43 හැවිරිදි දිවයින සහ කවදාවත් මහලු නොවන එහි ජාතික ප්‍රතිපත්තිය

732

මීට අවුරුදු 43 කට පෙර උපාලි විජයවර්ධන නමැති කීර්තිමත් ව්‍යාපාරිකයා විසින් ‘දිවයින’ පුවත්පත අරඹන විටත් ලංකාව යනු සාම්ප්‍රදායික සහ ගතානුගතික රාජ්‍යයකි. භූත දෝෂ, හදි හූනියන්, මළ පෙරේතයන් වැනි බලවේග කෙරෙහි විශ්වාසය තබා සිටි අපගේ ජනයාගෙන් බහුතරය සිය අයිතිවාසිකම් පව් පින්වලට බැර කර ලැබෙන දෙයක් කා ජීවත් වීමට පුරුදුව සිටියහ. ගුප්ත විශ්වාසය සහ පව් පින් නොපිළිගත් සුළුතරය එක්කෝ ජ.වි.පෙ. ට බැඳුණාහ. නොඑසේ නම් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට හෝ ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වූහ. 80 ජූලි වර්ජනය කර මහ පාරට වැටුණු විශාල පිරිස වූකලී ඉහත සඳහන් මළ පෙරේතයන් සහ පව් පින් විශ්වාස නොකළ භෞතිකවාදී පිරිසකි. 1980 වන විටත් ලංකාව යම් තරමකට ගැමි රාජ්‍යයකි. එකල ගමට ලයිට් සංකල්පය තිබුණේ නැත. ගමට බස් සංකල්පයද තිබුණේ නැත. ඒ වෙනුවට පෙට්‍රෝ මැක්ස් සංකල්පය සහ කුප්පි ලාම්පු සංකල්පයද ගොන් කරත්ත සහ බක්කි කරත්ත සංකල්පයද ගම පුරා පැතිර තිබිණ. ගැමි ජනයා හැම දෙයක්ම සලකා බැලුවේ කර්ම ශක්තිය නමැති කෝදුවෙන් මැන බැලීමෙන් පසුවය. මේ නිසා විඤ්ඤාණවාදයට ලොකු තැනක් හිමිව තිබිණ. 1971 කැරැල්ලේදී මරාදමන ලද බැවින් ඒ වනවිට රැඩිකල් තරුණයන් සිටියේ ඉතා ස්වල්පයකි. ඉතිරිව සිටි එම රැඩිකල් තරුණයන් ස්වල්පය වාමාංශික දේශපාලන බලවේග අලුතින් නිර්මාණය කිරීමට ගොස් ජේ. ආර්. ජයවර්ධනගේ පොලිසියෙන් ගුටි කා ජීවත්වීම පිණිස රැකියාවල් සොයාගෙන එකත්පස් වූහ.

මේ කියන කාලයේදී අපේ රටේ ජන විඤ්ඤාණය වෙනස්කර රට වෙනස් මගකට ගෙන ඒම සඳහා පුවත්පත් කලාව යෙදවිය හැකි බව උපාලි විජයවර්ධනට කල්පනා විය. ඔහු මේ අදහස පොලිෂ් කරගන්නේ පිට රටවල්වල දේශපාලන පුනරුදයන්හිදී පුවත්පත් කරන මෙහෙයුම සලකා බැලීමෙනි. පත්තර නොතිබුණා නම් නිදහස් ඇමරිකාවක් බිහිවන්නේ නැත. පත්තර නොතිබුණා නම් ප්‍රංශ විප්ලවය සිදුවන්නේද නැත. ජර්මනියේ හිට්ලර්ට විරුද්ධව සියලුම පුවත්පත් පාහේ එකට එකතු විය.

උපාලි විජයවර්ධන දිවයින පටන්ගන්නේ අවුරුදු හතරක් පමණ කල්පනා කර පස්වෙනි අවුරුද්දේදීය. ගතවූ අවුරුදු හතර තුළ උසස් මට්ටමේ විදේශීය පත්‍ර කලාවේදීන් සමග සාකච්ඡා කිරීමටත් අති නවීන මුද්‍රණ යන්ත්‍ර ගැන සෙවීමටත් ඔහු දියුණු ලෝකය පුරා සංචාරය කළේය. සිය දෙවන මව්බිම වූ ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කර්තෘවරුන් සහ හිමිකරුවන් සමග දීර්ඝ සංවාද ඇතිකර ගත්තේය. එංගලන්තයේ පත්තර කන්තෝරුවලට ගොස් ඒවායේ හැඩය සහ ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ‘දිවයින’ සහ ‘දි අයිලන්ඩ්’ පුවත්පත් පටන් ගැනීම සඳහා උපදෙස් ගනු පිණිස පීටර් හාලන්ඩ් නමැති කතුවරයෙක් එංගලන්තයෙන් මෙහි ගෙනාවේය. දිවයින පුවත්පත පටන්ගන්නා ලදුව ඉතා ඉක්මනින් රටේ ජනප්‍රියම සහ වැඩියෙන්ම විකිණෙන පුවත්පත බවට පත්විය. ඒ නිසා ආ පයින්ම ආපසු යෑමට පීටර් හාලන්ඩ් ට සිදුවිය. රටේ ජනාධිපති හැර අන් හැම කෙනකුම විවේචනය කිරීම දිවයින විසින් සිය මුඛ්‍ය ප්‍රතිපත්තිය ලෙස ඉදිරිපත් කරන ලදී. ඒ අනුව එවකට පැවති ආණ්ඩුවේ ජනාධිපති ඇරුණුකොට අනෙක් සියලුම දෙනාගේ දූෂණ වංචා උත්සවාකාරයෙන් හෙළිදරව් කිරීමට මේ පුවත්පතට හැකි විය. ජාතික තලයේදී කොටි ත්‍රස්තවාදයට ‘දිවයින’ එරෙහි විය. එබැවින් රටේ සිංහල බෞද්ධ ආණ්ඩුව මෙන්ම ‘දිවයින’ ද කොටි සංවිධානයට විශාල කරදරයක් විය. ‘දිවයින’ ජේ. ආර්.ට පහර නොදුන්නද ඔහුගේ ගෝලයන්ට පහරදුන් විට එම පහර වලින් කොටසක් ජේ. ආර්. ටද වැදුණේය. ප්‍රේමදාස සම්බන්ධයෙන්ද තත්ත්වය මෙයම විය. එහෙත් සුචරිතයේ කිසියම් වැදගත් යමක් සිදුවන විට ඒ පිළිබඳ පුවත දිවයිනේ පළවනු දැකීම අගමැති ප්‍රේමදාසගේ මෙන්ම ජනාධිපති ප්‍රේමදාසගේද අභිප්‍රාය විය. අද වනවිට යුද්ධය නිමවී තිබේ. සෙසු සියලු මාධ්‍ය පරදවමින් සමාජ මාධ්‍ය හිස ඔසවා සිටී. අලුත් පත්තර පටන්ගත් සැණින්ම වැසී යයි. එහෙත් ‘දිවයින’ අදටත් ඒ විදිහටම සිටී. දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ සහ දයාසේන ගුණසිංහ ඇතුළු පුරෝගාමීන් විසින් සිතියම් ගතකරන ලද ජාතික මාවත තවමත් අපේ පරණ මාවත වී තිබේ. දිවයින පුවත්පතේ ආරම්භක කලාපයේ කතුවැකියෙන් ඡේදයක් උපුටා දැක්වීම මේ මොහොතේදී අපගේ යුතුකමකි. “අපේ පිළිවෙත ලෝකයේ නිදහස් පුවත්පත් විසින් අනුගමනය කෙරෙන පිළිවෙතයි. එනම් පොදුජන අයිතිය රැකීමය. මේ රටේ ජනතාව අපේ ස්වාමිවරුන් ලෙස අපි පිළිගනිමු. ඔවුන්ගේ ප්‍රගතියට හේතුවන්නේ කිමෙක්ද, අපි ඊට පක්ෂ වෙමු. ඔවුන්ගේ පරිහානියට හේතුවන්නේ කිමෙක්ද අපි ඊට එකහෙළා විරුද්ධ වෙමු. අපි සාමය අගයන්නෙමු. එහෙත් සටන් නොකර බැරි තැනදී එක හිතින්ම සටන් වදින්නෙමු.”

advertistmentadvertistment
advertistmentadvertistment