අවසන් කාර්තුවේ දී ඍණ ආර්ථික වර්ධන තත්ත්වය ධන තත්ත්වයට පරිවර්තනය වීම සිදුවනු ඇත. මේ පසුබිම තුළ අපි අලුතින්ම නිකුත් වූ මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන දත්ත සහ ඍණ ආර්ථිකයකින් ධන ආර්ථිකයකට ගමන් කිරීම ගැන මේ ලිපියෙන් සාකච්ජා කරමු.

දෙවන කාර්තුවේ ආර්ථික පසුබෑම

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ (2023 ) දෙවන කාර්තුව එනම් අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා වූ කාලය සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කිරීම පසුගිය සතියේ සිදු කළේය. ඒ අනුව මේ වර්ෂයේ (2023) දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,597,441 ක් ලෙස වාර්තා වී ඇත. 2022 වර්ෂයේ දෙවන කාර්තුවේදී මෙම අගය රුපියල් මිලියන 2,680,074ක් ලෙස වාර්තා වී තිබුණි. මේ අනුව 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව මුර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.1 කින් සංකෝචනය වී ඇත. එනම් ආර්ථිකය දෙවන කාර්තුවේ දී සියයට 3.1කින් පසුබෑමට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් මේ වසරේ පළමු කාර්තුවේ දී වාර්තා වූ සියයට 11.5ක ඍණ ආර්ථික වර්ධනයට සාපේක්ෂව ආර්ථික පසුබෑම අඩු වී ඇත. මේ වසරේ තවත් කාර්තු දෙකක් තිබේ. ඒවායේ දී මේ ආර්ථික පසුබෑම තවත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වසරේ අවසන් කාර්තුවේ දී ඇතැම්විට සුළු ධන අගයක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් කාර්තු හතරම සැලකූ විට සමස්ත ආර්ථික වර්ධනය මේ වසරේ (2023) දී ද ඍණ අගයක් ගනු ඇත.

ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන්නේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශයන්ය. මේ අනුව 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී සමස්ත කෘෂිකාර්මික කටයුතු සියයට 3.6ක වර්ධනයක් වාර්තා කර ඇත. එහෙත් සමස්තයක් ලෙස කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙළින් සියයට 11.5ක් සහ සියයට 0.8ක් වශයෙන් පසුබැසීම් එනම් ඍණ වර්ධනයන් වාර්තා කර ඇත.

පවත්නා මිලට දළ දේශීය නිෂ්පාදිතය

පවත්නා මිල ගණන් යටතේ ( උද්ධමනාත්මක බලපෑම සහිතව ) ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 5,442,362 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 6,145,451 ක් දක්වා සියයට 12.9 කින් වැඩිවී ඇත. ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙළින් සියයට 10.4 ක්, සියයට 27.0 ක් සහ සියයට 56.8 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇත.

2023 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරිත්වයට බලපාන ලද පසුබිම ගැන මෙසේ සඳහන් වේ.

2023 වර්ෂයේ දෙවන කාර්තුවේ වැඩි කාලයක් පුරා ආර්ථිකය තුළ පැවති ඉහළ පොලී අනුපාතික මගින් කෙටි සහ දිගුකාලීන ආයෝජන මත ඇති කරන ලද පීඩනය තවදුරටත් බලාත්මකව පැවති අතර ජනතාවගේ මුර්ත ආදායම් අඩුවීමෙන් පරිභෝජන රටාව එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ වටා කේන්ද්‍රගත වීමක් දැකිය හැකි විය. සමස්තයක් වශයෙන් ආර්ථිකය පිළිබඳ අපේක්ෂා තවදුරටත් පහළ මට්ටමක මන්දගාමීව වර්ධනය වෙමින් පැවති අතර ඒ සඳහා විශේෂයෙන් විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිත තත්ත්වය බලපාන ලදි. තවද දේශීය වශයෙන් යෙදවුම් පිරිවැය ඉහළ මට්ටමක පැවතීම අපනයන සම්බන්ධයෙන් අන්තර් ජාතික තරගකාරීත්වය පිරිහීමට හේතු වී ඇති අතර අපනයන පරිමාවේ අඩුවීමක් 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී නිරීක්ෂණය කළ හැකි විය. මෙකී බලපෑම් හේතුවෙන් 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී නිෂ්පාදන කර්මාන්ත කටයුතු, ඉදිකිරීම් කර්මාන්ත කටයුතු, පතල් හා කැණීම් කර්මාන්ත කටයුතු සැලකිය යුතු පසුබැසීම් වාර්තා කර ඇති අතර මූල්‍ය සේවා සැපයිම් ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇත.එසේම තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවා සැපයීම් සහ වෘත්තීය සේවා තවදුරටත් පසුබැසීම් වාර්තා කර ඇත.

කෘෂිකාර්මික කටයුතුවල වර්ධනයක්

පෙර සඳහන් කළ පරිදිම කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී පෙර වර්ෂයේ (2022) දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.6 ක වර්ධනයක් වාර්තා කර ඇත. එහිදී ‘ධාන්‍ය වගා කිරීම‘ සියයට 44.4 කින් , ‘පැළ බෝකිරීම සියයට 20.1කින් ‘වී වගා කිරීම සියයට 19.8කින්, කෘෂිකාර්මික සහාය සේවා කටයුතු සියයට 13.2කින්, තේ වගා කිරීම සියයට 7.1 කින්, එළවළු වගා කිරීම සියයට 6.9 කින් ,රබර් වගා කිරීම සියයට 5.8 කින් කුළු බඩු වගා කිරීම සියයට 5.1 කින් පලතුරු වගා කිරීම සියයට 3.8කින්, කරදිය ධීවර කටයුතු සියයට 1.3 කින් සහ සත්ව නිෂ්පාදන කටයුතු සියයට 0.6කින් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කරමින් ඊට දායක වී ඇත. මේ අතරම සමහර ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු ඝෘණ වර්ධන වේගයන් ද වාර්තා කර ඇත. එනම් මිරිදිය ධීවර කටයුතු සියයට 14.0 කින්, වන වගා සහ දැව කඳන් නිෂ්පාදනය සියයට 11.6 කින් සහ පොල් ඇතුළත් තෙල් සහිත පලතුරු බෝග වගාව සියයට 8.4 කින් වශයෙන් පසුබැසීම් වාර්තා කර ඇත.

කර්මාන්ත අංශයේ පසුබෑමක්

කර්මාන්ත ආර්ථික කටයුතු 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 11.5 ක සැලකිය යුතු පසුබැසීමක් වාර්තා කර ඇත. එහිදි ‘ඉදිකිරීම් කර්මාන්තය සහ පතල් හා කැණීම් කර්මාන්තය පිළිවෙළින් සියයට 23.1ක් සහ සියයට 24.3ක් වශයෙන් පසුබෑම් එනම් ඝෘණ වර්ධන වේගයන්

වාර්තා කර ඇත. තව ද නිමැවුම් කර්මාන්ත කටයුතු සමස්තයක් වශයෙන් සියයට 5.1 ක පසුබැසීමක් වාර්තා කර ඇති අතර ඒ තුළ ප්‍රධාන වශයෙන්ම රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සියයට 26.5 කින්, කඩදාසි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය සියයට 25.0 කින් දැව හා දැව ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය සියයට 21.4 කින් රෙදිපිළි, නිමි ඇඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු සියයට 18.4 කින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සියයට 12.3 කින්, යන්ත්‍රසූත්‍ර හා උපකරණ නිෂ්පාදනය සියයට 8.1 කින් සහ මූලික ලෝහ සහ ව්‍යුහාත්මක ලෝහ නිෂ්පාදනය සියයට 1.9 කින් වශයෙන් ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත. මෙසේ කර්මාන්ත අංශයේ බොහෝ උප අංශ පසුබෑමට ලක් වෙද්දී නිමැවුම් කර්මාන්ත කටයුතු ත්‍රිත්වයක් මෙම කාර්තුවේ දී ධන වර්ධන වේගයන් වාර්තා කර තිබීම ද විශේෂත්වයකි. මේ අනුව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන කර්මාන්තය සියයට 473.2 කින් , රසායනික ද්‍රව්‍ය හා මූලික ඖෂධ වර්ග නිෂ්පාදනය සියයට 4.3 කින් සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදනය සියයට 3.2 කින් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේම 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු අතුරෙන් විදුලිය, ගෑස්, වාෂ්ප සහ වායු සැකසුම් සැපයුම සහ ජලය එක් රැස් කිරීම, පිරිපහදු කිරීම සහ බෙදා හැරීම පිළිවෙළින් සියයට 0.9 ක් සහ සියයට 3.8ක් වශයෙන් පසුබැසීම් එනම් ඍණ වර්ධනයන් වාර්තා කර ඇත.

සේවා කටයුතුවල සුළු පසුබෑමක්

2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී සේවා ආර්ථික කටයුතු පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 0.8 ක පසුබැසීමක් වාර්තා කර ඇති අතර එහිදී මූල්‍ය සේවා සියයට 18.8 ක පසුබැසීමක් වාර්තා කර ඇත. තව ද වෘත්තීය සේවා සියයට 9.3 ක සහ තොරතුරු තාක්ෂණ සේවා සියයට 8.5 ක් වශයෙන් පසුබැසීම් වාර්තා කර ඇත. එසේ ම විදුලි සංදේශ සේවා සියයට 4.4 කින් , සෞඛ්‍ය සේවා සියයට 2.6 කින් ,දේපොළ වෙළෙඳාම් සහ නිවාස අයිතිය සියයට 2.5 කින් සහ රක්ෂණ සේවා සියයට 1.3 කින් ද වශයෙන් මෙම කාර්තුවේ දී පසුබැසීම් වාර්තා කර ඇත. මේ අතරම ප්‍රධාන සේවා ආර්ථික කටයුතු කිහිපයක්ම මෙම කාර්තුවේ දී ධන වර්ධන වේගයන් වා3ර්තා කර තිබෙන බව ද නිරීක්ෂණය කළ හැකිය. ඒවා අතර නවාතැන් හා ආහාර පාන සැපයීම සියයට 34.2 කින්, වැඩසටහන් සම්පාදනය සහ ගුවන්විදුලි හා රූපවාහිනි විකාශන කාර්යයන් සියයට 6.2 කින් , භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය සහ ගබඩාකරණ කටයුතු සියයට 5.4 කින් ,තැපැල් හා කූරියර් සේවා සියයට 3.2 කින්, අධ්‍යාපනය සියයට 3.0 කින් , අනෙකුත් පෞද්ගලික සේවා සියයට 1.3 කින් සහ තොග හා සිල්ලර වෙළෙඳාම සියයට 0.3 කින් ධන වර්ධනයන් වාර්තා කර තිබීම කැපී පෙනේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු පිළිබඳ තවත් විස්තරාත්මක තොරතුරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර තිබේ. මේවා ද ඔබට පරිශීලනය කළ හැකිය.

රට බංකොලොත් කිරීම ගැන කුමන්ත්‍රණ කතා ආර්ථිකය ඍණ වීම ඇතුළු බොහෝ ආර්ථික විපාකවලට මෙරට ජනයාට මුහුණ දීමට සිදු වූයේ රට බංකොලොත් කළ ( එය ඉබේ සිදු වූ දෙයක් නොවේ ) නිසාය. විදේශ ණය ගෙවාගත නොහැකි තත්ත්වයට රට පත් කළ නිසාය. මෙය දිගුකාලීන හා ආසන්න හේතු ගණනාවක් නිසා සිදු වූ දෙයක් බවත් අප මීට පෙර සඳහන් කර ඇත. එසේ නැතුව රට බංකොලොත් වූයේ 2022 අප්‍රේල් 12 වැනිදා රජය විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කිරීම නිසා නොවේ. එසේ නිවේදනය කිරීමට සිදු වූයේ ඊට පෙර ඇත්ත වශයෙන්ම රට බංකොලොත් තත්ත්වයට පත් කර තිබූ නිසාය. එහෙත් රජය විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කිරීම කුමන්ත්‍රණයක් බව කියමින් මේ ගැන තවමත් විවිධ දේශපාලන අදහස් ප්‍රකාශ කරමින් ඇතැමුන් මහජනයා ව්‍යාකූල කරමින්න් සිටී. එහෙත් ආර්ථිකමය වශයෙන් රට බංකොලොත් වීමට බලපාන ලද සැබෑ හේතු මේ වනවිට රට හමුවට ඉදිරිපත්ව අවසන්ය.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment